Saturday, May 18, 2024

රතු පාටින් අකුරු ලියූ හැටි!



 පසුගිය දිනෙක සුවිශේෂ වූ පොතක් කියන්නට ලැබිණ. ඒ පොත ගැන වචනයක් නොලිව්වොත් අඩුවක් යයි සිතේ. ඒ ගැන ලියන්නට ද හොඳම දවස අද වෙතැයි සිතමි.

පොත අවියෙන් ලියූ අකුරු ය. කතුවරයා ගෞරිපාල් සාත්ත්‍රි ය. පොතෙහි කියවෙන හැටියට ඔහු LTTE සාමාජිකයෙකු හැටියට ක්‍රියාකර පසුව ඉන් ඉවත් වූ අයෙකි. නවකතාවක් ලෙස හැඳින්වුව ද අප දන්නා හා නොදන්නා බොහෝ කරුණු ගැන අලුත් කෝනයකින් දක්වන්නට එය සමත් වෙයි. මෙහිදී මගේ අවධානය යොමුවන්නේ උතුරු නැගෙනහිර අවි ගැටුම් ඇරඹෙන විය නව යොවුන් වියේ සිටි කථකයා ඊට දක්වන ප්‍රතිචාරයත්  සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස මරණයට දක්වන ප්‍රතිචාරයත් ය. 

මෙහි උපුටා දක්වා ඇති පළමු ඡේදයෙන් විස්තර කෙරෙන්නේ 1983 කලු ජූලියට මග පෑදූ සුප්‍රකට ප්‍රහාරයට පසු උතුරු ප්‍රදේශවල සිටි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වූ අයුරු ය. මෙහිදී අපගේ අවධානය යොමුවිය යුතු වන්නේ ගැටවර වියේ සිටි කථකයාගේ කම්පනය හා බැඳුන සිතුවිළි හා හැසිරීම ය. 

    "ඔහු වෙව්ලමින් පා පැදියට නැගී එම ස්ථානයෙන් වහා පිටව ගියේ ය. මරුදඩි පිල්ලෛයාර් කෝවිලේ කෝවිල් රථය නතර කරන ස්ථානයේ පිය ගැට පෙළ නැඟ ගත් ඔහු එහි හිඳ ගත්තේ ය. ඔහු වටා සිටගෙන කතා කරන මිනිසුන් සියලු දෙනා මලානික දෑසින් හඳුනා ගත් විට හඬ මදක් උත්සන්නව ඇසුණි. සන්ඩිලිප්පායිවලත් බොහෝ දෙනෙකු වෙඩි තබා මරා දමා ඇති බව සහ මාදකල්ලෛවල සිට පිටත්වුණු හමුදාව පාරක් ගානේ වෙඩි තබමින් ගිය බව එකිනෙකා ප්‍රකාශ කළ හ. ඔහු යළි පා පැදිය ගෙන සන්ඩිලිප්පායි දෙසට පෑගුවේ ය. කට්ටුඩෛ හන්දියේ එක් අයෙකුගේ මළ සිරුරක් තිබෙනු ඔහු දුටුවේය. ඔහු සන්ඩිලිප්පායි හන්දිය පසු කළේ ය. මිණිබස් රථයක් නතර කර තිබුණි. එහි ද මළ සිරුරු හතකට වඩා තිබෙන්නට ඇත. මඳ දුරක් ඇදි ඇදී ගොස් සී සී කඩව මියගොස් සිටි කාන්තාවකගේ මොළයට කපුටෙක් කොටමින් ඇද ඇද සිටියේ ය. ගමේ තරුණයින්ගේ මෘත ශරීර රෝහල වෙත ගෙනයාම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කෙරෙමින් තිබුණි. ඔවුන්ට වාහන එකක්වත් අල්ලා ගත නො හැකි විය. උඩුපිල්වල බාලිකා විද්‍යාලයට සිය දරුවන් බැස්ස වූ සිංහරාසාගේ මෝටර් රථය යළි පැමිණෙමින් තිබුණි. තරුණයෝ රථය නතර කරවා රථය තුළත් ඩිකියේත් මළ සිරුරු පටවා ඒවා රෝහල වෙත යැවූ හ.

    එදින මුළු ගමේ ම කතාබහට ලක්වූයේ මෙම සිද්ධියයි. ඒ කාලයේ ගමේ කවුරු හෝ වයෝවෘද්ධ අයෙකු මිය ගියහොත් සතියක් පුරාවට ගම ම ශෝකය පළ කරති. එවන් යුගයක සිදු වූ මෙම ඝාතන ක්‍රියාවලිය යාපනය ම සසල කළේ ය. ඔහුගේ සිතේ එක ම පැනයක් යළි යළිත් මතුපිටට පැමිණෙමින් තිබුණි. මෙලෙස මේ මිනිසුන් මරා දැමීමට තරම් ඔවුන් කර තිබෙන වරද කුමක්ද යන්න ඒ පැනයයි."                                                 (6, 7 පිටු)

මරා දැමීමට කළ වරද කුමක්දැයි කම්පනයට පත් සිතින් ප්‍රශ්න කරන යෞවනයා සංවිධානයේ සාමාජිකයෙකු ලෙස මරණය දකින්නේ කෙසේ දැයි  ඊලඟ උපුටා ගැනීමෙන් වටහා ගත හැකිය. 

