චමරිලාගේ අබුඩාබි මෙහෙයුම

ICC Women's T20 World Cup Qualifier

58
ICC Women's T20 World Cup

එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී බංග්ලාදේශයේ දී පැවැත්වෙන 9 වැනි විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වෙන 9 වැනි කණ්ඩායම බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුගියදා සමත් වූ හ. 

ඔවුන් මේ ආකාරයෙන් ලෝක කුසලාන තරගාවලිය හා එක් වීමට සුදුසුකම් සපුරා ගන්නේ පසුගියදා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයන් වීමත් සමඟිනි.  

ඒ අනුව ශ්‍රී ලංකාව එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී A කාණ්ඩය නියෝජනය කරමින් එක් වීමට ද සහ ඔවුන් සමඟින් අවසන් තරගයට එක් වූ ස්කොට්ලන්ත කණ්ඩායම B කාණ්ඩයෙන් ද තරගාවලිය හා එක් වීමට නියමිත ය.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ අබුඩාබි මෙහෙයුම 

  ප්‍රතිවාදීන්  තරගයේ විසඳුම 
1  තායිලන්තය  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 67ක ජයක් ලබා ගන්නා ලදි.   
2  ස්කොට්ලන්තය  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 10ක ජයක් ලබා ගන්නා ලදි.  
3  උගන්ඩාව  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 67ක ජයක් ලබා ගන්නා ලදි.  
4  ඇමෙරිකාව  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 18ක ජයක් ලබා ගන්නා ලදි.  
අවසන් පූර්ව තරගය 
5  UAE  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 15ක ජයක් ලබා ගන්නා ලදි.  
අවසන් මහා තරගය 
6  ස්කොට්ලන්තය  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 68ක ජයක් ලබා ගන්නා ලදි.  

 

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මෙන් ම අවසන් තරගයේ ප්‍රතිවාදීන් වූ ස්කොට්ලන්තය ද සහභාගී වෙන්නේ A කාණ්ඩයෙන් වීම විශේෂත්වයකි. තරගාවලිය බොහෝ ම සීරු-මාරුවෙන් පැවැතෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත කිරුළ ද දරමින් මෙම තරගාවලිය අවසන් කරති. එය එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට විශ්වාසය තැබෙන ශක්තිමත් ප්‍රතිඥාවකි. 

චමරි අතපත්තු 

මෙම මෙහෙයුමේ දී ශ්‍රී ලංකාව සතු වූ වඩාත් ප්‍රබලතමයා වූයේ නායිකා චමරි අතපත්තු ය. එය දෙස් විදෙස් මාධ්‍යයන්ගේ මෙන් ම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ද තේරීම වූ හ. ඒ වෙද්දී ඇය සතු අයෝමය තරගකාරීත්වය ලෝකයේ අංක 1 පිතිකාරිනිය බවට ද පත් කර තිබුණි.   

ඇය එය නැවත සනාථ කරන්නේ තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය සේ ම තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් අතුරින් ද ඉදිරියෙන් ම සිටිමිනි.  

පිතිකාරිනියක ලෙසින් ඇය මෙම තරගාවලිය නිමා කරන්නේ තරගාවලියේ ලත් එක ම ශතකයේ ද හිමිකාරීනිය ලෙසිනි. තරග 6ක ඉනිම් 6ක දී ඇය ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 226කි. ඒ අතර ට අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්තයට එරෙහිව ලබා ගන්නා ලද ශතකය ද සහ පළමු වටයේ දී ද ස්කොට්ලන්තයට ම එරෙහිව නොදැවී ලබා ගත් අර්ධ ශතකයක් ද ඊට ඇතුලත් ය. 

චමරි අතපත්තු මෙම තරගාවලියේ දී රැස් කරන්නේ තම තරග 131ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ දෙවැනි ශතකයයි. ඇය ඊට පෙර 2019 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 113ක් රැස් කරමින් තම මංගල ශතකය වාර්තා කරගෙන තිබුණි.  

චමරි අතපත්තු මෙම තරගාවලියේ දී පිතිකාරිනියකට අමතර ව කාලෙකට පසුව පන්දු යවන්නියක ලෙසින් ද සාර්ථක භූමිකාවක නිරත වීමට සමත් වීම කැපී පෙණුනි. ඇය මෙම තරගාවලිය නිමා කරන්නේ තරග 6ක පන්දු 92ක් පමණක් යවමින් ලකුණු 72කට කඩුලු 7ක් දවා ගනිමිනි. 

ඒ අතරට ඇය එතෙක් මෙතෙක් තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ද මෙම තරගාවලියේ උපයෝගී කර ගත්තා ය. ඇමෙරිකාව සමඟ තරගයේ දී ඇය ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් මෙම කඩඉමට පිවිසියා ය. ඊට පෙර ඇයගේ තරග දිවියේ මෙම ස්ථානය වෙන් ව තිබුණේ බංග්ලාදේශයට එරෙහිව 2018 වසරේ දී ලකුණු 17කට දවාගෙන තිබූ කඩුලු 3ය. 

