Main Logo

Sunday 23 March 2014

ජාති විරෝධී ක්‍රියා සෙවීමට ජනාධිපති කොමිසමක්


ජෙනීවා පෙන්වා ආණ්ඩුව පළාත්සභා මැතිවරණය ජයගැනීමට සූදානම් වන්නේ යැයි එ ජා ප හා ත්‍රිරෝද පක්‍ෂ පවසයි. එහෙත් රනිල් වික්‍රමසිංහට අමතක වී ඇති කරුණක් නම් ඔහු මෙතෙක් පැවති මැතිවරණ සියල්ල පරාජය වූයේ ජෙනීවා නිසා නොවන බව ය. කෙසේ වෙතත් තමන් ජනාධිපතිව නොසිටිය දී ජනාධිපතිට පමණක් අත්සන් කළහැකි සටන් විරාම ගිවිසුමක් මගින් නෝර්වේ මගින් ක්‍රියාත්මක කරනු ලැබූ ඉංගිරිසි යටත්විජිතවාදයට අවශ්‍ය අන්දමට දෙමළ ජාතිවාදයට රට පාවාදීමට ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහට ජෙනීවා ගැන කතාකිරීමට ඇති සදාචාරාත්මක හෝ නෛතික හෝ අයිතිය කුමක් ද? මම මේ ආණ්ඩුවේ සියළු කටයුතු අනුමත නො කරමි. ඕනෑම ආණ්ඩුවක් යටතේ සිදුවන දුෂණ, නීති විරෝධි ක්‍රියා මේ ආණ්ඩුව යටතේ ද සිදුවෙයි. අප දන්නා දෙය නම් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දූෂණ ආදිය ආණ්ඩු වෙනස්වීම් සමග සර්පිලාකාරයෙන් ඉහළට යන බව ය. හාවා හඳ දකින්නාක් මෙන් යම්කිසි අයුරකින් එ ජා ප ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවහොත් දූෂණ වංචා ආදිය සහස්‍ර ගුණයකින් වැඩිවන බව ඉතා පැහැදිලි ය. ඔවුන් බලයේ සිටිය දී නීතිය ක්‍රියාත්මක කළ අයුරු අපි දනිමු. මේ ආණ්ඩුව හා එ ජා ප ද ජ වි පෙ ඇතුළු ත්‍රිරෝද පක්‍ෂ අතර ඇති වෙනස නම් ආණ්ඩුව යටත්විජිත විරෝධී වීමත් බටහිර බලපෑම් හමුවේ දෙමළ ජාතිවාදයට රට පාවාදීමට කටයුතු නො කිරීමත් ය. ආණ්ඩුවට අනෙක් පක්‍ෂවලට නැති ජාතිකත්වයක් ඇති නමුත් ජාතික වූ ආර්ථික ප්‍රතිපත්තියක් නැත. එවැනි ප්‍රතිපත්තියක් වෙනත් කිසිම පක්‍ෂයකට පමණක් නොව වෙනත් රටකට ද නැත.

