පිරිමි සමලිංගිකයො කියල ජාතියක් ලංකාවෙ ඉන්නවද?

කොන්ඩොම් කියලා කියන්න ලැජ්ජ වෙන්නේ ඇයි?

නීතියේ සමාන ආරක්ෂාව හා රැකවරණය සියලු දෙනාටම ලැබිය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති තත්ත්වයක් යටතේ තමන්ට නීතිමය ගැටලුවක්

තු වූ විට නීතිමය සහාය ලබා ගැනීමේ අයිතිය සෑම දෙනෙකුටම හිමිවන බව ජනතාව දනී. ඒ එසේ වුවද සමාජයේ ජීවත්වන ආන්තික ජන කොටස්වලට නීති ආධාර ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එසේ නොකළහොත් එම ආන්තික ජන කොටස් නීතිමය රැකවරණයෙන් ඉවතට වැටෙන බැවින් නීතියේ රැකවරණය සියලු දෙනාටම ලැබිය යුතුය යන මුලධර්මය බිඳවැටේ. ලිංගාශ්‍රිත රෝග සහ එච්.අයි.වී. පැතිරීම වැළැක්වීම සඳහා කොන්ඩොම් භාවිතයෙහි ඇති වැදගත්කම පිළිබඳව දැනුම,
ආකල්ප සහ කුසලතා සමාජයට ලබා දුන් පසු ඒ සමාජයේ චර්යාවේ වෙනසක් සිදු වී ප්‍රජාව කොන්ඩොම් පාවිච්චි කරනු ඇතැයි උපකල්පනය කළ හැකිය. නමුත් මෙම වැළැක්වීමේ වැඩපිළිවෙලේදී සමාජයෙ ආන්තික ප්‍රජාවන් මෙන්ම ලිංගාශ්‍රිත රෝග බෝවීමේ වැඩි අවදානමක් සහිත ප්‍රජාවන් වන ලිංගික ශ්‍රමිකයන් සහ පිරිමින් සමඟ
ලිංගික සංසර්ගයේ යෙදෙන පිරිමින් යන ප්‍රජාවන් දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ. නැත්නම් එම ප්‍රජාවන් අනතුරට හෙළමින් පැතිරෙන රෝග කාරක පෙරළා මුළු සමාජයෙහිම පැතිරී රෝග මර්දන වැඩසටහනේ අරමුණු පරාජය වනු ඇත.

නමුත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ පවතින නීතිමය රාමුව තුළ ගණිකා වෘත්තිය මෙන්ම පිරිමි සමලිංගිකත්වය ද නීති විරෝධී අපරාධ ගණයට වැටීමයි. ඒ හේතුව නිසා මේ ජන කොටස් දෙකෙහිම සාමාජිකයන්ට පුරවැසියන් වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් තම අයිතිවාසිකම් පිළිබඳව කතා කළ නොහැකි වන අතර ඔවුන් නිකංම නිකං මනුස්ස
ප්‍රාණීන් හෙවත් ‛නීතියට යටින් සිටින මිනිසුන්’ පිරිසක් බවට පත්වෙයි. එබැවින් එවැනි පිරිසක් අතර එච්.අයි.වී. හෝ වෙනත් ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ උපාය මාර්ගයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් එම ප්‍රජාවන් සමඟ කටයුතු කරන ඔවුන්ගේම ප්‍රජා සංවිධාන සමඟ එක්ව මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

එවැනි උත්සාහයක් ඒඩ්ස්, ක්ෂයරෝගය සහ මැලේරියාව මර්දනය කිරීම සදහා වන ලෝක අරමුදලේ ආධාරයෙන් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහනේත්, සිවිල් සමාජ සංවිධානයක් වන සර්වෝදය සංවිධානයේත් මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වී තිබී ඇති අතර ඒ සඳහා ‛ගමන් මගේ සහකරුවෝ’ යන ප්‍රජා පාදක සංවිධානය ද දායක වී තිබුණි. ගමන් මගේ සහකරුවෝ යනු පිරිමි සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන ලංකාවේ
පුරෝගාමී සංවිධානය වේ. ඒ අනුව ඔවුන් විසින් කර ඇත්තේ නීතියට යටින් ජීවත්වන පිරිමි සමලිංගිකයන්ට කොන්ඩොම් සහ ලිහිසිකාරක ජෙල් බෙදා දීම මගින් එච්.අයි.වී. ආසාදනයට ලක්නොවී වැළැකීමට ඔවුන්ට මගපෙන්වීමයි.

