Saturday, May 14, 2011

බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග...

"බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග ඇමරිකානු දේශපාලනය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි අපක්ෂපාතී නිව්යෝර්ක් ටෛම්ස් පුවත්පත පවසයි. මෙම සිදුවීම ඔබාමා මහතාගේ දේශපාලන අනාගතය කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි බව නවතම ජනමත සමීක්ෂණයක් පෙන්වාදෙයි.

බින් ලාඩන් ඝාතන ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශවයන් සැක මතුකරමින් සිටින අවස්ථාවක සිදුවූ මෙම හෙලිදරව්වුව ඝාතනයේ සැබෑ වගකිව යුත්තන් පිළිබඳව අලුත් හෝඩුවාවක් බවද
මධ්‍යස්ථ ඇමරිකන් දේශපාලන විශ්ලේෂකයන් කිහිප දෙනෙකුම පවසා ඇත.

මීට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පසුගිය කාලයේ ශ්‍රි ලංකාවේ සිදුවූ මීට සමාන සිදුවීමකි. ඔවුන්ගේ මතයට අනුව මේ ආකාරයේ ඝාතන, කඩාවැදීම් සහ බියගැන්වීම් සිදුකර පලායාමේ දක්ෂ මැරයින්(marine) කණ්ඩායමක් ශ්‍රි ලංකා ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වේ. මෙම කණ්ඩායම විසින් යම් අපරාධයක් කළපසු පීඩිතයාගේ නම කෙලෙසීම සඳහා අසැබි චිත්‍රපටි වැනි දේ දමා යාම සිරිතක් බවත් මේ කරුණින් ඝාතනයේ වගකීම එක්සත් ජනපද වල සීල්(seal) කණ්ඩායමට නොව ලංකාවේ මැරයින් කණ්ඩායමට හිමිවියයුතු බවද පැවසේ. තවද ඝාතනයේ කිසිදු සාක්ෂියක් හෝ අඩුම තරමින් මියගිය පුද්ගලයාගේ ඡායාරූපයක්වත් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් නොකිරීමද මෙයින් පැහැදිලිවෙයි. සිදුවී ඇත්තේ මැරයින් කණ්ඩායම ඝාතනයෙන් පසු මළසිරුරත් රැගෙනම අතුරුදහන් වීමයි.

බින් ලාඩන් ඝාතනයෙන් පසුතැවිල්ලට පත්ව සිටි ඇමරිකානු ජනතාවට මෙම පුවත අස්වැසිල්ලක් ගෙනදෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මේ අතරම ශ්‍රි ලංකාවේ ඇමරිකන් තානාපති ධුරය දැරීමෙන් විශිෂ්ට සේවයක් කොට ඇමරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර ලේකම් ධුරයට උසස් වීමක් ලද රොබර්ට් ඕ බ්ලේක් මහතාගේ හදිසි ශ්‍රි ලංකා සංචාරය පිළිබඳව නැගුනු චෝදනා සියල්ලම මෙයින් නිෂ්ප්‍රභාවන බවද ඔවුහු පවසති. එහිදී බ්ලේක් මහතාගේ අරමුණ වී ඇත්තේ මතබේදයට තුඩුදී ඇති දරුස්මාන් වාර්තාව පිළිබඳව ශ්‍රි ලංකා රජයට අවවාද කිරීම නොව ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී වසර දහයක් තිස්සේ සොයාගැනීමට නොහැකිවූ බින් ලාඩන් ඝාතනය කර දීම පිළිබඳව ස්තුති කිරීම බවත් නිරීක්ෂකයෝ පෙන්වාදෙති. (මෙම සංචාරයේදී දෙමළ ජාතික සංධානයට- TNA - බ්ලේක් මහතා විසින් තරයේ අවවාද කර ඇත්තේ රජය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසය)

මෙහිදී අදහස් දැක්වූ ලංකාවේ තිබෙන ඉතා ස්වාධීන මාධ්‍යයක් වන චී නිවුස් ප්‍රකාශකයෙක් මෙම මතය නිවැරදි බව තමා තරයේ විශ්වාස කරන බවත් බ්ලේක් මහතාගේ සංචාරය පැහැදිලි කළ හැකිවීම මතයේ නිවැරදිභාවය පිළිබඳ අමතර සාක්ෂියක් ලෙස ගත හැකි බවත් පැවසීය.

ඇමරිකන් කණ්ඩායමේ ගුවන් යානයක් නිකරුණේ විනාශවීමට හේතුව කිසිදු පෙර සූදානමක් නැතිව ලංකාවෙන් පැමිණි දුරකථන ඇමතුමත් සමග මෙම ස්ථානය වැටලීමට යැවීම බව දැන් හෙලිදරවු වී තිබේ.

මේ අතර ඔබාමා මහතාගේ නැග එමින් තිබූ ජනප්‍රියත්වය රාජපක්ෂ සමාගම විසින් පැහැරගෙන......"

- මෙම වාර්තාව නිව්යෝක් නගරයේ විශේෂ වාර්තාකරුවෙකු විසින් විකිලීක්ස් වෙත යවද්දී බැරිවීමකින් පොඩිගමයාට ලැබුණි.

No comments:

Post a Comment

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.