පසුගිය දා චීනයේ කෙටි සංචාරයක යෙදුණු මට දැකගත හැකි වූයේ එරට පසුගිය විසිවසරක පමණ කාලයක අතිමහත් දියුණුවක් අත්කරගෙන ඇත්තේ බටහිර ක්‍රමයට බව ය. ඒ දියුණුව පෙණ බුබුළක් බඳු ය. රටේ  දූෂණය ඉහ වහා ගොස් ය. බටහිර අච්චුවේ සංවර්ධනයක දූෂණය ඊනියා දියුණුවට සමානුපාතික වේ යැයි සිතිය හැකි ය. මාඕට තාම් අමතකවීම චීනයේ කොමියුනිස්ට් ක්‍රමය කඩාවැටීමට ප්‍රධාන හේතුව යැයි කිව හැකි ය. අද සිටින චීන පාලකයන්ට ද තාම් අමතක වී ඇත. ක්වොන්ටම් භෞතිකයෙහි දී නීල්ස් බෝර් ද ආභාසය ලැබූ යින් යැන් දර්ශනය අද චීනයෙන් ක්‍රමයෙන් ඈත්වෙමින් පවතියි. චීනය කෙතරම් බටහිර අනුකරණය කරන්නේ ද කිවහොත් ඔවුන්ගේ විහිළු ද ඇමරිකන්කරණයට ලක්වෙමින් ඇත. ඔවුන්ගේ සංචාරක නියමුවන්ට එරික්, ජෝන්, ෂර්ලි, ස්ටීවන් ආදී ඉංගිරිසි (ඇමරිකන්) නම් ලබා දී ඇත.  බටහිර ක්‍රමය චීනයට ඔරොත්තු නො දෙයි. ඇමරිකාවත් සමග චීනය ද කඩා වැටෙනු ඇත. අප ද අපේ ක්‍රමයක් අනුගමනය නොකළහොත් බලාපොරොත්තුවන ආශ්චර්යය ළඟාකර ගැනීමට නොහැකි වනු ඇත. අපට අපේ ම දැනුමක් ලබාගැනීමට ප්‍රධාන බාධකය වී ඇත්තේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ පිහිටෙන් බටහිර පරාජය කිරීමට හැකි යැයි සිතන ඊනියා ජාතිකවාදීන් ය.(නො)දත් දොස්තරලා ය. පසුගිය අවුරුදු තිහක පමණ කාලයක අප විසින් ගොඩනගනු ලැබූ දැනුම් පද්ධතිය අවස්ථාවාදී ඊනියා ජාතිකවාදී දේශපාලනඥයකු විසින් ඩැහැගනු ලැබීමට කටයුතු කෙරෙනු දැකගත හැකි ය. බටහිර නොවන අප සියල්ලන්ට ඇත්තේ අපේ නොවන අපේ ම දැනුමකි. එනම් ශූන්‍ය දැනුමකි. (මගේ නොවන මගේ ම ආදරයක් ගැන කී ගීත රචකයා අනුව යමිනි)     

අප ජෙනීවා සම්පූර්ණයෙන් අමතක නොකළ යුතු නමුත් ඒ ගැන වුවමනාවට වඩා සිතීම ද අනවශ්‍ය ය. ජෙනීවා මණ්ඩලය යනු කිසිසේත්ම මානව අයිතිවාසිකම් රකින ආයතනයක් නො වේ. එය බටහිර දේශපාලන ආයුධයක් පමණකි. බටහිරයන් ලංකාව සම්බන්ධයෙන් ජෙනීවා යොදාගන්නේ දෙමළ ජාතිවාදයට රට පාවාදීම සඳහා ය. අපි ඒ බව තේරුම්ගෙන කටයුතු කරමු. විරුද්ධ පක්‍ෂ පෙන්වන්නේ ජෙනීවාවලින් කිසිම තර්ජනයක් නැති බවත් ආණ්ඩුවේ වරද නිසා අප අමාරුවේ වැටී සිටින බවත් ය. අපට බටහිරයන් තර්ජනය කරන්නේ අප ඔවුන්ගේ ඒජන්තයන් වූ කොටින් පැරද වූ බැවිනි. එ ජා ප බලයේ සිටියේ නම් බටහිරයන් ද කොටින් ද බලයේ ය. පසුගියදා ලංකාවට පැමිණ ඇති ගෝබී නමැති කොටි ත්‍රස්තවාදියකු  පොලිස් නිලධාරියකුට වෙඩි තැබීමක් පිළිබඳ සිද්ධියක දී අත්අඩංගුවට ගනු ලැබූ ජෙයකුමාරි, රුකී ප්‍රනාන්දු හා ප්‍රවීන්  නම් පූජකවරයකු සම්බන්ධයෙන් ඇමරිකාවට ප්‍රශ්නයක් පැන නැගී ඇත. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රටේ නීතියට අනුව ය. රටේ ආරක්‍ෂාවට තර්ජනයක් වන අය රටේ නීතියට අනුව අත් අඩංගුවට ගැනීම ඇමරිකාවට ප්‍රශ්නයක් වන්නේ කෙසේ ද? ඇමරිකාවට හා බටහිරට අවශ්‍ය නැවතත් ගෝබිලා මාර්ගයෙන් “යුද්ධයක්” ඇති කිරීම ද? අප පුන පුනා කියා ඇත්තේ දෙමළ ජාතිවාදය අවුරුදු එකසිය පනහකට පැරණි බවත් ප්‍රභාකරන් අදාළ සියළු සටන්වල මස්තකාප්‍රාප්තය වූ බවත් ය. ප්‍රභාකරන් සටන් කළේ ඊනියා සියළු දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් ය. ඒ සමස්ත ක්‍රියාවලිය නන්දිකඩාල් කලපුවේ දී පරාජය කෙරිණි. සටනක පරාජයෙන් පසු පරාජිතයන්ට තම ඊනියා අයිතිවාසිකම් ඉල්ලා සිටිය හැකි නො වේ. එහෙත් දෙමළ ජාතිවාදීන් අද කරන්නේ එය ය. ඔවුහු නැවතත් මුලට ම ගොස් සිටිති. ඒ බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යය, හමුදා ශක්තිය ආදිය නිසා ය. දෙමළ ජාතිවාදය පිටුපස එංගලන්තය සිටියේ ය. අදත් සිටියි. කැලම් මැක්රේ ඩේවිඩ් කැමරන් ආදීන් අද සිදුකරන්නේ එදා ඔවුන්ගේ මුතුන් මිත්තන් කළ දේ ය. ඔවුහු අද විසුරුණු දෙමළ ජනතාව, සාම වෙළෙන්දන්, දෙමළ ජාතික සංධානය විශේෂයෙන් ම ආනන්දී කණ්ඩායම, ඊනියා රාජ්‍ය නොවන බැළයන්, හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය ආදිය යොදාගනිති. පසුව කී අය ජාති විරෝධී කර්තව්‍යයන්හි යෙදී සිටිති. 