මේ පිළිබඳව ඊනියා ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවක් ‛රිවිර’ පුවත්පතේ මාධ්‍යවේදියකු විසින් සිදුකිරීමත් ඒ පිළිබඳව ප්‍රධාන ප්‍රවෘත්තිය තුළ සහ කතුවැකිය මඟින් ප්‍රසිද්ධියක් ලබා දීමත් නිසා මෙම ක්‍රියාවලිය පිළිබඳව මහජන අවධානය යොමුවිය. ඇමරිකානු ඩොලර් මිලියන දොළහක අරමුදලක් පරිහරණය කරමින් මේ පිළිබඳව ක්‍රියාත්මක වන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සර්වෝදය සංවිධානය හෝ මේ පිළිබඳව ක්‍රියාකාරීව මාධ්‍ය මගින් මැදිහත්වී තමන්ගේ ප්‍රතිපත්තිය
වෙනුවෙන් පෙනී සිට ඒ පිළිබඳව මහජන මතයක් ඇති කිරීමට තිබූ අවස්ථාව පැහැර හරිමින් සිටී. ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ සහ සේවා සැපයීමේ සරල
කටයුත්තක් පවා කරගෙන යාමට අද රට තුළ පැතිරී පවතින අධිපති මතවාදය විසින් තවදුරටත් ඉඩ නොදෙන බවත්, ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා
කිරීම සඳහා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ගිවිසුම් මඟින් බැඳී ඇති ආණ්ඩුව ඒ වෙනුවෙන් පෙනී නොසිටින අතර අධිපති මතවාදයේ ආරක්ෂකයා වශයෙන් පෙනී සිටිමින් අන්තවාදී බලවේග සනසා තම ඡන්ද ගොඩ රැක ගැනීමට කටයුතු කරන බවත්, ආණ්ඩුවත් සමඟ එකතු වී සේවා සැපයීමෙන් එහාට ගොස් තම ප්‍රජාව
නීතියට යටින් ජීවත් වන මිනිසුන් වශයෙන් නොව නීත්‍යනුකූල අයිතිවාසිකම් සහිත පුරවැසියන් වශයෙන් නගා සිටුවීම සඳහාත්, අන්තවාදී මතවාදයන් පරාජය කරනු සඳහාත් පොදු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම අරගලයට එක් වීම හැර වෙන පහසු මගක් නැති බවත් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්
පෙනී සිටින ෂර්මන් ඩි. රෝස් සහ ගමන් මගේ සහකරුවන් තේරුම් ගත යුතුය. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර වශයෙන් ලියැවුණු අපට සොයා ගත හැකිවූ එකම ලිපිය සැප්තැම්බර් 21 වනදා ‛ග්‍රවුන්ඩ් වීව්ස්’ වෙබ් අඩවියෙහි පළව තිබුණි. එහෙත් රිවිර විසින් ආරම්භ කළ සාකච්ඡාව සිංහල භාෂාවෙන් සිදුවූ බව නොතකා කිසිදු සංවාදයක්
සිංහලෙන් දියත් නොවුණි. එම පසුබිම තුළ ‛සමබිම’ ඉරිදා සංග්‍රහය මේ සාකච්ඡාවට මැදිහත්වීමට තීරණය කරන ලද අතර පුරෝගාමී මෙහෙවරක් ලෙස ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවියට හෑන්ස් බිලිමෝරියා යන නමින් ලියන ලද ලිපිය සිංහල බසින් නැවත සකසා පළ කිරීමට අපි තීරණය කළෙමු. මම මෙය ලියන මොහොතෙත් මා එක්ක වැඩ කරපු කට්ටියයි යාළු මිත්‍රයොයි පණ බයේ ජීවත් වෙන්නෙ.