විශ්මි ගුණරත්න 

ශ්‍රී ලංකා ජයග්‍රාහී මෙහෙයුමේ තවත් පෙරළිකාර සෙබළියක වූයේ 18 හැවිරිදි වියේ පසුවෙන විශ්මි ගුණරත්න ය. ඇය මෙම තරගාවලියේ තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 189ක් ලබා ගන්නේ 47.25ක සාමාන්‍යයක් ද රඳවා ගනිමිනි.  

ආරම්භක පිතිකාරිනියක ලෙසින් ඇය මෙම තරගාවලියේ දී සුවිශේෂී ඉනිම් කිහිපයක ම නිරත වෙනු දක්නට ලැබුණි. විශේෂයෙන් ම චමරි අතපත්තු පිතිකාරිනියක ලෙසින් අසාර්ථක වූ ඉනිම් කිහිපයේ දී ම එය ගොඩනැගීමේ වගකීම දැරුවේ මේ යෞවනියයි. එසේ නොවන්නට මේ ජයග්‍රාහී මෙහෙයුමේ යම් කඩතොලු වීම් ද සසල වීම් ද සිදු වෙන්නට ඉඩ තිබුණි.  

ඇය මෙම තරගාවලියේ දී උගන්ඩා කාන්තා කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 73ක් ලබා ගන්නා ලද අතර එය ඇයගේ තරග 33ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් කර ගත්තා ය.  

ඊට පෙර ඇයගේ මෙම තරග රටාවේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් ව තිබුනේ මේ වසරේ මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව නොදැවී ලබා සිටි ලකුණු 65යි.  

ඇය මෙම තරගාවලිය නිමා කරන්නේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට පත් වෙමිනි.  

නිලක්ෂිකා සිල්වා 

චමරි අතපත්තුටත්, විශ්මි ගුණරත්නටත් පසුව ශ්‍රී ලංකා පිතිකරු පෙරමුණේ වැඩිම දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ 34 හැවිරිදි වියේ පසුවෙන නිලක්ෂිකා සිල්වා ය. ඇය මෙම තරගාවලියේ දී තරග 6ක ඉනිම් 5ක දී ලකුණු 97ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වූවා ය.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දශකයක පමණ කාලයක් තිස්සේ එක් ව සිටින නිලක්ෂිකා සිල්වා නිමා වූ මෙම තරගාවලියේ දී තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 1000 කඩඉම පසු කිරීමට ද සමත් වූවා ය. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 88කට සහභාගී වෙමින් ඉනිම 75ක දී අර්ධ ශතකයක් පමණක් තම ඉනිම් අතරට එක් කර ගනිමින් ලකුණු 1006ක් ලබා සිටින්නීය. 

ඉනෝෂි ප්‍රියදර්ශනී 

නිමා වූ තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් ප්‍රමුඛ ස්ථානයට පත් වීමට සමත් වූයේ දකුණතින් පිට දඟ පන්දු යැවූ 37 හැවිරිදි වියේ පසුවෙන ඉනෝෂි ප්‍රියදර්ශනී ය. ඇය තරග 5කට එක් වෙමින් කඩුලු 8ක් දවා ගනිමින් මෙම දක්ෂතාවට පිවිසියා ය.  

ඇය මෙම කඩුලු දඩයම සඳහා පන්දු වාර 19ක් උපයෝගී කර ගත් අතර ලබා ගත් කඩුලු අතුරින් පළමු තරග ද්විත්වයේ දී පමණක් කඩුලු 3ක් බැගින් ලබා ගැනීම කැපී පෙණුනි.   

කවීෂා දිල්හාරි 

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසින් වර්ගීකරණය ලබා සිටින කවීෂා දිල්හාරි ද මෙම තරගාවලිය නිමා කිරීමේ දී තම ගිණුමට කඩුලු 8ක් එක් කර ගත්තා ය.  

දකුණතින් පිට දඟ පන්දු යැවීමේ සහ පා දඟ පන්දු යැවීමේ රුසියෙක් වූ 23 හැවිරිදි වියේ පසුවෙන කවීෂා දිල්හාරි මෙම දක්ෂතාව දක්වන්නේ තරග 5ක දී පන්දුවාර 16.3ක් යවමිනි. ඇය ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලකුණු 89ක් ලබා දී තිබුණි. 

පිතිකාරිනියක ලෙසින් ද ඉහළ බලාපොරොත්තු තබා තිබූ ඇයට මෙම තරගාවලියට එක් කිරීමට ලැබෙන්නේ ලකුණු 44ක් පමණි.  

