නිවස > අත්දැකීම් | Experience, මේ දවස් වල අහන සින්දු > ” තරු පිපුණු ගන අහස මම නම්… “

” තරු පිපුණු ගන අහස මම නම්… “

*

*

තරු පිපුණු ගන අහස මම නම්,

ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවණි.

වැසි නොවට මරුකතර මම නම්,

ඒ පොළොවේ දිය බින්දුව වෙන්න සුදු රුවණි.

හද පෙලන චන්ඩ රල මම නම්,

ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවණි.

ප්‍රේමයෙන් අහිමි හද මගේ නම්,

ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි.

*

නෙතු පෙලන කැල්මේ සිනහ සඳපානේ,

ඔබ ඇවිත් මගේ ලඟින් ඉන්නවා වගේ දැනේ.

ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ,

අපි හදින් බැඳුනු බව ලෝකයා නොම දනී.

*

ජීවිතය අතරේ ආදරය නැවතී,

පෙම් කවක් සදාතන හදවතට කොඳුරාවී.

මේ ගී ගායනා ආල හද වෙලානා,

මහබඹුන් හෙට දවසේ අප නමින් ලියාවී.*

*

*

මේ සින්දුව නිකුත් වෙච්ච කාලේ කීයෙන් කී දෙනෙක්ට මතකද කියන්න මම දන්නේ නැහැ.

ඔබට මතක නම් ඔබත් මම වගේම 80-90 දශකයේ ඉපදිච්ච කෙනෙක්.

ජගත් වික්‍රමසිංහ ගයන,

පද්මකුමාර මෙත්තසේනගේ අතින් ලියවුන මෙම ගීතය,

මම මුලින්ම ඇහුවේ සිරස රුපවාහිනියේ ‘රස රිසි ගී’ වැඩසටහනෙන්.

ඒ කාලේ රුපවාහිනී චැනල් 2,3 කට වැඩ තිබුනේ නැහැ,

ජංගම දුරකථන,අන්තර්ජාලය,ෆේස්බුක් කිසිම දෙයක් තිබුනේ නැහැ.

යන්තං දෙය්යනේ කියලා ගෙදර දුරකතනයක් තිබුනා.

විහිලුවට හරි ගෑනු ළමයෙක්ගේ ගෙදර දුරකතනයට කතා කරලා,

අම්මගෙනුයි,තාත්තගෙනුයි බේරිලා ගෑනු ළමයට කතා කරන එකම එකම හරි අමාරු වැඩක්.

අනිත් අතට වෙරදිලා හරි ගෙදරට ගෑනු ළමයෙක්ගෙන් ‘කෝල්’ එකක් ආවොත්,

හතරවෙනි තට්ටුවට ගිය වගේ තමයි ගෙදර අයගේ ප්‍රශ්න වලට මුහුණ දෙන එක.

*

ඔය අතරේදී දෙන්නෙක්ගේ ප්‍රේමයට යහළු යෙහෙළියන්ගෙන්

ලැබෙන සහයෝගය,කැපකිරීම් පුදුම සහගතයි.

හදිස්සියේම මේ ගීතය මතක වෙන්න හේතුව

මේ වගේ අපි සෑහෙන දෙනෙක්,

‘පට්ට සපෝර්ට් එකක් දුන්නු රෝමියෝ ජුලියට්” ප්‍රේම කතාවක්,

ඊයේ පෙරේදා සදහටම ඉවර උනා.

කොටින්ම ගෑනු ළමයාගේ තාත්ත පිරිමි ළමයට වඩා අපි කට්ටිය එක්ක තරහයි.

ගුටි කාපුව,ටියුෂන් පන්ති ගාව රස්තියාදු වෙච්ච් ඒවා,ඉස්කෝලේ ‘කට්’ කරපුවා,

කවි ලියපුවා,සී.ඩී. කවර්ස්,’ලව් ලේටර්ස්’,මගුල් ගෙවල්/ස්පෝර්ට්ස් මීට් වල රස්තියාදු ඇතුළු,

කියන්න පුළුවන් බැරි දේවල් සියල්ල ඔක්කොම දේවලින් දැන් වැඩක් නැහැ.

ඒ වුනාට ආපහු හැරිලා බලන කොට පුදුම සුන්දරත්වයක් තියෙන්නේ.