ඇත්තම කියනව නම් පිරිමින් එක්ක ලිංගිකව හැසිරෙන පිරිමින්ට කොන්ඩොම් සහ ලිහිසිකාරක ජෙල් බෙදාදීම ගැනයි, ඒ ක්‍රියාවලියට සම්බන්ධවෙලා ඉන්න ප්‍රජා පාදක සංවිධානය   (මෙහිදී සඳහන් කරන්නේ ‛ගමන්මගේ සහකරුවෝ’ සංවිධානය ගැනයි – පරිවර්තක) ගැනයි පහුගිය සැප්තැම්බර් 10 වන සෙනසුරාදා ‛රිවිර’ පත්තරෙන්
හෙළිදරව් කරපු වෙලාවෙ ඉඳලා පිරිමි සමලිංගික ප්‍රජාව ඉන්නෙ ලොකු ආතතියකින්. සැප්තැම්බර් 10 වෙනි දා පළවූ විශේෂාංගයෙන් ඒ සංවිධානය නමින්ම හඳුන්වලා තියෙනවා විතරක් නෙවෙයි සංවිධානෙ ලිපිනයත් පළ කර තිබුණා. ඒ වගේම සංවිධානෙ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නෙ ද්විතියීක පාසලක් අසල බවත් ව්‍යාපෘති කාර්යාලය තියෙන්නෙ ප්‍රාථමික පාසලක් අසල බවත් භාවප්‍රකෝප කරවන සුළු ආකාරයෙන් පළ කරල තිබුණා. මිනිහෙක් පිරිමි සමලිංගිකයෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම ළමා අපයෝජකයෙක් වෙන්න ඕන කියන ළදරු චින්තනයෙන් යුතුව තමන්ගෙ පුත්තුන්ව බේරගන්න කියලා දෙමාපියන්ට අනතුරු හඟවා තිබුණා.

ප්‍රජා පාදක සංවිධානය ඉලක්ක කරගැනීමට අමතරව මේ සංවිධානෙට තම එච්.අයි.වී. වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අරමුදල් සපයපු ‛ඒඩ්ස්,  බකියුලෝසිස් සහ මැලේරියා සඳහා වන ලෝක අරමුදල’ (GFATM) පිළිබඳවත් ප්‍රශ්න මතු කර තිබුණා. පිටරටින් ලැබෙන අරමුදල් හැම අවස්ථාවකදීම අපේ රටේ සංස්කෘතික හා
සාම්ප්‍රදායික සම්මතයන් බිඳින්න අපිට බලපෑම් කරනවය කියන උපකල්පනයට පැමිණීම ඉතාම දිළිඳු මාධ්‍ය භාවිතාවක් බව නිසැකවම කිව යුතුයි. ඒවගේම හරියට කරුණු නොදැන ලංකාවේ එච්.අයි.වී. පැතිරීම වැළැක්වීම සඳහා ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ආධාර මුදල ලබාගෙන ඒඩ්ස් වෛරසය ආසාදනය වීමේ වැඩිම අවදානමක් සහිත ජන කොටස් සමඟ වැඩ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටසක් වන ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහනටයි සර්වෝදයටයි
එල්ල කරපු චෝදනාද එවැනිම දිළිඳු මාධ්‍යවේදයකට උදාහරණයක්. භාවප්‍රකෝප කරන ප්‍රබන්ධ පළ කරල පත්තරේ අලෙවිය වැඩිකර ගන්න කරන මාධ්‍ය කලාව වෙනුවට කරුණු සොයා බලල වාර්තා කරන ජනමාධ්‍යවේදයක් තිබුණ නම් ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහන (NSACP), සර්වෝදය හෝ ලෝක අරමුදලේ බියජනක ‛විදේශ හස්තය’ සතුව ලංකාවේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන සැඟවුණු න්‍යාය පත්‍රයක් නැති බව පැහැදිලිව වැටහේවි. එසේම සේවා ලබාගැනීමට පැමිණි
පිරිමි සමලිංගිකයෙක් මෙන් වෙස්වලාගත් රිවිර පත්තරේ ගවේෂණාත්මක මාධ්‍යවේදියා කුමක් වාර්තා කළත් මෙම ප්‍රජා පාදක සංවිධානෙටත් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන න්‍යාය පත්‍රයක්නැහැ. ඔහු චෝදනා කරන ආකාරයට මෙම සංවිධානයේ වැඩකරපු සේවකයන් ඔහුට වෙනත් සමලිංගික පිරිමියෙක්ව යාළු කරදීමට උත්සාහ කර තිබෙනවා. සමහරවිට මෙම පත්තරකාරයා දිහා බැලුවම එයා දුකෙන් සහ පාළුවෙන් ඉන්න බව පෙනුණු නිසා අපේ රටේ සමලිංගිකත්වය ගැන තියෙන නිශේධනාත්මක ආකල්පය නිසා නිහඬව වේදනා විදින තවත් පිරිමි සමලිංගිකයන් සිටින බව දැනුවත් කරමින් එම සේවකයො ඔහුව සනසවන්න උත්සාහ කළා වෙන්න පුළුවන්.