මෙවැන්නන් පසුගිය අවුරුදු තිහක කාලයක විශේෂයෙන් දැකගත හැකි ය. රටට ජාතියට  විරුද්ධව අඩුම තරමෙන් පසුගිය අවුරුදු තිහක කාලයක ක්‍රියාකළ අය ගැන සෙවීමට හා වරදකරුවන්ට දඬුවම් කිරීමට බලතල ඇති ජනාධිපති කොමිසමක් අද අවශ්‍ය වෙයි. ඒ කොමිසම මෙරට මෙන් ම පිටරට ද වසන එමෙන් ම මියගිය අය ගැන ද ඇඩෙල් බාලසිංහම් වැනි විදේශිකයන් ගැන ද සොයා බැලිය යුතු ය. දෙමළ ජාතිවාදයට කිනම් වු සහායක් දී රටට ජාතියට විරුද්ධව වැඩකර ඇති සියළු දෙනා ද ඔවුන්ට මුදලින් හා වෙනත් අයුරින් ආධාර කර ඇති අය ද හැකි අයුරින් කොමිසම හමුවට ගෙන ආ යුතු වෙයි. “යුද්ධයකින්” පසුව සංහිඳියාවක් ඇතිකරගන්නේ කෙසේ දැයි බටහිරයන් ගැමුණු මහසෙන් ආදී නරවරයන් ලද සිංහලයන්ට අමුතුවෙන් කියා දිය යුතු නො වේ. එමෙන් ම “යුද්ධයකින්” පරාජයවූවන්ට ඊනියා අයිතිවාසිකම් ලබාදීමට සිංහලයන්ට බලකළ නොහැකි බව ද බටහිරයන්ට මතක්කර දිය යුතු ය. සිංහලයන් දෙමළ හින්දු සංස්කෘතිය රකිනු ඇත. ඒ සිංහල ගුණය ය. සිංහලයන්ට “යුද්ධය” අවශ්‍ය නැත. එහෙත් ගෝබිලා ආනන්දිලා විවිධ පූජකවරුන් මගින් බටහිරයන්ට අවශ්‍ය නැවතත් “යුද්ධය” නම් හමුදාව එයට ද සූදානම් ය. 


නලින් ද සිල්වා

2014-03-23