බඩගින්නට මාළුවෙකු දීම හෙවත් සහෝදරත්වයේ දිනය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාවෝ සේතුං මහතා වරෙක අපූරු ප්‍රකාශයක් කරණු ලැබීය. එම ප්‍රකාශයෙන් කියවෙන්නේ බඩගින්නේ ඉන්නා මිනිසෙකුගේ කුසගින්න නිවන්නට ඔහුට මාලුවෙකු ලබාදී සැනසෙන්නට ඔබට පුලුවන් නමුත් වඩාත් වැදගත් වන්නේ මේ බඩගින්නේ සිටින මිනිසාට යොතක් සහ මාලු අල්ලන ක්‍රමය ඉගැන්වීමයි. මන්ද එවිට ඔහු තම බඩගින්න නිවා ගන්නට තමන් විසින්ම උත්සහා කරනු ලබන බැවින් හා එය වඩාත් ඵලදායී වන බැවිනි. මේ කතාව අපට මතක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් උතුරේ පාසල් දරුවන්ට නොමිලේ පාසල් පොත් බෙදා දුන් බවට වූ වාර්ථාවක් ඇස ගැසීමෙන් අනතුරුවය.

සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ කිලිනොච්චියේදී ජාතික සමගිය හා සහෝදරත්වය උදෙසා වැඩසටහන් රැසක් දියත් කරනු ලැබූ බව එම සංගමයේ මාධ්‍ය ඒකකය පවසයි. ජූලි 23වැනිදාට යෙදෙන සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් එම වැඩසටහන් සංවිධානය කරන ලදී.

ඒ යටතේ කිලිනොච්චිය ධර්මපුරම්හිදී ක‍්‍රිකට් තරගයක් හා සංස්කෘතික ප‍්‍රසංගයක් පවත්වනු ලැබීය. ක‍්‍රිකට් තරගය අතරතුරදී ඊට හමුදාවෙන් බාධා කළ අතර සංවිධායකයින්ට හමුදා කඳවුරට පැමිණ ප‍්‍රකාශ ලබා දෙන ලෙසද නියෝග කළේය. එහෙත්, එම අවස්ථාවට සහභාගි වූ තරුණ තරුණියන්ගේ උද්යෝගය මත බාධා කිරීම් නොසලකා තරගය පැවැත්වූ බවද සමාජවාදී තරුණ සංගමය පවසයි

එමෙන්ම, දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට විශාල ගැටලූවක් ලෙස පැවති සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දෙමළ භාෂාවෙන් මුද්‍රණය කරන ලද ප‍්‍රශ්න පත‍්‍ර හා උත්තර අඩංගු පොත් කට්ටල නොමැතිවීමේ ගැටලූවට පිළියම් යොදමින්, සමාජවාදී තරුණ සංගමය විසින් සකස් කරන ලද ප‍්‍රශ්න හා උත්තර පත‍්‍ර පොත් කට්ටල බෙදාදීමද සිදු විය. ඒවා, තිරුමුරුංගන්ධි හින්දු විදුහල, අක්කරායන් මහා විද්‍යාලය, කනගපුරම් මහා විද්‍යාලය, රුද්‍රපුරම් මහා විද්‍යාලය, ධර්මපුරම් මහා විද්‍යාලය යන විදුහල් වෙත ඊයේ බෙදා දෙන ලද අතර ඉදිරියේදී අනෙකුත් විදුහල් වෙතද ලබා දීමට සැලසුම් කර ඇතැයි එම නිවේදනය වැඩිදුරටත් දැක්වේ.

මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිමුතු බණ්ඩාර අබේකෝන් මහතා,හිටපු පළාත් සභා මන්ත‍්‍රී මරුන්ගන් මෝහන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ කිලිනොච්චි අපේක්ෂක සින්නතු‍රෛ රාජේන්ද්‍රන් මහතා සහභාගි වූහ.

