May be an image of 2 people and text

පහතින් දැක්වෙන්නේ නලින් ද සිල්වා ගේ “මගේ ලෝකය” කෘතිය පිළිබඳව ‘බටහිර ඉවුරේ දර්ශනය’ ව්‍යාපෘතියට සම්බන්ධ පිරිස අතර සිදු වූ අභ්‍යන්තර සාකච්ඡාවක වීඩියෝවක් වෙත ඇති සබැඳියකි. අන් සියල්ලට පෙර කිව යුතු දෙයක් තිබේ. මෙය මෙසේ බෙදා ගැනීමට අප තීරණය කළේ නලින් ද සිල්වා ගේ අනපේක්ෂිත වියෝවට බොහෝ පෙරයි. මෙම සංවාදය පැවැත්වූයේ දැනට දෙමසකට පෙර, පෙබරවාරි 27 වෙනිදා ය.

නලින් ද සිල්වා ගේ නික්ම යාමෙන් බොහෝ දෙනෙකු ශෝකයෙන් සිටින අවස්ථාවක දී ඔහු සම්බන්ධයෙන් විවේචනාත්මක දේ පල නොකළ යුතුය කියා ‘බටහිර ඉවුරේ දර්ශනය’ ලෙස අපි තීරණය කළෙමු. නමුත් මෙම වීඩියෝව සැලසුම් කරගෙන සිටි ආකාරයටම පල කළ යුතුය කියා අප සිතුවේ මෙය නලින් ද සිල්වා ගේ අදහස් වලට එරෙහි විවේචනයක් නොවන නිසාය. ඒ වෙනුවට මෙහි තිබෙන්නේ නලින් ද සිල්වා ගේ අදහස් හැකිතාක් ශක්තිමත් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට ගන්නා උත්සාහයකි.

මින් අදහස් වන්නේ මෙය නලින් ද සිල්වා ගේ අදහස් වලට සරල හැඳින්වීමක් යන්න ද නොවේ. සිය අදහස් සංක්ෂිප්ත වශයෙන් පැහැදිළි කරන නලින් ද සිල්වාගේම ලිඛිත මෙන්ම වාචික ඉදිරිපත් කිරීම් අන්තර්ජාලයේ පහසුවෙන් සොයා ගත හැක. එවැනි සන්දර්භයක එම අදහස් පිළිබඳව ද්වීතියික අර්ථකථන මත යැපීම එතරම් යහපත් තීරණයක් වන්නේ නැත. එයට පෙර අදහස් වල මූලාශ්‍රය වෙත යාම බොහෝ අර්ථ වලින් ආරක්‍ෂිත තෝරා ගැනීමකි. නලින් ද සිල්වා ගේ අදහස් සඳහා හැඳින්වීමක් ලබා දීමට අප උනන්දු නොවන්නේ මෙම නිසාය.

නමුත් මෙහි තිබෙන්නේ එවැනි හැඳින්වීමක් නොව “මගේ ලෝකය” කෘතිය කියවීම සඳහා මග පෙන්වීමකි (reader’s guide). එම නිසා මෙය වැදගත් වනු ඇත්තේ “මගේ ලෝකය” කෘතිය බැරෑරුම් ලෙස හැදෑරීමට උනන්දු වන කෙනෙකුට පමණි. අවශ්‍යනම් මෙය “මගේ ලෝකය” කෘතිය පිළිබඳව ‘පාඨමාලාක්’ ලෙස වුවත් සැලකිය හැකිය. කොටස් වශයෙන් පල වන මෙම වීඩියෝ සංවාදයට සමගාමීව “මගේ ලෝකය” කෘතිය කියවන්න කියා අපි ආරාධනා කරමු. එම නිසාම මෙය ඕනෑම අරමුණක් වෙනුවෙන් “මගේ ලෝකය” කෘතිය කියවීමට උනන්දු වන කෙනෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.

නමුත් අපේ පැත්තෙන් මෙය අප සංවිධානය කළේ නිශ්චිත අරමුණක් වෙනුවෙනි. අප ගොඩනගන්න උත්සාහ කරන දාර්ශනික ආස්ථානය තේරුම් ගැනීම සඳහා නලින් ද සිල්වා විසින් ඉදිරිපත් කළ දාර්ශනික තිසීස තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙයි. එක්තරා අර්ථයකින් මේ තිබෙන්නේ ලාංකික දාර්ශනික සමකාලීනත්වයේ ආරම්භක ලක්ෂ්‍යයි. එම නිසාම එය එහි වියහැකි ඉදිරි වර්ධනයක් තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම ලෙස ද අපට සැලකිය හැකිය.