කේ.වයි. කියන්නෙ 1904 සිට සාමාන්‍ය ලිහිසිකාරකයක් හැටියට යොදා ගන්නා ජෙල් වර්ගයක්. එය ජලය මත පදනම් වූ ලිහිසිකාරකයක්. එය තෙල් මත පදනම් වුණු ලිහිසිකාරක වන බේබි ඔයිල් වගේ ලේටෙක්ස් කොන්ඩොම් එක්ක ප්‍රතික්‍රියා කරන්නෙ නැහැ. තෙල් මත පදනම් වූ ලිහිසිකාරක නිසා කොන්ඩොම් එක කැඩෙන්න හරි පැලෙන්න හරි ඉඩ තිබෙනවා. තද ගුද මාර්ගයකුයි, කොන්ඩොම් එකක් දාපු ශිෂ්ණයකුයි ගැන පරිකල්පනය කළොත් සාමාන්‍ය දැනුම තියෙන ඕනම කෙනෙකුට වැටහෙනව
ලිහිසිකාරකයක් අවශ්‍ය බව. සාමාන්‍යයෙන් මෙතනදි යොදා ගැනෙන්නෙ බේබි ඔයිල් හරි ඔලිව් ඔයිල් හරි වගේ ගෙදර තියෙන ලිහිසිකාරකයක්. ඝර්ෂණය වැඩිවෙනකොට කොන්ඩොම් එක ඉරිල යනවා. නමුත් කේ.වයි. හරි වෙනත් එවැනි ජලය මත පදනම් වූ ලිහිසිකාරකයක් යෙදීමෙන් කොන්ඩොමය ආරක්ෂා වෙනවා. එම නිසා කොන්ඩොම් එක සුරක්ෂිතව තියෙන නිසා ශුක්‍ර තරලයේ හෝ ලේවල හෝ තියෙන්න පුළුවන් එච්.අයි.වී. වෛරසයන්ගෙන් පිරිමි සමලිංගික ජෝඩුව ආරක්ෂා වෙනව. ලංකාවෙ පිරිමි සමලිංගිකයන්ට කොන්ඩොම් එක්ක ජලය මත පදනම් වූ ලිහිසිකාරක ජෙල් බෙදාදීම පිටුපස තියෙන තර්කය එයයි.