"මොනව ගැනද කතා කරන්න තියෙන්නෙ?"
"ඒක හමුවෙලා ම කියන්නම්. ඔයා එතකල් 1st Floor  ගිහින් කරන money exchange තැන ඉන්නකො. ආපු ගමන් කියන්නම්."
"හරි, ඉක්මනට එන්න." 
"1st Floor එකේ ම ඉන්න. නැත්නම් ඔයා හොයාගන්න බැරි වෙනව."
"හරි, හරි එතන ම ඉන්නම්. මම කී දෙනෙක්ව දිවෙව්වද? දැන් ඔයා මාව දුවවනව. මගේ දෛවය." 
ඔහු දුරකථනය සම්පූර්ණයෙන්ම අක්‍රිය කළේ ය. සිංගප්පූරු යානයට මගීන්ට සූදානම් වන්නැයි නිවේදනය කෙරුණි. ඔහු යානයට ගොඩ වී හිඳගත්තේ ය. යානය ධාවන පථය ඔස්සේ ඇදී යාමට පටන් ගත්තේ ය. ඔහු වෙලාව බැලුවේ ය. කොළඹ නගරයම එක් වරක් ගැස්සී යළි සන්සුන් විය. මේ කම්පනය තුළ වායුගෝලයට එක් වූ සියලු දෙනා අඟුරු බවට පත්වනු ඇතැයි ඔහුට සිතුණි. කොළඹ ඔහු හඳුනන අය කවුරුන්ද? කවුරු කවුරුන් මිය යන්නට ඇත්දැයි ඔහු අනුමාන කරන්නේ කෙසේද? එසේ වුවත් ලොරියේ වගකීම බාරගත් පුද්ගලයාත් රාණිත් මිය ගොස් ඇති බව ඔහු ස්ථිර ලෙස ම දැන සිටියේ ය.                                                                  (342, 343 පිටු)

මරණයේ දර්ශණය දරාගත නොහැකි සිටි තරුණයා තමා හොඳින් හඳුනන හා ඔහු ගැන විශ්වාසය තබා සිටින අයෙකු සැලසුම් සහගතව මරණය කරා යොමු කරන ඉරණම විසඳන්නෙකු බවට පත්වන අයුරු කම්පනයට පත් කරන්නේ පොත කියවන පාඨකයා ය. ආරම්භයේදී අපට හමුවන හමුදා භටයා ද අවසානයේ අපට හමුවන කථකයා ද අතර වෙනසක් නොමැති බව පසක්වීම ඒ කම්පනය තීව්‍ර කරයි.  මට හිතෙන හැටියට අද දවසේ අපගේ කාර්යය විය යුත්තේ උතුරේ හෝ දකුණේ හෝ  එක් පරම්පරාවක් මේ පරිවර්තනයට භාජනය වූයේ කෙසේ ද යන්න අවබෝධ කරගෙන යළිත් වරක් එවැනි පරම්පරාවක් බිහි නොවන තැනට කටයුතු කිරීම ය. එමෙන්ම හුදු විරෝධයෙන් පමණක් නොව නිවැරදි දැක්මකින් ද සන්නද්ධ වන බවට වග බලා ගැනීම ය. එහෙත් අද දවසේ ඛේදවාචකය නම් සමාජය තුළ එවැනි පියවරක් සඳහා කිසිදු සූදානමක් ඇති බවට සළකුණක් හෝ දක්නට නොතිබීම ය.






  


 

4 comments:

  1. මම හිතන්නෙ යුද්දය කුමන දේශයක කුමන වේශයකින් කෙරුනත් මිල කල නොහැකි වටිනා මිනිස් ජීවිත බිලි ගන්නක් වගේම අපමන දනස්කන්දයක නාස්තියක්.මගේ හැම විටම ප්‍රාර්ත්නාව යුද්දයෙන් තොර ලොවක් දැකීමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ සටහන තැබීමේ අරමුණ ද එයමයි.

      Delete
  2. පොත් සිංහල පරිවර්තනයක් ද/ මේ සාහිත්‍යය එන එක හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔව්, දෙමළ පොත සිංහලට පරිවර්තනය කිරීමක්. පොත පළවෙලා තියෙන්නේ 2015. සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ 2023.

      Delete

පෙර දඬුවම හා පසු දඬුවම

  (cartoon movement වෙතින්) නීතියේ සෙවනැල්ල යට සාධාරණත්වයේ වර්ණ  ගල්වා පවත්වාගෙන යනු ලබන කෘෘරත්වය තරම්  කෘෘරත්වයක් තවත් නොපවතී.  - මොන්ටෙස්ක...