මෙය කිසිදු ආකාරයක ‘ජනප්‍රිය වීඩියෝවක්’ නොවනු ඇත්තේ ද මෙම නිසාය. මෙය ප්‍රයෝජනවත් වනු ඇත්තේ සත්‍ය වශයෙන්ම “මගේ ලෝකය” කෘතිය සමීප ලෙස කියවීමට උනන්දු කෙනෙකුට පමණි. ඒ අනුව මෙම පළමු වීඩියෝවේ සාකච්ඡා කෙරෙන්නේ “මගේ ලෝකය” කෘතියේ 1,2 සහ 3 යන පරිච්ඡේද තුනයි. මෙය නැරඹීමට පෙර එම කොටස් කියවා තිබීම වඩාත් යහපත් ප්‍රවේශය වුවත් අවශ්‍යනම් කෙනෙකුට මෙය නැරඹීමෙන් පසුව මුල් කෘතිය වෙත යාමට ද හැකියාවක් තිබේ. එමගින් අප මෙහිදී ඉදිරිපත් කරන අර්ථකථන නිවැරදි වන්නේ ද කියා තමන්ටම තීරණය කළ හැක.

දර්ශනය පිළිබඳව නිල පුහුණුවක් ලබා දීමේ දී සපුරාලීමට උත්සාහ කරන එක් ඉලක්කයක් වන්නේ එකිනෙකට වෙනස් විවිධ දාර්ශනික සිතීම් ප්‍රතිනිර්මාණය කිරීමට හැකියාව ලබා ගැනීමයි. කෙනෙක් එකඟ නොවන අදහස් වල තිබෙනා අත්‍යන්ත සෞන්දර්යය දැකීමට එහිදී අපව යොමු කරවයි. මෙම වීඩියෝව අවසන් වනතුරු බලන කෙනෙක් එවැනි අර්ථයකින් නලින් ද සිල්වා ගේ දාර්ශනික සිතීමේ ඇති සෞන්දර්යය කුමක්ද කියා අවබෝධ කරගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අප එයට එකඟ නොවන මුත් එම ‘අදහස් රසවිඳීමට’ එය කිසිදු බාධාවක් නොවේ. අවසාන අර්ථයෙන්, දාර්ශනිකයෙක් වනවා යනු එක්තරා උමතුබවකි. එය උමතු ලෙස පෙනී යා හැකි නමුත් ප්‍රතික්ෂේප කිරීමට ඉතාම අපහසු අදහසක් ගොඩනංවයි. දර්ශනයේ සෞන්දර්යය වන්නේම මේ උමතුභාවයයි.

කෙසේ වුවත් අප මෙය සිදු කරන්නේ ඇකඩමික් අභ්‍යාසයක් ලෙස නොවේ කියා නැවත අවධාරණය කළ යුතුය. ඒ වෙනුවට මේ තිබෙන්නේ අප ගොඩනගන්න උත්සාහ කරන නව දාර්ශනික ස්ථාවරය තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය ඓතිහාසික සන්දර්භය නිරවුල් කිරීමේ උත්සාහයකි. එම නිසා ‘ඇකඩමික් නොවන’ අර්ථයෙන් අපේ ව්‍යාපෘතිය පිළිබඳව උනන්දු වන සියලු දෙනා වෙත මෙය අපි බැරෑරුම් ලෙස නිර්දේශ කරමු.

අවසාන වශයෙන් මේ අර්ථකථනය “මගේ ලෝකය” කෘතිය සම්බන්ධයෙන් ඇති නිවැරදි අර්ථකථනය කියා ද අපි කියමු. ‘සියල්ල අර්ථකථන’ නිසා ‘නිවැරදි අර්ථකථන’ කියා කිසිවක් නොමැත කියා යෝජනා කරන පශ්චාත්නූතනවාදී නීට්ශයානුවන්ට අප අභියෝග කරන්නේ මෙයට විකල්ප අර්ථකථනයක් “මගේ ලෝකය” කෘතියට ලබා දෙන ලෙසයි. අප මෙහි ලබා දෙන අර්ථකථනය විධිමත් ලෙස අභියෝගයට ලක් කරන්නේ නම් ඒ ගැන සංවාද කිරීමට අප ඕනෑම මොහොතක සූදානම් බවත් සලකන්න (නමුත් මේ සඳහා එලෙස අභියෝග කරනා අය අදාළ ‘ගෙදර වැඩ’ කර තිබෙනවා කියා අපට ඒත්තු යාම ද අවශ්‍ය බව සලකන්න – මඩ ගසා ගැනීමට අපේ කිසිදු උනන්දුවක් නැත).

“මගේ ලෝකය” මගින් අපේ රටට නව දර්ශනයක් ලබා දුන්නා කියා පසුගිය දින කීපය තුළ බොහෝ දෙනා අතින් කියැවුනි. ඒ නව දර්ශනය ලියවුනු කේන්ද්‍රීය කෘතිය කියවන්නේ කෙසේද කියා දැන ගැනීමට වුවමනා වන්නේ නම් මේ වීඩියෝව බලන්න.