ග්‍රීස් යකා, සිවිල් සමාජය හා ජන මාධ්‍යය

2011 අගෝස්තු 11 වනදා (ඊයේ රාත්‍රී ) බොහෝ මාධ්‍යය විසින් වාර්ථා කල ග්‍රීස් යකුන් පිලිබඳ ප්‍රවෘත්ති බහුතරයක් දෙනා විසින් දකින්නට ඇතැයි සිතමි.

විවිධ ප්‍රදේශ වලදී කාන්තාවන් තනිව සිටින නිවෙස්, නාන ළිං ආදී තැන් වල හොරෙන් බලා සිටීමේ සිට ඔවුන්ව ස්පර්ශ කිරීම හා ඔවුන්ට හිරිහැර කිරීම දක්වා විවිධ ක්‍රියා සිදුකල පුද්ගලයන් පිලිබඳව වාර්ථා වීමෙන් පසුව සිදුවූ සිදුවීම් මෙම ප්‍රවෘත්ති වලට පාදක වූ අතර “සැකකරුවන්” කීප දෙනෙකු ගම්වැසියන් විසින් අල්ලා බරපතල ලෙස පහරදී පොලිසියට බාරදී තිබූ අතර තවත් සැකකරුවන් දෙදෙනෙකුට මැරෙන තුරු පහර දී තිබේ.

මෙම විකෘති ලිංගික හැසිරීම් සහිත පුද්ගලයන් සමාජයට හිරිහැරයක් බව හා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී දඬුවම් පැමනවිය යුතු බවට කිසිදු විවාදයක් නැති වුවද, විධිමත් සාක්ෂි විමසීමකින් හෝ නෛතික ක්‍රියාවලියකින් තොරව මෙම සැකකරුවන්ගේ අත්පා බිඳ දමා, හිස් කබල් පොඩි කර, ම්ලේච්ඡ ලෙස මරා දැමීම අපට අනුමත කල හැකිද?

පාදය කඩා දමා පොලිසියට බාර දුන් එක් සැක කරුවෙක් පවසා තිබුනේ තමා ජීවිකාව උදෙසා පුවක් එකතු කිරීමට ගම් වල ඇවිදින අතර “හුදෙක් සැකය මත පමණක්” ගම්වැසියන් තමාට අමානුශික ලෙස පහර දුන් බවත්ය. මෙහි සත්‍යය අසත්‍යය බව අප නොදනිමු. නමුත් මෙය සත්‍යය නම්? නිදහසට කරුනු කීමට කිසිම ඉඩක් නොතබා පහරදී මරා දමන ලද අනෙක් දෙදෙනා සැබවින්ම අහිංසකයින් නම්? මැර දේශපාලඥයෙකුගේ හෝ පාතාලයෙකුගේ හෙංචයියෙක් නොවී, ස්වයං රැකියාවක නිරත වීම, හුදෙක් සැකය මත, බිහිසුනු ලෙස මරා දැමිය හැකි අනතුරකට පත්වීමක්ද?

මේ සියල්ලන්ටම වඩා අප්‍රසන්නම සිදුවීම නම්, මෙය බොහෝ රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්යෝ මගින් ප්‍රචාරය කල ජුගුප්සාජනක ආකාරයයි. එක් රූපවාහිනී මාධ්යනයක් මෙම ක්‍රියා මහා ශූරකමක් ලෙස අදහස් වන පරිදි ප්‍රචාරය කලා පමණක් නොව ඉතා ග්‍රාම්‍ය ලෙස “ගමේ අය නියමෙට දුන්නා” “හොඳට සැලකුවා” යනාදී ලෙස විස්තර විචාරය කරමින් මළ කඳන් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබීම ඔක්කාරය ඇතිකරවන්නක් විය. (මෙම සියල්ල ඔවුන් වාර්ථා කලේ මැරවින් සිවලා අහිංසකයකු ගස් බැඳීම වාර්ථා කල පරිදිම සිනා මුසු මුහුනින් බවද කණගාටුවෙන් වුවත් කිව යුතුය.)

