Monday 14 August 2023

ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්වවිද්‍යාල නොවේ, මෙන්න මේක ය! දැවෙන ප්‍රශ්ණයකට මගෙන් පිදුරු ගොඩක්! - Private money for higher education industry


මං "මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!" කියන අපේ කාලේ කැම්පස් කතාව දවස් දෙකතුනකට කලින් පළ කළේ, අවුරුදු එකොළහකටත් වඩා කලින් ලියා තිබුණු මේ ලිපියත් පළකරන්න හිතාගෙනයි.

පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව සහ පක්ෂව (එදා වගේ ම අදත්) කෙරෙන විවාදයට සම්බන්ධ වෙලා "මගේ අත්දැකීම්" අනුව අද තියෙන ප්‍රශ්ණය ගැන මගේ විශ්ලේෂණය සහ විසඳුමක් ඉදිරිපත් කිරීමයි මගේ අදහස.

මෙතන "මගේ අත්දැකීම්" කියන්නේ රටවල් තුනක විශ්වවිද්‍යාල හයකින් ශිෂ්‍යයෙක් විදියට ලබපු අත්දැකීම් විතරක් නෙමේ, රටවල් දෙකක විශ්වවිද්‍යාල අටක දේශකයෙක් විදියට ලබපු අත්දැකීම් ගොන්නත් ඒකට ඇතුලත්. දේශණාගාරයේත්, කම්පියුටර් ලැබ් එකේත් ශිෂ්‍ය, දේශක දෙපැත්තේ දී ම ලැබුණු මගේ අත්දැකීම් අවුරුදු විසි දෙකකට වඩා වැඩි බවත් කියන්න ඕනෑ.

මෙන්න දැන් මගේ ශත දෙකේ මතය.

මොකක්ද මෙතන කේස් එක?
ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි උසස් පෙල සමත් වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඕනෑකම තියෙන හැමෝටම විශ්වවිද්‍යාලවල ඉඩ නැති වීම.

ඒකට හේතුව මොකක්ද?
හේතුව තමයි විශ්වවිද්‍යාල සඳහා රජයෙන් දෙන ප්‍රතිපාදන උසස් පෙල පාස් හැමෝටම විශ්වවිද්‍යාලවල නොමිලේ උගන්වන පහසුකම් සපයන්න ප්‍රමාණවත් නැති වීම.

ඇයි ඉතිං ආණ්ඩුව එහෙම නොකරන්නේ? වෙන අපේම ආණ්ඩුවක් ගෙනාවොත් වැඩේ ෂේප් නේද?
ආණ්ඩුවලට සල්ලිවලින් කරන්න වෙනත් වැඩ ඇති පදං තියෙනවා හලෝ. අනික මුං ගිහින් අරුං ආවත් ඕවායේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.

ලෝකේ අනිත් රටවල වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම වැඩේ ෂේප් වෙයි නේද?
ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං.

එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.

ශතවර්ෂ හතක් අටක් පරණ විශ්වවිද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි ම හිතන්නේ. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේ‍ර්ලියාවේ ම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!

ඕස්ටේ‍ර්ලියාවට, එංගලන්තයට යන ලංකාවේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්වවිද්‍යාලවලයි! එහෙම නැතුව පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙකු ගැන දන්නවා නම්, මට ඒ විශ්වවිදයාලයේ නම කියන්න කෝ.

මං වැරදි වෙන්න පුළුවනි, නමුත් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල්වලත් තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල මහා දානපතින්ගේ අරමුදල්වලින් ඇරඹුණු ඒවා මිසක මේ ටියුෂන් මුදලාලි ලා සල්ලි දාලා පටන් ගත්ත ඒවා නොවෙයි!

සල්ලි කෝටි ගණං ආයෝජනය කරලා, ඒකෙන් වාර්ෂික ප්‍රතිලාභ ගන්න අරමුණෙන් විශ්වවිද්‍යාල අරඹනවාට වඩා වෙන කොච්චර හොඳ බිස්නස් තියෙනවා ද?

පුද්ගලික සමාගම් ලෙස අරඹන විශ්වවිද්‍යාල ලංකාවේ සැබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම නොවෙන්නේ අන්න ඒ නිසයි.

එහෙනං සෑබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම මොකක්ද?
ඒකට එන්න කලින් මේක කියන්නම්. ලංකාවේ අපි හුඟක් වෙලාවට කරන වැඩක් තමයි ප්‍රශ්ණය වැරදි විදියට තේරුම් අරගෙන වැරදි විසඳුමක් ක්‍රියාත්මක කිරීම.

