Saturday 4 November 2023

රජයේ භික්ෂු නිලධාරී (මගේ යෝජනාවකි) – My humble but costly proposal to resolve a burning issue in Sri Lanka


ලංකාවේ මේ දිනවල උද්ගත වී ඇති සීමිත වුවත් බරපතල ප්‍රශ්නයකට මගේ විසඳුම ඉදිරිපත් කිරීම මේ කෙටි සටහනේ අරමුණයි.

මේ ප්‍රශ්නය පිළිබඳ ඉතා මෑත උදාහරණය මේ සටහනේ උඩින් පළ කර ඇති පුවත්පත් වාර්තාවෙන් කියවේ.

ඒ පිළිබඳව ටෙලිවිෂන් නාලිකාවක ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක වීඩියෝවක් ද සමාජමාධ්‍ය ජාලාවල පසුගිය දා බෙදා හදා ගැනුණි. දැක නැති අයගේ ප්‍රයෝජනය පිණිස මෙන්න අප බොහෝ දෙනෙකු දැක ඇති වීඩියෝව.



පුවත්පත් වාර්තාවේ දීර්ඝවශයෙන් ද, වීඩියෝවේ කෙටියෙන් ද කියවෙන පරිදි මෙහි සිදුවී ඇත්තේ ලංකාවේ “බුඩ්ඩාගමේ” පන්සලක් විසින් වත්මන් බුදු දහම අනුව ජීවිතය ගෙවන අසරණ පුද්ගලයින් තලන පෙලන අන්දමයි.

පන්සලට නිසි පරිදි දානය පූජා කර නොමැති නිසා, ඒ වෙනුවෙන් රුපියල් 40,000 ක කප්පමක් (එක් දානයක් සඳහා රුපියල් 10,000 බැගින්!) නොගෙවන්නේ නම්, මියගිය පුද්ගලයාගේ සත් දවසේ බණ පිංකම් සඳහා පැමිණීම පන්සලේ කප්පම් මැරයා ප්‍රතික්ෂේප කර ඇත.

මැරුණු එකා දැන් නොමැති බව අවබෝධ කර ගැනීමට තරම් දැනුමක් නොමැති මේ නූගත් අසරණ ගැමියන්, තම තම බිස්නස් සරු කර ගැනීම සඳහා මිය ගිය අය මළ පෙරේතයින් වී පිං බලාපොරොත්තුවෙන් සිටින බවට පච කෙලින අතර දානයේ ආනිසංශ ගැන කුණු බණ දෙසන කහකඩයින්ගේ බසට දිගින් දිගටම රැවටෙන නිසා, කර ඇත්තේ කප්පම්කරුවන් නොවන වෙනත් පන්සලකින් හාමුදුරුවෙකුට එන්න කියා බණ කීයවා ගැනීමයි.

ගමේ පන්සලේ කප්පම්කාරයා විසින් තම එන්ෆෝසර්ස්ලා හෙවත් චණ්ඩි රැළ උසිගන්වා එවා ඇත්තේ, “අඩෝව්, අපේ වැයික්කියේ බිස්නස් කරන්න පිටගංකාරයින්ට දෙන්න පුළුවන් ද ඩෝ?” සටන් පාඨයෙන් ද සන්නද්ධ කිරීමෙන් පසුව බව පෙනේ.

මැරයින් කර ඇත්තේ ගමේ කප්පම්කාරයාගේ ඒරියල් එකෙන් පිට සිට මෙහි බණ දෙසන්නට ආ හාමුදුරුවන්ට පහර දීමයි.

මාස කිහිපයකට පෙර ද, මියගිය මවක ගේ පාංශුකූලය නම් කෙහෙම්මල සඳහා ඒමට වෙනත් ගමක කප්පම්කරුවෙකු ප්‍රතික්ෂේප කර ඇති පුවතක් වාර්තාවිය.



මම ඒ ගැන මගේ අදහස ලියා පළ කළෙමි. මා මළ පසු කළ යුතු නොයුතු දේ එහි සඳහන් වී ඇත. මෙන්න ඒ සටහනට සබැඳිය.
https://rasikalogy.blogspot.com/2023/08/upon-my-death.html

නිරතුරු සිදුනොවුණත් මෙය බරපතල ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ මෙයින් පෙන්නුම් කරන්නේ ලංකාවේ බහුතර සමාජය කෙතරම් ජරාජීර්ණ වී ඇති ද යන්නයි.

මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මා අවංක සිතින් කරන යෝජනාව මෙයයි.

බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහා රජයේ හාමුදුරුවරු බඳවා ගන්න.

මෙම තනතුර "රජයේ සාදු නිලධාරී" නොහොත් "රජයේ භික්ෂු නිලධාරී" ලෙස නම් කළ හැක

රජයේ නීතීඥවරු ලබා දෙනවා මෙන්, එසේ නොමැති නම් සාම විනිසුරුවරුන්ගේ සේවය ලබා දෙනවා මෙන්, තමන් අසරණ නැති බැරි අය වන නමුත් පවුලේ මියගිය අයෙකු සඳහා පාංශුකූලය, සත්දවසේ බණ වැනි අවම ඊනියා පිංකම් කිරීම සඳහා ඒ රජයේ හාමුදුරුවරුන්ගේ සේවය නොමිලේ ලබාදෙන්න.

රජයට මේ සඳහා පිරිවැය දැරීමට සිදුවේ. නමුත් බුද්ධාගම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම වගකීමක් තියෙනවා නොවැ!

මට වැදගත්වන්නේ අර අසරණ මිනිසුන්ගේ මානසික තත්වයයි.

- රසික සූරියආරච්චි

සම්මා කප්පමාරාම අතර මේ පහත දැක්වෙන ආකාරයේ සැබෑ පන්සල් ද ඇති බව සිහිපත් කරමි.



(image: සමාජජාලාවලිනි.)

9 comments:

  1. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියන එකයි, දානෙ දෙන කෙනාගේ චේතනාව මැරුණු කෙනාගෙ කර්මය (පින ) වෙනවයි කියන එකයි පරස්පර විරෝදී නේද?

    ReplyDelete
    Replies
    1. මදෑ කොළා!
      ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා උදේ දහයට හෙවත් සිඩ්නි වේලාවෙන් සවස 3:30 ට පළවෙන්නට මං වෙලාව සෙට් කර ඇත්තේ උදේ 3:30ටයි!!

      Delete
    2. ඉයන්, ඔය ප්‍රකාශය මුළුමනින් මෙහෙමයි.

      චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා.

      මෙයින් කියවෙන්නේ අපට ඇති වෙන සිතුවිලි අනුව කයෙන්, වචනයෙන් සහ මනසින් කර්ම හෙවත් "ක්‍රියා" කරනවා යන්නයි.

      පින යනුවෙන් අදහස් කෙරෙන්නේ මට සිතෙන ආකාරයට හොඳ කර්මයක් කිරීම නිසා අපේ සිතේ ඇතිවෙන යහපත් හැඟීමයි. ඒ පින වෙන අයෙකුට දීමට නම්, ඒ වෙනත් පුද්ගලයා අප කරන හොඳ කර්මය දැක ඔවුන්ගේ සිතේ පෙර කී ආකාරයේ යහපත් සිතුවිල්ලක් ඇති කර ගත යුතුයි.

      මැරුණු එකා මැරිලා නිසා තර්කානුකූලව එසේ විය නොහැකියි.

      Delete
  2. මේ දවස්වල කඨින පිංකම් සෑම ගමකම කෙරෙනවා නිති
    නැවත ඉපදී සැප ලැබෙන්නැයි- දනෝ පිංකම්වලම නියැලෙති
    ඒත් මේ ජීවිතේ වෙනසක් වෙන්න ඕනියි ඔවුහු නොසිතති
    සෙක්කුවේ බැඳි ගොන්නු දිගටම එය වටේටම වටරවුමෙ යති

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මිත
      කියා වැඩක් නැත
      සෙක්කුව කැරකෙත
      පන්සල් තරවෙත!

      Delete
  3. මෙයාලා නේද අම්මා මැරුණම පස්සේ බැනර් ගහලා තිබ්බේ නිවන් සැප ලැබේවා 'මීට දු දරු පිරිස' කියලා.

    ශ්‍රියාලතාට නිවන් සුව

    ReplyDelete
  4. හොඳ අදහසක් , රනිල්ට කිව්වා නම් හරි. අර වගේ බිස්නස් හාමුදුරුවරු තමා දැන් ඉන්නේ ලංකා බුද්ධාගමේ

    ReplyDelete
    Replies
    1. බිස්නස් හාමුදුරුවරු සහ හාමුදුරුවරු නිසා බිස්නස් කරන අය

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.