  ඔවුන් මේ අවස්ථාවේදී ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සහා ගනු ලබන්නේ දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔන්න අපි දෙමලුන්ට දැන් සහෝදරයන්ට වගේ සලකනවා. අපි ක්‍රිකට් ගහනවා. එකට කනවා දෙමලෙන් පොත් අච්චු ගහලා දෙනවා ඉතින් තවත් ඔයාලට මොනවද ඕන. ඒ නිසා කරුණාකරලා අපිත් එක්ක සහෝදරත්වයේ නාමයෙන් ජීවත් වෙන්න දැන් ඔය දහතුන් වන සංශෝධනය වගේ කතා කියන්න එපා. දැන් අපිට ඉන්න එකම හතුරා හමුදාව තමයි. අපි දැන් දෙමලුත් එක්ක යාලුයි. හමුදාවත් එක්ක තරහයි. හමුදාව තමයි අපේ වැඩඩ බාධා කරන්නේ ඉතින් සහෝදරවරුණි, අපි තෝසේ කමු, කැකුලු හාල් බත් කමු, දෙමල සිංහල සහෝදරවරු කසාද බදිමු. අපි දැන් ජාතිවාදී නෑ. එන්න අපිත් එක්ක පියාඹන්න මේ නිදහස් ලංකාවේ. හැබැයි සහෝදරවරුනි මුරන්ඩු වෙන්න එපා ආයෙත් ප්‍රභාකරන් වගේ දෙමල ජාතියේ විමුක්තිය ගැන විහිලුවටවත් හිතන්න එපා. මේ රටේ විමුක්තිය ලැබෙන්න ඕන සිංහලයට විතරයි. දෙමලුන්ට අපි සහෝදරයන්ට වගේ සලකන්නම්. ඔන්න හැබැයි මුරන්ඩු වෙලා ආයෙත් උඹලගේ ජාතියේ විමුක්තිය ගැන හිතුවොත් දැන් අපි තරහා උනාට අපි ආයෙමත් අපේ හමුදාව සහෝදරයෝ කරගෙන උඹලට වැඩේ දෙනවා. 88දී හමුදාව අපේ පක්ෂයට සම්බන්ධ සහෝදරවරු හැට දහසක් විතර මැරුවා. ඒ ගාන 2009දී මැරිචිච උඹලගේ සහෝදරයන්ගෙ ගානටත් වඩා වැඩියි. ඒ නිසා අපි කාලයක් දැන් වගේම හමුදාවේ අය එක්ක තරහා වෙලා හිටියා. පස්සේ උඹලාගේ සහෝදරයෝ මරන්න ඕන නිසා අපි හමුදාව එක්ක ආයෙමත් යාලු වුණා. ඒ නිසා දැන් තරහා වුනාට අපි ආයෙමත් කවදා හරි හමුදාවත් එක්ක යාලු වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීන පාලනයක් තමන්ගේම පරිපාලන ඒකකයක් තමන්ගේ භාෂාවෙන් වැඩ කිරීමේ හැකියාවක් අපේක්ෂාවේන් ඉන්න දෙමල ජනතාවට දෙන්නේ බඩගින්නේ ඉන්න මිනිසෙකුට මාලුවෙකු දෙන වර්ගයේ උත්තර යැයි අපි කියන්නේ මේ නිසායි. නමුත් දෙමල ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ යොතක් හා මාලු අල්ලා ගැනීමේ තමන්ගේම ක්‍රමයක් ලබා ගැනීමය. මේ නිසා මහින්ද රාජපක්ෂගේ සංවර්ධන බයිලාව තරම්ම ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරත්වයේ බයිලාවත් දෙමල ජනතාව මුලා කිරීමේ කථාවක් විනා අන් යමක් ලෙස සැලකිය හැකිද?

1 Comment

  1. දේශප්‍රේමයෙන් මත් වෙල ඉන්න කොට මාලුව දෙන එකෙයි බිලී පිත්ත දෙන එකෙයි වෙනස පෙන්නේ නෑ. ඒ මතට තිත තිබ්බෙ නැත්තං අන්ධව තමයි ඉන්න වෙන්නෙ.


Comments RSS TrackBack Identifier URI

Leave a comment