එච්.අයි.වී. වැළැක්වීමේ මේ සරල විද්‍යාව පදනම් වී තිබෙන්නේ මිනිස්සු ගුද සංසර්ගයේ යෙදෙනවාය කියන උපකල්පනය මතයි. ජලය මත පදනම් වෙච්ච ලිහිසිකාරක ජෙලියි, කොන්ඩොමුයි බෙදීම පිරිමි සමලිංගිකයන්ට වැඩි වැඩියෙන් ගුද සංසර්ගයේ යෙදෙන්න උල්පන්දන් දීමක් නෙමෙයිද? එයින් එච්.අයි.වී. වළක්වන්නෙ කොහොමද?
කළ යුත්තේ ගුද සංසර්ගය නවත්තන්න කටයුතු කරන එක නෙවෙයිද? ආදී ප්‍රශ්න සමහරු අහනවා. එවැනි තවත් අදහසක් තමයි ගුද සංසර්ගයෙ යෙදෙන්නෙ පිරිමි මලිංගිකයන් විතරයි, විෂම ලිංගික ජෝඩු කරන්නෙ යෝනි සංසර්ගයේ යෙදෙන එක විතරයි කියන එක. ඉස්සර මේ එච්.අයි.වී. වෛරසයට කිව්වෙ පිරිමි සමලිංගිකයන් ආශ්‍රිත ප්‍රතිශක්ති ඌනතාවය (GRID) කියලයි. බොහෝ දෙනා හිතුවෙ මේක හැදෙන්නෙ පිරිමි සමලිංගිකයන්ට විතරයි කියල. ඇත්තටම එච්.අයි.වී. ආසාදනය වළක්වන්න නම් ලිංගික චර්යාවන්ට ආමන්ත්‍රණය කරන්න සිදු වෙන බව එච්.අයි.වී. ගැන දැනගත්ත කාලෙ පටන්ම අවබෝධ කරගෙන හිටිය කාරණයක්.රිවිර තමන්ගෙ
ලිපිය තුළින් දිගින් දිගටම ‛මේක නීති විරෝධියි නේද? දණ්ඩ නීති සංග්‍රහයෙ 365 (අ) යටතේ මෙය නීතියෙන් තහනම් වුණ රටක පිරිමි සමලිංගිකයො
සෙක්ස් කරන්නෙ කොහොමද? ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහනත්, සර්වෝදයත්, ගෝලීය අරමුදල
සමඟ එකතු වී නීතිය කඩනවා නේද?’ යනුවෙන් චෝදනා නැගුවා.