*

‘Y’ පරම්පරාව පිලිබඳ මීට බොහෝ කලකට පෙර ලියන ලද සටහන මෙතනින් කියවන්න.

*

*

ප්‍රේමනීය සිතුවිලි ජීවිතේ මුලින්ම දැනෙන කාලේ හරිම සුන්දරයි.

මම මේ කියන්නේ ප්‍රේම සබදතාවයක් ගැන නෙමයි.

ප්‍රේමය කියන,

තමන්ට  විස්තර කරගන්න බැරි සිතුවිල්ල,

ජීවිතයේ ප්‍රථම වතාවට ඇතිවන අවස්ථාව ගැන.

ඒ සිතුවිලි හරියට නිමක් නැති අහස වගේ.

හරිම ගැඹුරුයි.

ඒ වගේම තමයි,

ජීවිතයේ තමන් ලබාදෙන ආදරය පෙරලා තමන්ට ලැබෙන අවස්ථාව.

මම හිතන්නේ නැහැ,

තරුණයෙක්ට/තරුණියකට ඊට වඩා ප්‍රේමනීය අත්දැකීමක් ඇති කියලා.

*

ඊට පස්සේ කාලයත් එක්ක විවිධ ගට්ටන හැල හැප්පීම් එක්ක ගලායන ,

ප්‍රේමය සහ ජීවිතය වවිධ තත්වයන් හමුවේ විවිධ ලෙස වෙනස් වීම වලට මුහුණ දෙනවා.

ඒ මොන දේ උනත් මුලින් කියපු විදිහේ,

අනේක බාධා හමුවේ ලියලුනු ‘සුහුඹුල් ආදර අත්දැකීම’

ජීවිතේටම අමතක වෙන එකක් නම් නැහැ.

*

ජගත් වික්‍රමසිංහ ගායනා කරනවා වගේ,

ජීවිතේ මොන විදියට ගලාගෙන ගියත්,

අපි ගමන කරන්න මොන පාර තෝරාගත්තත්,

“ජීවිතය අතරේ ආදරය නැවතී,

පෙම් කවක් සදාතන හදවතට කොඳුරාවී “.

*

*

  1. ජූනි 9, 2012 දින 10:44 පෙ.ව. ට

    පට්ටයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

  2. hare :-)
    ජූනි 9, 2012 දින 1:40 ප.ව. ට

    මේක මම මුලින්ම ඇහුවෙ 98, 99 වගේ කාලෙක ස්වර්ණවාහිණියෙන්. ඒ දවස්වල ඔය නමින් දන්න කියන ළමයෙකුටත් හිත ගිහින් තිබුණ නිසා අග්න්‍යාශයටම සින්දුව වැදිල තිබුණේ… ඔය සින්දුව නිසාම ඒ ළමයව මතකයි 😉

    • ජූනි 9, 2012 දින 2:12 ප.ව. ට

      මගෙත් දන්න යාලුවෙක් රුවනි කෙනෙක්ටයි මේ සින්දුවටයි වහ වැටිලා හිටියා.මිනිහා ලඟදි බැන්දා.රුවනි කොහෙද කියලවත් දන්නේ නැහැ. 🙂

  3. ජූනි 13, 2012 දින 5:56 ප.ව. ට

    මම ඉපදුනේ ඔයිට ගොඩක් කළින්. සිංදුව අහලා තිබ්බෙ නැහැ මොකද සිරස එද්දි ලංකාවෙන් ගිහින් නෙ. හැබැයි ඉතිරි ටික නම් එදත් එහෙමයි. “පට්ට සපෝට් දුන්නු රෝමියෝ ජුලියට්” ලා හිටියා. තාමත් සමහරු එකට. ඒත් සමහරු වෙන් වෙලා. තව කට්ටියක් එකතු වුනේ ම නැහැ. මෙවලම් වෙනස් වුනාට හදවත් එකම විදියට වැඩ කරාවි!

  4. ජූනි 13, 2012 දින 6:01 ප.ව. ට

    ජගත් වික්‍රමසිංහ තමන්ගේ නිර්මාණ වලින් අනුන් ප්‍රයෝජන ගන්නවාට කැමති ද දන්නෑ, මොකද එයා අනුන්ගේ වෙහෙස තමන්ගෙ සිංදුවට දා ගන්න එක දැක්කම නම් දුකයි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න