සූරි ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට

Afghanistan A Team tour of Sri Lanka 2024

54
Afghanistan A Team tour of Sri Lanka 2024

සංචාරක ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම හා හෙට (11) කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පසිඳු සූරියබණ්ඩාර වෙත පිරිනමා තිබේ.

සංචාරක ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායමේ එක ම සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය වන්නේ මෙයයි. මීට පෙර ඔවුන් තරග 5කින් යුත් එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සමඟින් සහභාගී වූ අතර එහි දී තරග 3-2ක් ලෙසින් ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළ හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් පසිඳු සූරියබණ්ඩාර නිමා වූ වසර ද්විත්වයේ ම National Super League ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මානයට පත් ක්‍රීඩකයායි. මේ දක්වා පළමු පෙළ තරග 37කට ක්‍රීඩා කර ඇති පසිඳු සූරියබණ්ඩාර ශතක 8ක සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 2799ක් ලබා තිබේ.

ඔහු හා එක් කළ කණ්ඩායමට නිමා වූ National Super League ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම සම්මාන දිනා ගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඔෂද ප්‍රනාන්දු ද සහ එම තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මානයට පත් වමතින් දඟ පන්දු යවන 20 හැවිරිදි වියේ පසුවෙන වනුජ සහන් ද එක් කර තිබේ.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් නම් ලද වනුජ සහන් මේ දක්වා පළමු පෙළ තරග 25කට ක්‍රීඩා කරමින් කඩුලු 135ක් සහ ලකුණු 700ක් ලබා ඇති ක්‍රීඩකයෙකි.

එම තරගාවලියේ වීරයා ලෙසින් අභිශේක ලැබූ 23 හැවිරිදි වියේ පසුවෙන සොනාල් දිනූෂට ද මෙම කණ්ඩායමේ ඉදිරි පෙළ අසුනක් හිමි ව තිබේ. සොනාල් දිනූෂ මේ දක්වා පළමු පෙළ තරග 36කට ක්‍රීඩා කරමින් ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1546ක් ද සහ කඩුලු 81කින් ද තම ගිණුම සවිමත් කරගෙන සිටී.

ඔවුන්ට අමතර ව නම් කරන ලද කණ්ඩායමේ පිතිකරුවන් ලෙසින් ලහිරු උදාර, අහන් වික්‍රමසිංහ සහ විශාද් රන්දික ද ඇතුලත් අතර පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දක්වන මිලාන් රත්නායක, චාමික ගුණසේකර, නිසල තාරක, නිශාන් පීරිස් සහ අශේන් පීරිස් ද ඇතුලත් ය.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, ඔෂද ප්‍රනාන්දු, නිපුන් කරුණානායක, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, විශාද් රන්දික, සොනාල් දිනූෂ, චාමික ගුණසේකර, මිලාන් රත්නායක, නිසල තාරක, වනුජ සහන්, නිශාන් පීරිස් සහ අශේන් ඩැනියෙල්.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<