Sunday 19 November 2023

සිස්සස්ස විභාගේ - How are your grade five results?


බොහෝ දෙනෙකු තමන්ගේ පහේ පන්තියේ තරග විභාග ප්‍රතිඵල ගැන සටහන් තබන නිසා, මට ද කලින් කීප වතාවක ම විවිධ තැන්වල ලියා තිබුණු කරුණු නැවත ලියන්නට සිත් විය.

පස්වැනි ශ්‍රේණියේ දී අපට ශිෂ්‍යත්ව විභාගයක් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ හයවැන්නේ සිට ඉහළට ඉගෙන ගැනීම සඳහා විශේෂ පාසැලක් තෝරා ගැනීම පිණිස තරග විභාගයකි.

මේ ගැන මා ඇතුළු පන්තියේ ළමුන් දැනගත්තේ එක් දිනක පන්තිභාර ගුරුවරිය වූ බමුණුසිංහ ටීචර් කළ විස්තරයකිනි. විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර තුනක් ඇති බව ඇය කීවාය. එකක් ගණිතයයි. දෙවැන්න සිංහල භාෂාවයි. ඒ දෙකම බමුණුසිංහ ටීචර් විසින් පන්තියේ ඉගැන්වූ විෂයන් විය.

තුන්වෙනි නම පිළිබඳව අප බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවුණි. ඇත්තටම අපට එහි නම මුලින් ඇසුණේ “බුඩ්ඩි” පරීක්ෂණය කියාය. නිවැරදි නම බුද්ධි පරීක්ෂණය බව පසුව දැන ගත්තෙමු. එසේ වුව ද, මෙය පන්තියේ විෂය මාලාවේ කොටසක් නොවූ නිසා එය කුමක්දැයි යන්න පිළිබඳ අපට අදහසක් ඇති වුණේ ම නැත.

දින කිහිපයකට පසු බමුණුසිංහ ටීචර් රෝනියෝ කරන ලද A4 ප්‍රමාණයේ තරමක් මහත පොතක් පංතියට රැගෙන ආවාය. ඇට්ල්ස් හෝල වැනි අධ්‍යාපනික ප්‍රකාශන සමාගමකින් සකසා තිබුණු මේ පොත ඇය මිල දී ගෙන තිබුණේ අනිවාර්යෙන්ම බමුණුසිංහ ටීචර්ගේ මුදල් වලිනි.

එය බුද්ධි පරීක්ෂණ ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොතකි. එහි ඇතුළත් වුණු ප්‍රශ්න වල ප්‍රධාන වශයෙන්ම තිබුණේ කොටු, ත්‍රිකෝණ, වෘත්ත, තරු යනාදියෙන් පිරී තිබුණු රූ සටහන් ය. අප කළ යුතුව තිබුණේ ඊළඟට නියමිත රූසටහන කුමක්දැයි තේරීමයි. ඒ ආකාරයෙන් ම ඉලක්කම් සහිත ප්‍රශ්න ද තිබුණු බවට යාන්තමට මතකයක් ඇත.

ටීචර් අපට ඒවා විසඳන හැටි කියා දුන්නා ද කියා මට ලොකු මතකයක් නැත. මගේ මතකය රැඳි ඇති ප්‍රධානතම කරුණ නම් මේ පොත පන්තිය ළමයින්ට දිනකට එක් අයකු බැගින් හවසට ගෙදර යන විට රැගෙන ගොස් පරිශීලනය කළ හැකි බව ටීචර් පැවසූ බවයි.

පොත ගෙදර ගෙන යාමේ අනුපිළිවෙල වූයේ පන්තියේ පළමුවැනියාට මුල් දිනය, දෙවෙනියාට දෙවැනි දිනය ආදී වශයෙනි.

ඒ ආනුභාවයෙන් මුල් දිනය දී ම, කිරි කිරියේ “බුඩ්ඩි” පරීක්ෂණය පොත නිවසට ගෙන යාමට මට වරම් ලැබුණි. ඊට අමතරව එදින සිකුරාදාවක් වූ නිසා රාත්‍රී තුනක්, දින දෙකක් පොතේ පිටු පෙරළා බැලීමට මට අවස්ථාව උදා විය.

