පහතින් පල වන්නේ නිර්මාල් රංජිත් දේවසිරි විසින් ඉදිරියේ දී පල කිරීමට නියමිත කෘතියක් සඳහා ලියූ හැඳින්වීමයි. නලින් ද සිල්වා මහතා ගේ අභාවය හමුවේ ඔහුට ගෞරවයක් ලෙස නිර්මාල් රංජිත් දේවසිරි විසින් මෙම හැඳින්වීම ෆේස්බුක් හී පල කර තිබුණි. මෙය උපුටා ගත්තේ එතැනින් ය.

“Let Muslims look upon Ram as their hero and the communal problem will be over.” – Organizer (Official RSS weekly – 20-June 1971),
(quoted in Basu, etal, 1993: 12)

රුවන්වැලිසෑය ලඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනැම කෙනෙකුට මේ රට අයිතියි.
-නලින් ද සිල්වා

“ජාතික චින්තනය“ යනු පසුගිය දශක තුනකට අධික කාලයක් තිස්සේ ලංකාවේ සිංහල-බෞද්ධ සමාජය තුළින් මතු වී විකාශය වූ අතිශයින් බලසම්පන්න බුද්ධිමය ව්‍යාපාරයක් හැඳින්වීම සඳහා භාවිත කරන ප්‍රකට නාමයයි. පසුගිය දශක තුනක කාලය තුළ එය සිංහල-බෞද්ධ සමාජයේ දේශපාලන හා දෘෂ්ටිවාදී සැකැස්ම කෙරේ තීරණාත්මක බලපෑමක් කර ඇත. 1980 දශකයේ මැද දී ප්‍රකට සාහිත්‍යකරුවෙක් මෙන්ම සමාජ දේශපාලන විචාරකයෙක් වූ ද, වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙක් වූ ද ගුණදාස අමරසේකර ගේ හා හිටපු මාක්ස්-ට්‍රොට්ස්කිවාදී දේශපාලන ක්‍රියාධරයෙක් හා ගණිතය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වූ නලින් ද සිල්වාගේ ද ක්‍රියාකාරකම් මුල් කරගෙන මෙම බුද්ධිමය ව්‍යාපාරය ආරම්භ විය. මොවුන් දෙදෙනාට අමතරව තවත් බුද්ධිමතුන් ගණනාවක් මේ බුද්ධිමය ව්‍යාපාරය ආරම්භ කිරීමට දායක වූ නමුත් මුලින් කී දෙදෙනාගේ මැදිහත් වීම අතිශයින් තීරණාත්මක විය.


1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ තුනේ සංධානයෙන් යුත් “සමගි පෙරමුණ” ආණ්ඩුව 1970 දකයේ මැද දී දෙදරා ගොස් පසුව බිඳ වැටීම, වාමංශික ව්‍යාපාරය දුර්වල වීම හා 1977 දී ස්ථාපිත කෙරුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ සිදූ වූ බැරෑරුම් ආර්ථික හා දේශපාලන වෙනස්කම් යන සමාජ-දේශපාලන වශයෙන් ප්‍රබල සංසිද්ධීන් තුන මෙම ජාතික චින්තන කතිකාව ආරම්භ වීමේ පසුබිමේ දක්නට ලැබේ. මේ ව්‍යාපාරයේ පුරෝගාමීන් දෙදෙනාම එකිනෙකාට වෙනස් මාවත් ඔස්සේ වුව ද 1977ට පෙර බලපෑම් සහගත විකල්ප සමාජ දේශපාලන පරිකල්පන රාමුව ලෙස පැවැති මාක්ස්වාදී වාමාංශික සමාජ-දේශපාලන පරිකල්පනය තුළ කටයුතු කළහ.


ජාතිය පිළිබඳ අදහස හා මාක්ස්වාදී චින්තනය අතර බුද්ධිමය සම්පර්කයක් ඇති වීමේ අවශ්‍යතාව ගුණදාස අමරසේකර කාලයක් තිස්සේ යෝජනා කරමින් සිටියේය. 1978 දී ඔහු විසින් රචනා කරන ලද “අබුද්දස්ස යුගයක්” කෘතිය හා එහි ම දිගුවක් ලෙස 1981 දී රචනා කරන ලද “අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?” යන කෘතිය මගින් මාක්ස්වාදී චින්තනය හා ජාතිය පිළිබඳ අදහස අතර දේශපාලන සම්පර්කයක් ඇති කිරීම පිළිබඳ කතිකාව ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරිණි.


1960 ගණන්වල අග සිට ට්‍රොට්ස්කිවාදී දේශපාලන නැඹුරුවක් සහිතව ලංකා සමසමාජ පක්ෂය තුළත් පසුව, ලංකා සමසමාජ පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායමක් විසින් බිහිකරන ලද නව සමසමාජ පක්ෂය තුළත් කටයුතු කළ නලින් ද සිල්වා ජාතිය පිළිබඳ අදහස කෙරේ මුල දී නැඹුරුතාවයක් දැක්වූයේ නැත. කෙසේ වෙතත් ඔහු ජාතික චින්තනය ව්‍යාපාරයේ පුරෝගාමියෙක් බවට පත් වීමට මං පෑදුනේ මාක්ස්වාදී චින්තනය සම්බන්ධව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කිරීමේ නැඹුරුව හරහාය. 1979 පමණ වන විට විද්‍යාත්මක චින්තනය පිළිබඳ ප්‍රකට චින්තකයෙකු වූ කාල් පොපර්ගේ අදහස් අනුසාරයෙන් මාක්ස්වාදී චින්තනය දෙස විවේචනාත්මක ලෙස බැලිමේ නැඹුරුවක් නලින් ද සිල්වා විසින් පෙන්නුම් කරන ලදි. මේ නැඹුරුව හරහා සමාජ දේශපාලන පරිවර්තනය කෙරේ මාක්ස්වාදී චින්තනයට කළ හැකි දායකත්වය ප්‍රශ්න කරනු ලැබීය. එ‍ මේ මගින් සමාජ දේශපාලන පරිවර්තනය සඳහා මාක්ස්වාදී නොවන අදහස් පද්ධතියක වැදගත් කම අවධාරණය කෙරිණි.
එසේ වුව ද 1984 පමණ වන විට නලින් ද සිල්වා ක්‍රමානුකූලව ජාතිය පිළිබඳ අදහස වෙතත්, ජාතිකවාදය වෙතත් නැඹුරුවීම දැකගත හැක. මෙම ජාතිකවාදී නැඹුරුව 1983න් පසුව උත්සන්න වූ නව දේශපාලන වාතාවරණය තුළ තීව්‍ර වූ බව පැහැදිළි වේ.