උදාහරණයක් විදියට ඉංගිරිසි දැනුම අඩු එකට කාලෙකට ඉස්සර දුන්නු විසඳුම ඉංගිරිසි විෂයය ඉගැන්වීම ක්‍රමවත් කරන එක නෙමේ මුළු සබ්බ සකලමනා විෂයයන් ම ඉංගිරිසියෙන් උගන්වන්න පටන් ගත්තු එකයි. ඉංගිරිසි විෂයය උග්නවන්න අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් නැති රටේ, සියළුවම විෂයයන් ඉංගිරිසියෙන් උගන්වන්න අය ඉන්නවද කියල බලන්නෙත් නැතුව තමයි වැඩේ ඇරඹුවේ!

අදත් ඒ කතාබහ එලෙසම තියෙනවා.

ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය දැනට වඩා විශාල වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන. ඒකට ආණ්ඩුවේ මීට වඩා සල්ලි නැති නිසා, සැබෑ විසඳුම පෞද්ගලික ව්‍යවසායකත්වය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නොවෙයි. අවශ්‍ය පෞද්ගලික ධනය උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යොදා ගැනීමයි.

කා ගාවද ඒ පෞද්ගලික ධනය තියෙන්නේ? කොහොමද ඒවා රජයේ විශ්වවිද්‍යාලවලට යොදාගන්නේ?
ඒ පෞද්ගලික ධනය තියෙන්නේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ උපාධි අරගෙන දැන් රැකියා කරන අය ළඟයි.

ඒ මුදල් ලබාගන්න නම් විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගන්න ඕනෑ, පාඨමාලාව සඳහා යන වියදමෙන් කොටසක් ඔවුනුත් පසුකාලෙක (ඒ කියන්නේ තමන්ගේ ආදායම යම් මට්ටමකට පත්වුණාට පස්සේ) රජයට ගෙවන පදනම මතයි.

උදාහරණයකින් පැහැදිලි කළොත්?
හිතන්න දැන් ක්‍රමය යටතේ ආණ්ඩුවට පුළුවන් වසරකට වෛද්‍ය සිසුන් 1,000 ක් සඳහා ප්‍රතිපාදන සපයන්න විතරයි කියලා. රජයේ මහජන සෞඛ්‍යය ප්‍රතිපත්තිය මත ජනගනණයෙන් සෑම දහ දාහකට ම එක දොස්තර කෙනෙක් ඕනෑය කියලා හිතන්න. ඒ ටාර්ගට් එක තව අවුරුදු පහකින් සම්පුර්ණ කරගන්න නම් වසරකට ගන්න වෛද්‍ය සිසුන් ගාන 1,500 ක් කරන්න ඕනෑ. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දැනට වඩා 50%ක අමතර මුදලක්. මේ මුදල වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්න 1,500 දෙනා උපාධිය අරගෙන ජොබ්කරන කාලේ ආපහු ගෙව්වා නම් වැඩේ ෂේප්.

"උසස් අධ්‍යාපන සම්මාදම් ක්‍රමය" කියලා හැඳින්වෙන මේ ආකාරයේ ක්‍රමයක් සාර්ථකව භාවිතාවෙන රජයේ විශ්වවිද්‍යාල පද්ධතියක් ගැන විස්තර මෙතනින් කියවන්න.

http://en.wikipedia.org/wiki/HECS#HECS

මේ ක්‍රමයේ තියෙන හොඳම වාසිය මොකක්ද?
හොඳම වාසිය තමයි කපා කපා කෑලි කපා දැම්මත්, රට ජාතිය වෙනුවෙන් පණ වුණත් දෙන්න බලාගෙන නිෂ්මිලා, බාලේලා, වෙනුරලා ගිය පාරේ යන්න බලන්න ඉන්න අයට වුණත් මේකට එකඟ වෙන්න පුළුවන්වීම.

ජීවිතේ කැපකරන්න ඉන්න අයට ජොබ් එකක් කරන ගමන් තමන්ට උගන්වන්න වැයවුණු මුදලින් තුනෙන් එකක් විතර ආපහු ගෙවන එක මහ කජ්ජක් ද?

සල්ලි ගෙවල ඉගෙන හරි ගන්න බලන් ඉන්න අයට නං මේකේ කිසි අවුලක් තියෙන්න විදියක් නෑ.

පුද්ගලික විශ්වවිද්‍යාල නිසා මුදළාලි ගේ මෝඩ පුතාට සල්ලිවලට උපාධියක් ගන්න පුළුවන් කියලා කෑ ගහන අයගේ සාධාරණ ප්‍රශ්ණයටත් මේකෙන් විසඳුම ලැබෙනවා.

මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!
https://rasikalogy.blogspot.com/2023/08/case-for-private-universities.html


-රසික සූරියආරච්චි

ප/ලි:
හැබැයි තව එකක් කියන්න ඕනෑ. එක එක ක්‍ෂේත්‍රවල උපාධිධාරියෝ රටට අවශ්‍ය ඒ ඒ ප්‍රමාණයක් විතරයි.

හැමෝම දොස්තරලා වුනොත් ඉතිං හැමදාම තමන් ලෙඩ වෙලා තමන්ටම බේත් කරගන්න වෙනවා. හැමෝම විද්‍යා උපාධිධාරියෝ වෙලත් බෑ. අනිත් ක්‍ෂේත්‍රවලත් එහෙමයි.

රටේ මධ්‍යම සැලසුම්වලින් මේ දේවල් තීරණය කරන්න ඕනෑ.

ඒ නැතිවුනත් රැකියා ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අනුව එක් එක් පාඨමාලාවලට තියෙන ඉල්ලුම තීරණය වේවි දීර්ඝකාලීනව.

(image: )

2 comments:

  1. //එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.

    ශතවර්ෂ හතක් අටක් පරණ විශ්වවිද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි ම හිතන්නේ. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේ‍ර්ලියාවේ ම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!

    ඕස්ටේ‍ර්ලියාවට, එංගලන්තයට යන ලංකාවේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්වවිද්‍යාලවලයි! එහෙම නැතුව පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙකු ගැන දන්නවා නම්, මට ඒ විශ්වවිදයාලයේ නම කියන්න කෝ.// රෝයල් චාටර් එකඟ පටන් ගත නිසා මේවට කියන්නේ පබ්ලික් යුනිවර්සිටි කියල. මේවා ඔක්කොටම ගෙවල තමං යන්නේ ඕනේ. නිකන් නොවේ. මම කියන්නෙත් මුදලාලි ලට දෙන්න කියල නෙමේ. ආණ්ඩුවෙන්ම හෝ ජනතාවම 9පබ්ලික් ) මුදල් ගෙවන වෛද්‍ය විද්‍යාල පටන් ගන්න කියල.

    ReplyDelete
  2. මෙතැන ඕස්ට්‍රේලියවේ , එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයයන් නැත, තියෙන්නෙ රජයේ විශ්ව විද්යාල ව්තරයි කිව්වම ලංකාවේ අය ඕක තේරුම් ගන්නේ ඒවත් ලංකාවේ තියෙන රජයේ විශ්වවිද්‍යාලයයන් ක්‍රමටේම දුවනවා කියලා. ඒක වැරදි වැටහීමක් .

    මේ රටවල තියෙන විශ්වවිද්‍යාලයයන් ලංකාවේ වෙනවා වගේ සම්පූර්ණයෙන් රජයේන පාලනය වෙන්නේ නෑ..ඒ වෙනුවට ඒවාගේ තියෙන්නෙ මැනේජ්මන්ට් එක කරන මණ්ඩලයක්.ඒගොල්ලො තමයි තීරණය කරන්නේ තමන්ගේ අචාර්වරුන්ගේ ගෙවීම කොච්චර ද, ඒ ඒ කෝස් එකක ගාණ කීයද කියලා.මේවා ලාභය අරමුණු කරගෙන නොකලත්, තමන්ගේ ආයතනය පවත්වාගෙන යන්නට අවශ්‍ය අරමුදල් කලමණාකරනය කර ගන්නවා.ඒ වගේම උගන්වන ආචාර්ය වරයට හම්බවෙන්නේ රජයේ රැකියාවක් නෙමේ.


    ඊට අමතරව මේ විශ්වවිද්‍යාලයයන් වලට රජයේ ආධාර හම්බුවෙනවා.ඒ ආධාර හරහා රජය තමන්ගේ ප්‍රතිපත්ති වලට අනුව මේ ව්ශ්වවිදයාල ක්‍රියාත්මක කර ගන්න යොමු වෙනවා.

    කොටින්ම කිව්වොත් මේ විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වෙන්නේ ස්වාධීන ආයතන හැටියට.හැබැයි ප්‍රධාන අරමුණ ලාභ ඉපැයීම නොවෙයි .ඒ වෙනුවට ඒවගේ අරමුණ සමාජ අවශ්‍යතාව අනුව තෘතීක අධයාපනය ලබාදෙන ගමන් ඒ ආයතන පවත්වාගෙන යමට අවශ්‍ය තරම් මුදල් ඉගෙනගන්නා සිසුන්ගෙන් අය කර ගැනීම.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.