මගේ මතකයට අනුව පංතියේ දෙවැනියා වූයේ ගෑනු ළමයෙකි. ඇගේ නම පුෂ්පමාලී වැන්නක් බව මට යාන්තමට සිහිවේ. ඇය විසූවේ පාසැලේ සිට අපේ නිවස පිහිටි පැත්තේ නොව අනිත් පැත්තේ ය.

පන්තියේ සිටි සිසුන්ගෙන් අපේ ගෙදර පැත්තේ සිටි එක් අයකු නම් ආනන්ද ජයතිලකයි. ඇත්තටම නම් ඔහු කෙලින්ම මගේ අසල්වැසියා විය. අපේ නිවෙස් සහිත ඉඩම් දෙක දිගු වැටකින් වෙන් වී තිබුණු අතර, අප පාසැල් යාම සඳහා භාවිතා කළ කෙටි මාර්ගය වැටී තිබුණේ ද, ඔවුන්ගේ ඉඩම හරහා ය.

මගේ මතකය නිවැරදි නම් ආනන්ද ජයතිලක පන්තියේ තුන්වෙනියා විය. එදින ඔහු මා අමතා ඉල්ලා සිටියේ “රසික ඔය පොත දෙවනියට පුෂ්පමාලීට දෙන්න කලින් ඔයා කියවා ඉවර වුණොත් සති අන්තයේ දිනක මට දෙන්න!” කියාය. නිවැරදිව මතක නැති උනත් මා ඔහුට ඒ පොත ඉරිදා හවස දෙන්නට ඇතැයි සිතමි.

නිවරදිව මගේ මතකයේ ඇති කරුණක් නම් මාස කිහිපයකට පසුව පැවැත්වුණු තරග විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ තිබූ එක් ප්‍රශ්නයකි.

ඉලක්කම් පහක්, හයක් දී ඒවා අවරෝහණ ක්‍රමයට සකසා ලියන ලෙස එම ප්‍රශ්නයේ සඳහන්ව තිබුණි.

කර්ණිකාව-කෝෂිකාව, ලවය-හරය, ආරෝහණ-අවරෝහණ වැනි කිනෙකට ප්‍රතිවිරුද්ධ සංකල්ප දෙකක් එකට ඈඳී තිබෙන විට එයින් කුමක් කුමක්දැයි නිවැරදිව හඳුනා ගැනීම එකල බොහෝ දෙනෙකුට මෙන් මට ද ප්‍රශ්නයක් වී තිබුණි. හරය සහ ලවය කුමක්ද යන්න හඳුනා ගැනීම සඳහා නම් හරකා පිට ළමයා නමින් කෙටි ක්‍රමයක් අප කොහෙන්දෝ ඉගෙන ගෙන තිබුණි. නමුත් කර්ණිකාව තිබෙන්නේ හදවතේ උඩ කොටසේ ද නැතිනම් එහි ඇත්තේ කෝශිකාව ද යන්න පිළිබඳව අදත් මට ස්ථිර ව කිව නොහැක.

සමහරවිට අවරෝහණ සහ ආරෝහණ හඳුනාගන්නට හරකා පිට ළමයා මෙන් කෙටි ක්‍රමයක් එකල තියෙන්නට ඇත. එසේ තිබුණා හෝ නැතා හෝ පෙර කී ප්‍රශ්නයේ අඩංගු වූ ඉලක්කම් කිහිපය විමසා බැලූ මට පෙනී ගියේ එය දැනට ම තිබෙන්නේ අවරෝහණ ක්‍රමයට බවයි.

එනම්, පිළිතුර ලෙස අප ලිවිය යුත්තේ ද ප්‍රශ්නයේ ඇති පිළිවෙළටම ය. ඒ කියන්නේ මෙය අප රැවටීමට යොදා තිබුණු ප්‍රශ්නයක් විය යුතුයි.

