Friday 8 September 2023

සිසිල මාසික සාහිත්‍ය සඟරාවට දෙවසරක් පිරේ - Sisila Magazine completes two years



ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ වාර ප්‍රකාශනය ලෙස 2021 සැප්තැම්බරයේ දී නිකුත් කෙරුණු සිසිල මාසික සාහිත්‍ය සඟරාව 2023 සැප්තැම්බර් කලාපය නිකුත්වීම සමග තුන්වෙනි වසරට පා තැබූ බව සතුටින් දැනුම් දෙමි.

සිනුවර සිංහල යන අරුතෙන් “සිසිල” ලෙස නම් කෙරුණු මේ ප්‍රකාශනයේ මූලික අරමුණු වූයේ අපේ සාමාජිකයින්ගේ මෙන්ම ඕස්ට්‍රේලියානුවාසී සිංහලෙන් ලෙඛනයේ යෙදෙන්නන්ගේ නිර්මාණ සහ ලිපි ලෝකය පුරා සිංහල භාෂාව කියවන පාඨක පිරිස අතරට ගෙන යාම සහ පළ කිරීම සහ පොදුවේ සිංහල ලේඛනයේ ප්‍රගමනයයි. ඉතා ඉක්මනින් ම ලෝකය පුරා සිංහල පාඨකයින් අතර පැතිරී ගිය සිසිල මාසික සාහිත්‍ය සඟරාවට මේ වන විට ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල වෙසෙන ලේඛකයින්ගේ ද නිර්මාණ දායකත්වය ලැබේ.

සිසිල මාසික සාහිත්‍ය සඟරාවේ පළවෙන්නේ, විවිධ මාතෘකා යටතේ ලියවෙන තීරු ලිපි, කෙටිකතා, කාව්‍ය නිර්මාණ ආදියයි. ඒ සමගම, කොටස් වශයෙන් පළවෙන නවකතාවක් ද, ඔබේ වාග්-බලය අභියෝගයට ලක්කරන ප්‍රහේලිකාවක් ද අඩංගුය.

සිසිල මාසික සාහිත්‍ය සඟරාව සැකසෙන්නේ බලන්නට නොව කියවන්නට ය. මුද්‍රණයට නොව මූලිකව ම ඉලෙක්ට්‍රොනික තිරයක කියවන්නට ය. නෙත නොව සිත පිනවන්නට ය.

සඟරා පිටපත් සං‍රක්ෂණය සඳහා සකසා ඇති වෙබ් අඩවියේ [sisilamagazine.blogspot.com] සිසිල පෙර කලාප පළ කිරීම ආරම්භ වී ඇත.

සඟරාව සඳහා ෆේස්බුක් පිටුවක් [www.facebook.com/SisilaMagazine] ද, සඟරාවේ පාඨකයින් සඳහා ෆේස්බුක් කණ්ඩායමක් [www.facebook.com/groups/sisila] ද නිර්මාණය වී ඇත.

ඊ-මේල් හරහා නොමිලේ බෙදා හැරෙන සිසිල මාසික සඟරාවේ පිටපත් ලබා ගැනීමට කැමති අය ලිපිනයට ඊ-මේලයක් එවන්න.

සිසිල මාසික සාහිත්‍ය සඟරාවේ මුල් වෙළුමේ කලාප දොළස, ඉහත සං‍රක්ෂණ වෙබ් අඩවියෙන් මෙන්ම පහත සබැදි ඔස්සේ ද කියවිය හැක.

    
    
    
    
    
    

ස්තුතියි.
රසික සූරියආරච්චි,
සංස්කාරක, සිසිල සඟරාව,
සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව, නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව

(image: )

4 comments:

  1. ගොඩ දෙනෙකුගෙන් නිසි සහයත් ලබාගෙන
    මේ වගෙ දෙයක් දිගටම කරගෙන යන්න
    හපනෙකි කියා පෙන්නූ රසිකට ඔන්න
    මම සුබ පතමි, 'සිසිල'ට ජය අත් වෙන්න!

    ReplyDelete
  2. ප්‍රතිචාරයක් ලියන්න පමාවුණා. දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්. මමත් නිර්මාණ කිහිපයක් යැව්වා. ඒවාට දුන් ඉඩට ස්තුතියි. රසික හරිම කැපවීමකින් මේ ප්‍රකාශනය කරන බව මම හොදින් දන්නේ මහන්සියෙන් ඒ නිර්මාණ සංස්කරණය කරලා , උපදෙස් දීලා පලකරන්නට කලින් අවසන් නිර්මාණයේ පිටපතුත් එවපු හින්ද. තව තවත් අංග එකතු කරගෙන දිගු ගමනක් යන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.