රටේ බහුතරයක් ජන මාධ්‍යය මගින් මේ දෙන පණිවුඩය කුමක්ද? කිසිදු වග විභාගයකින් තොරව නීතියට අතට ගෙන වනචාරීන් ලෙස හැසිරීමට උල්පන්දම් දීම කොතරම් භයානකද යන වග මේ ඔල මොට්ටල මාධ්‍යවේදීන්ට නොපෙනෙන්නේද? මෙවැනි අකටයුතු හමුවේ සිවිල් සමාජය මෙතරම් නිද්‍රාලශීලී, මේ මරා දමන්නේ හා රස කරමින් මළකුනු විකුනා දමන්නේ අපේ ඥාතියෙක්ගේ හෝ හිතවතෙකුගේනොවන, කිසිදු හඬක් නැති අසරනණයින්ගේ නිසාද? හෙට දිනයේදී ඔබ විසින් පදාවාගෙන යන වාහනය රිය අනතුරකුට ලක් වී ගම්වැසියකු තුවාල ලැබුවහොත්, මෙලෙස මාධ්‍යය මගින්, “නීතිය අතට ගෙන දඬුවම් දීමට” වරම් දෙනු ලැබූවන් ඔබට කෙසේ සලකනු ඇතිද?


6 responses to “ග්‍රීස් යකා, සිවිල් සමාජය හා ජන මාධ්‍යය

  • Mr. අංකොක්කාවල

    ලංකාවෙ පොරවල් දැං හැම දේකින්ම ෆන් ගන්න බලාගෙන ඉන්නෙ. යකෙක් උනත් අහු උනොත් ඌට දසවද දීල මරල ඒක වීඩියෝ කරල කාලකන්නි ආතල් ගන්න අපේ උන් පුරුදු වෙලා. මෙතනදි ටීවී චැනල් කරන්නේ මිනිස්සු ඉල්ලන දේ කැත නැතුව විකුනන එක

  • Charmi

    වේලි වේලි හිටපු වෙලාවෙ ආපු මේකා යකෙක් නෙමේ දෙයියෙක්…………

    • මහෝදර

      ඔව්. චාමි උපහාසාත්මකව කියපු කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා.

      රූපවාහිනී නාලිකා වලට නම් යුද්ධෙ ඉවර වීම අති විශාල රික්තයක් ගෙනාවා. රටේ තැන් තැන් වල මැරෙන හා මරා දමන මිනිස්සුන්ගෙ මළ මිනී හරි පෙන්නල මේ ඉල්ලුම සපුරාගන්න එක අපිට ඒ අනුව තේරුම් ගන්න පුලුවන්.

      මීට අමතරව බොහෝ ජන සමාජ වල කෲර දර්ශන හා ක්‍රියාකාරකම් වලින් වින්දනයක් ගන්න පිරිසක් ඉන්නවා. කිසිම ක්‍රීඩාශීලීත්වයක් නැති WWF රෙස්ලින් වගේ දෙයකින් උනත් බොහෝ විට ආමන්ත්‍රනය කරනු ලබන්නේ මොවුන්වය.

      මෙවැනි පිරිස් වලට ඔබ කියනා පරිදිම මෙවන් ගොදුරක් තම ගේ දොරකඩටම හෝ රූපවාහිනිය මගින් ආලින්දයටම ලැබීම දෙය්යෝ දුන්නා වැනි භාග්‍යක් තමයි.

  • අමිල

    වැඩේ දැන් හොඳටම උඩුදුවලා. ඊයේ පුත්තලමෙ තව එක්කෙනෙක් මරල.

  • දිනේශ් දීපාල්

    ග්‍රීස් යකා තියා මොන යකා අරඹයා වූවත් නීතිය අතට ගැනීමට කිසිවකුට අයිතියක් නොමැත්‍තාසේම අනන්‍යයෙකුගේ ජීවිතය උදුරා ගැනීමේ අයිතියක්ද කිසිවෙකුට නොමැති බව පැවසිය යුතුයි. ග්‍රීස් යකා හෝ බූතයා නිසා සමා‍ජයේ ඒ ඒ කොටස් පීඩාවට පත්වීමද අනුමත නොකරන නමුත් එය මැඩලීම සදහා රටේ නීතියක් හා එය ස්ථාපිත කිරීමට අංශ තිබියදී සාහසික ලෙස අහිංසකයන් පෙලීම කිසිසේත් අනුමත නොකරන අතර මිනිසුන්ගේ දුක හා හිංසාකාරී ක්‍රියා සිනාමුසු මුහුනින් හා ඒවා තමන්ගේ චැනලය ජනප්‍රිය වන ලෙස යොදා ගන්නා මාධ්‍ය පිළිබදව ඇතිවන්නේ පිළිකුලකි…

What do you think? Please leave a reply