එසේ නොමැති නම් මා ආරෝහණ සහ අවරෝහණ ටපලාගෙන ඇත.

විභාගය අවසාන වීමෙන් පසු මා දැනගත්තේ මා සිතූ ආකාරය නිවැරදි බවයි. එනම් ඒ ප්‍රශ්නය අප රවටන්නට සාදා තිබූ ප්‍රශ්නයකි!

ඒ කෙසේ වෙතත් තවත් මාසයකට දෙකකට පසු ප්‍රතිඵල නිකුත් වූ විට මට පෙනී ගියේ එම ප්‍රශ්නයට මා නිවැරදිව පිළිතුරු දී තිබුණ ද, තවත් ප්‍රශ්න කිහිපයකට මා ලබා දුන් පිළිතුරු නිවැරදි නොවන බවයි. මට ගණිතය සඳහා ලැබී තිබුණේ ලකුණු 87 ක් පමණි.

සිංහල විෂයට ඊට ලකුණක් අඩුවෙන් ද, අප මුලින් බුඩ්ඩි පරීක්ෂණය ලෙස හඳුනාගත් බුද්ධි පරීක්ෂණය සඳහා ලකුණක් වැඩියෙන් ද ලැබී තිබුණු නිසා මේ විභාගයේ දී මා ලබා තිබුණු මුළු ලකුණු සංඛ්‍යාව 261 ක් විය. එනම් සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 87 % කි.

ඒ මා මගේ පාසල් දිවියේ ලැබූ හොඳම විභාග ප්‍රතිඵලය විය.

එතැන් සිට එළැඹුණේ පල්ලම් බැසීමේ සමයකි.

කොටින්ම උසස් පෙළ විභාගයේ මගේ ප්‍රතිඵලවලට අනුව එම සාමාන්‍ය අගය 69.25 % දක්වා පල්ලම් බැස තිබුණි.

- රසික සූරියආරච්චි

17 comments:

  1. මටනං ශිෂ්‍යත්වෙ ගැන මතකයක් තියෙන්නෙ ඔරලෝසුවක් බැඳගෙන ගිහිල්ල ඒක ලිවුව කියල විතරයි. ලකුණුනං අදටත් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් වෙලාව සෑහෙන්න ඉතුරු වෙන්න ඇති.

      Delete
  2. කෝෂිකාව යට තිබෙන බව මතක තබා ගන්නට අපට සාමාන්‍ය පෙළ විද්‍යාව ටියුෂන් දුන්නු තුසිත සුදර්ශන අයියා කියා දුන්නේ, "යකෝ!" කියා මතක තබා ගන්නා ලෙසයි. ඔයිට අමතරව, ආවර්තිතා වගුව මතක තබා ගන්නත් කවියක් වැන්නක් තිබුණා.

    හහා (හයිඩ්‍රජන්) හිහී (හීලියම්) ලිලී (ලිතියම්) බෙනට් (බෙරිලියම්) බඩා (බෝරෝන්) කරන (කාබන්) නාඩගං (නයිට්‍රජන්) ඔක්කොම (ඔක්සිජන්) ෆ්‍රෑන්ක් (ෆ්ලෝරීන්) දනී (නියොන්) සෝමා (සෝඩියම්) මගේ (මැග්නීසියම්) අල්ල (ඇලුමිනියම්) සි (සිලිකන්) ප (පොස්පරස්) සනසපන් කෙල්ලේ (ක්ලෝරීන්) ආන්න (ආගන්) පොල්ල (පොටෑසියම්) කැඩිලා (කැඩ්මියම්)

    ReplyDelete
    Replies
    1. සල්ෆර් හැලිල. අන්තිම එක කැඩ්මියම් නෙමෙයි කැල්සියම්.
      පොත්ත බේරුණු කැහැටු සෝමට... කියල සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්නත් ඔය වගේ එකක් තිබ්බ.