සැප්තැම්බර් 10 වෙනිදා රිවිර විශේෂාංගය පළවුණාට පස්සෙ ලෝක අරමුදලේ 9 වන වටයේ යෝජනාවට සම්බන්ධ අය මාධ්‍ය හමුවක් පවත්වලා මේ චෝදනාවලට පිළිතුරු දුන්නා. මේ වසංගතය පහළ මට්ටමක තබා ගැනීමෙන් රටක් වශයෙන් සාර්ථක වෙන්න නම් අපරාධකාරී ගණයට දමා තිබෙන ප්‍රජාවන් ද ඒ ක්‍රියාවලියට ඇතුළත් කරගත යුතු බව අවධාරණය කරමින්, මේ මැදිහත්වීමට පක්ෂව මහජන සෞඛ්‍ය පිළිබඳ දෘෂ්ටිකෝණයකින් තර්ක කරනු ලැබුවා. ඊළඟ සති අන්තයේ ‛රිවිර’ ප්‍රතිචාර දැක්වුවා. එමගින් ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහන, සර්වෝදය සහ ලෝක අරමුදල කියන ආයතන තුනම ලංකාවෙ නීතිය කඩනවාය, බටහිර රටවල ආදර්ශ අප මත පටවන්න කටයුතු කරනවාය සහ ප්‍රජාව සමග එකතුවෙලා එච්.අයි.වී. වළක්වන්න කටයුතු කරන වර්තමාන ප්‍රවේශය වැරදිය කියල ඔවුන් කියා සිටියා. එච්.අයි.වී. වළක්වන්නයි, සමලිංගික පිරිමින් සමලිංගිකයන් වීම නවත්වන්නයි කළ යුත්තේ කොන්ඩොම් සහ ලිහිසිකාරක බෙදන එක නෙවෙයි ඔවුන්ව මානසික උපදේශනයට යොමු කිරීම කියලත්
ඔවුන් කියන්න වුණා. ඔව්, සමලිංගිකයෙක් වෙනව කියන්නෙ තෝරාගැනීමක්. ඉතින් කරන්න තියෙන්නෙ සමලිංගිකයෙක් නොවී ඉන්න තෝරාගැනීමයි! එහෙමයි ‛රිවිර’ කියන්නෙ. ඒ වගේම එච්.අයි.වී. ගැන බෞද්ධ සහ ක්‍රිස්තියානි පූජකවරුන්ගේ, නීති විශාරදයන්ගෙ සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ අදහස් ද රිවිර තමන්ගෙ ලිපියට ඇතුළත් කර තිබුණා. වගකීම් විරහිත ආකාරයට කොන්ඩොම් සහ ලිහිසිකාරක බෙදා හැරීම ගැන පරීක්ෂණයක් තියන්න කියල ජනාධිපති නියම කළා කියල ඊට පසු සතියේ රිවිර පත්තරේ තවත් වාර්තාවක් පළ කර තිබුණා. ඒ නිසා ‛රිවිර‛ පැහැදිලිවම හිතනවා තමන්ගෙ ගවේෂණාත්මක මාධ්‍යකරණයෙන් තමන් බලාපොරොත්තු වූ බලපෑම ඇතිවුණාය කියල. සාපේක්ෂව බැලුවම වැඩි ප්‍රසිද්ධියක් නැති මේ පත්තරෙන් ඇත්තටම සාර්ථකව කරල තියෙන්නෙ එච්.අයි.වී.වලින් බේරිලා ඉන්න තමන් විසින් හැකි තරම් උත්සාහ කරන ප්‍රජාවක් හොඳටම බය කිරීමයි. තමන්ව හෙළා දකින සහ තමන්ව අපරාධකරුවන් ලෙස හඳුනාගන්න සමාජයක වැඩ කරනවා
කියන්නෙ මොකක්ද කියන එක ඔවුන් හඳුනගෙනයි හිටියේ. නමුත් බහුපාර්ශ්වික ආයතනවලයි, ආණ්ඩුවෙ ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහනෙයි, සිවිල්
සමාජයෙයි ඉල්ලීම මත තමන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් සටන් කරන්න ඔවුන් නැවත එකතු වුණා. මේ හෙළිදරව් කිරීමයි අඛණ්ඩ මාධ්‍ය ආවරණයයි නිසා සමහර කුඩා කණ්ඩායම් දැනටමත් වැඩ නවත්වලා. තමන්ගෙ ආණ්ඩුව සහ සිවිල් සමාජය විසින් යොදාගෙන තියෙන එච්.අයි.වී. වැළැක්වීමේ උපායමාර්ග ගැන ජනාධිපති විසින් පරීක්ෂණයක් කරන එක අපි අගය කරනව. එච්.අයි.වී. වැළැක්වීමේ උපායමාර්ග සම්බන්ධයෙන් ඉහළ පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයන් සම්බන්ධ කරගන්න කරන
උත්සාහයේ අඩුවක් පැහැදිලිවම පේන්න තියෙනව. සමහරවිට අපි වගේම සාම්ප්‍රදායික සංස්කෘතික සම්මතයන් තියෙන වෙනත් රටවල් විසින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් මහජන සෞඛ්‍ය ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කරන්න මේ පරීක්ෂණය ඵලදායී ආරම්භයක් වෙන්න පුළුවන්. මේ කලාපයේ ඉන්දියාව සහ මලයාසියාව වැනි රටවල් සමලිංගිකත්වය නීතිවිරෝධී බවට පත් කරපු අපි තවමත් බදාගෙන ඉන්න යටත්විජිත නීති ඉවත් කරන්න කටයුතු කරල තියෙනව. ප්‍රතිපත්ති රාමුවක් නැත්නම්, අඩු ගාණෙ ඒ වගේ දෙයක් ගැන සාකච්ඡාවක් හරි විවාදයක් හරි ඇතිවෙනව කියල පේන්න නැත්නම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ අනතුරට මුහුණපා සිටින ප්‍රජාව වෙනුවෙන්
උපකාරක මධ්‍යස්ථාන පිහිටුවීමත් ඇතුළත් එච්.අයි.වී. වැළැක්වීමේ වැඩපිළිවෙළක් සඳහා ඩොලර් මිලියන දොළහක් ගෙන්වා ගැනීමට ආණ්ඩුව, සිවිල් සමාජය සහ ආධාර ප්‍රදානය කරන ආයතන ක්‍රියා කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් කියල. එහෙම කියන්නෙ මේකයි. මේ හැමදේකින්ම වේදනා විදින්නේ මේ ප්‍රජාවයි. අපරාධකරුවන් හැටියට හංවඩු ගැහෙන්නේ මේ ප්‍රජාවයි. දැන් බයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ මේ ප්‍රජාවටයි. හෑන්ස් බිලිමෝරියා විසින් සැප්තැම්බර් 21 දා ‛ග්‍රවුන්ඩ් වීව්ස්’ වෙබ් අඩවියට ලියන ලද ලිපියක් ඇසුරෙනි.

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a comment