උදේශිකා ප්‍රබෝධනී  

38 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන උදේශිකා ප්‍රබෝධනී, පන්දු යැවීමේ දී චමරි අතපත්තු හා සමග සම ව අසුන් ගැනීමට සමත් වූවා ය. ඇය තරගාවලිය අවසන් කරන්නේ පන්දු වාර 17ක් යවමින් ලකුණු 77කට කඩුලු 7ක් දවා ගනිමිනි.  

මේ අතර හොඳම පන්දු යැවීම බවට පත් වූයේ අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්තයට එරෙහි ව ලකුණු 13කට දවා ගත් කඩුලු 3 ය. එය ඇයගේ තරග 97ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් විනි.  

ඒ දක්වා එම ස්ථානයේ රැදී තිබුණේ මීට වසර 10කට ඉහත 2014 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 13කට දවාගෙන තිබූ කඩුලු 3 ය.  

චමරිලාගේ මෙහෙයුමේ තවත් සුවිශේෂී අවස්ථා 

169/5 (20.0): ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූයේ ස්කොට්ලන්තයට එරෙහි ව අවසන් මහා තරගයේ දී කඩුලු 5ක් දැවී වාර්තා කරන ලද ලකුණු 169යි.  

එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි වූයේ අයර්ලන්ත ක්‍රීඩිකාවන්ටය. ඒ ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව පැවැති තරගයේ දී කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු 176යි.  

283/13 (40.0): ශ්‍රී ලංකා තරග ලැයිස්තුවේ ප්‍රතිවාදීන් හා එක්ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ 2 වැනි ස්ථානය හිමි වෙන්නේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවැති තරගයේ දී ලත් මෙම ලකුණු සංඛ්‍යාවටය.  

එම තරගයේ දී ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 149ක් ලබා ගන්නා ලද අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගන්නේ ය.  

තරගාවලියේ කණ්ඩායම් 2ක් එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් එක් ව ලබා ගත් ලකුණු 296ට හිමි වුනි.  

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී අපරාජිතව තම මෙහෙයුම අවසන් කළ ද ඔවුන්ගේ සැබෑ මෙහෙයුම විය යුත්තේ ඉදිරියේ දී එළැඹෙන 9 වැනි විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලියයි.   

ඊට නිමා වූ මෙම තරගාවලිය කදිම පෙරහුරුවක් කරගත හැකියි. නමුත් අප පෙර සේ ම දකින්නේ කණ්ඩායමේ යැපීම කිහිප දෙනෙක් මත ම පමණක් සිදු වෙන බවකි. වඩාත් තරගකාරී කණ්ඩායම් සමඟ එක් වන තරගාවලියක දී මෙම ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවේ. 

මෙකී තත්ත්වයක් මෙවර තරගාවලියේ යම් තරමකින් වෙනස් වූවා නම් අප දුටුවේ, ඒ චමරි අතපත්තු අසාර්ථක වෙද්දී විශ්මි ගුණරත්න ඒ තැන ගැනීම ම පමණි. එම තත්ත්වය අපි ඉදිරි තරගාවලියන්වල දී ද බලාපොරොත්තු වෙමු.  

නමුත් ඒ පමණක් ප්‍රමාණවත් නොවේ. නිමා වූ මෙම මෙහෙයුම වෙනුවෙන් එක් එක් අංශයෙන් දක්ෂතා දක්වන වැඩි වගකීම් සහිත ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් ම නම් කර තිබුණි. ඔවුන්ගෙන් බලාපොරොත්තු වූ සේවය කණ්ඩායමට නොලැබුණ බැව් තරගාවලියේ දත්තයන් නිරික්ෂණය කිරීමෙන් දැක ගත හැකිය. 

ඒ අතර වගකීම් ඉටු නොකරන ලද අසාර්ථක වූ පිතිකාරිනියන් ලෙසින් තරග 73කට සහභාගී වී සිටින 28 හැවිරිදි වියේ පසුවෙන හසිනි පෙරේරා සහ තරග 55ක අත්දැකීම් සපිරි 25 හැවිරිදි වියේ පසුවෙන හර්ෂිතා මාදවී ද වෙති.   

එමෙන් ම තරග 74කට සහභාගී වී සිටින 32 හැවිරිදි වියේ පසුවෙන සුගන්දිකා කුමාරි සහ තරග 82කට සහභාගී වී සිටින 38 හැවිරිදි වියේ පසුවෙන ඉනෝකා රණවීර ද වගකීම් ඉටු නොකරන ලද අසාර්ථක වූ පන්දු යවන්නියන් ලෙසින් හැඳින්විය හැකියි 

දක්ෂතා මෙන් ම අසාර්ථක වීම් මැද ද මෙම මෙහෙයුම ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්! 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<