      Delete
    2. අවංකවම ඕවා අනුපිළිවෙලට මතක තියාගෙන ඉඳලා මෙලෝ වැඩක් නෑ. ඇත්තටම වැඩක් කරන කොට පොතක් පෙරලලා හෝ අද නම් ඉන්ටර්නෙට් එකෙන් බලා ගත්තැහැකි.

      Delete
  3. සුමිහිරි ඔරේන්ජ් බාර්ලි - සුපීරියර්, මිචිගන් , හියුරන්, ඊරි, ඔන්ටේරියෝ

    ReplyDelete
  4. චුට්ටක්වත් මතකෙ නැත සිස්සත්තෙ වගක්
    හොඳ ඉස්කෝලෙකට යන්නට පැතුව වගක්
    විද්යාකරේ ගැන තිබ්බේ පසන් හිතක්
    සත්තයි, සිස්සත්තෙ ළමුනට දෙන වදයක්!

    ReplyDelete
    Replies
    1. රැල්ලට යනව මිස තනියම වැඩ කෙරුම
      අවුරුදු දහයෙ දරුවන්හට නැත උරුම
      දහඅට පැන්න පසු ගත්තෙමිය ලයිෂම
      ඕනෑ වැඩක් කරනට හැකිවෙන වරම!

      Delete
  5. මා ශිෂ්‍යත්වෙට ලිව්වේ 1949 යේ නොවැම්බර් මාසේ. පාස් වෙයිද කියා සිතුනේවත් නැහැ. මාස කිහිපයකින් පාස් වී ඇති බව ඉස්කෝලෙට දන්වා තිබුණා. ඊට පස්සේ මධ්‍ය විද්‍යාලයේ 6 ශ්‍රේණියට ඇතුලත්වී ශිෂ්‍ය නිවාසයේ නතර වී අලුත්ම ජීවිතයක් ආරම්භ කළා. ඒ කාලයේ මුලින්ම හඳුනාගෙන එකම පන්තියේ සිට ශිෂ්‍ය නිවාසයේත් එකට සිටි එකම එක සගයෙක් තවමත් ලඟින්ම ආශ්‍රය කරනවා.

    ReplyDelete
    Replies
    1. මා සමග හයේ පන්තියේ සිටි අයගෙන් දෙතුන් දෙනෙක් ෆේස්බුක් නිසා පසුව අතත්‍ය ලෝකයේ දී හමුවුණා.

      Delete
  6. මම නම් ශිෂ්‍යත්තේ ෆේල්...ඒත් ඒ දවස් වල එන්ට්‍රන්ස් කියලා විභාගයක් තිබ්බා...ඒකෙන් පාස් උනා - Mayya

    ReplyDelete
    Replies
    1. 😀
      අපොයි, සිස්සස්සේ ෆේල් නම් වැඩක් නෑ!!!

      Delete
  7. මට නම් ඔච්චරම මතක නැහැ. ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා ගියේ ආනන්දෙට. සති දෙකක් ආනන්දේ ඉගෙන ගෙන ඊට පස්සේ රෝයල් එකට දැම්මනේ. නමුත් පහේ පන්තිය ගැන ලීවා . ගොඩක් අය කියෙව්ව ලිපියක්.https://kolambagamaya.blogspot.com/2015/10/blog-post_29.html

    ReplyDelete
  8. අම්මප රසික, අර සූරියාරච්චි මුදලාලිලගෙ සිනුවර ගෙදෙට්ට දැන් නිතරම අර නයා එනව වගේ 😜😂😂😂. ආතල් එකට කියන කතා සීරියස්ලි ගැනීමෙන් වලකින්න !

    ReplyDelete
  9. Thank you for consistently providing insightful and valuable content.

    ReplyDelete
  10. මම ලිව්වෙ හතේ ශිෂ්‍යත්වෙ. අපේ පන්හියෙ ලමයි බාගයකටත් අඩුවෙන් තමයි ශිෂ්‍යත්වය ලිව්වෙ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.