1983 දී දෙමළ ජනයා එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සමඟ උත්සන්න වූ උතුරේ සන්නද්ධ තරුණ නැගිටීම නිසා සිංහල ජනයා වාසය කරන ප්‍රදේශවල නව දේශපාලන වාතාවරණයක් නිර්මාණය වීම සිදු විය. ජාතික චින්තන කතිකාව මෙම නව දේශපාලන සංදර්භය තුළ වැදගත් සංඝඨකයක් බවට පත් වීම මේ අනුව දැකිය හැකිය.


සිංහල-බෞද්ධ සමාජය තුළ ජාතිකවාදයට ලැබුණු දෘෂ්ටිවාදීමය හා දේශපාලන වැදගත්කම ක්‍රමයෙන් වර්ධනය වීමත් මාක්ස්වාදී අදහස පද්ධතියට ලැබුණු වැදගත්කම අඩු වී යාමත් නිසා මෙම ජාතික චින්තන ව්‍යාපාරයේ වර්ධනයක් සිදුවීම දැකිය හැකිය.


1987 ජූලි මාසයේ ප්‍රකට ඉන්දු-ලංකා ගිවිසුම හරහා සිදු වූ ඉන්දීය මැදිහත්වීම හා ඊට එරෙහිව පැනනැගුණු ජනතා නැගිටීමේ පසුබිම තුළ, මේ ව්‍යාපාරයට කැපී පෙනෙන බුද්ධිමය ව්‍යාපාරයක් ලෙස මතුවීමට හැකිවිය. මීට සමාන්තරව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් දියත් වූ සන්නද්ධ නැගිටීම 1989 අග දී දරුණු රාජ්‍ය ප්‍රති-ප්‍රචණ්ඩත්වයක් මගින් මර්ධනය කරනු ලැබීම නිසා ජාතික චින්තන ව්‍යාපාරයට ද තාවකාලික පසුබැසීමකට මුහුණ දීමට සිදුවිය. 1990 සිට 1995 පමණ දක්වා ජාතිකවාදී නොවන දේශපාලන පෙළගැසීමක් වර්ධනය වීම නිසා ජාතික චින්තන ව්‍යාපාරයේ වර්ධනය යම් තරමකට ඇණහිටීමක් සිදුවිය. එසේ වුව ද ඒ අවාසිදායක දේශපාලන පසුබිම තුළ පවා මේ ව්‍යාපාරය බුද්ධිමය ව්‍යාපාරයක් ලෙස වර්ධනය වීම දක්නට ලැබේ.


එහෙත් 1995න් පසුව, එවකට පැවැති ආණ්ඩුව දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් වෙත දක්වනු ලැබූ සාධනීය ආකල්පයට විරුද්ධව සිංහල-බෞද්ධ සමාජය තුළ මතු වූ ජනමතය උපයෝගී කරගෙන මේ ව්‍යාපාරයේ වර්ධනය නැවතත් තීව්‍ර වීම දක්නට ලැබේ.


ජාතික චින්තන ව්‍යාපාරයේ වර්ධනයේ උච්චතම අවස්ථාව වන්නේ 2005 දී, සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප්‍රබල සහය මත, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමයි. එතැන් පටන් පුළුල් මහජන සහයෝගයක් සහිතව තහවුරුවන මහින්ද රාජපක්ෂ මුල් කරගත් දේශපාලන කඳවුරේ නිල සමාජ-දේශපාලන දැක්මේ ප්‍රමුඛ සංඝඨකයක් බවට ජාතික චින්තන ව්‍යාපාරය විසින් වර්ධනය කරනු ලැබූ අදහස් පද්ධතිය පත් වේ. කෙසේ වෙතත් 2015න් පසුව මෙම දේශපාලන කඳවුරේ දේශපාලන බලපෑමේ අවනතිය සිදු වීමත් සමඟ ජාතික චින්තන ව්‍යාපාරය ද ප්‍රබල පසුබෑමකට ලක්වීම දක්නට ලැබේ.


වර්තමානය වනවිට ජාතික චින්තන ව්‍යාපාරය ලංකාවේ දේශපාලනය කෙරේ සැලකිය යුතු බලපෑමක් සිදු කරන ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකි වුව ද, ඒ මගින් මෑතකාලීන දේශපාලනය කෙරේ සිදු කරන ලද බලපෑම සවිස්තරාත්මකව විමසා බැලිය යුත්තකි. ඒ පසුබිම තුළ මෙම කෘතිය මෙම බුද්ධිමය ව්‍යාපාරය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි.
මෙම කෘතියේ සාකච්ඡාවට අදාළව ජාතික චින්තන කතිකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් මූලික කරුණු දෙකක් මතු කිරීමට පුළුවන. පළමුවැන්න ජාතික චින්තන ව්‍යාපාරය සම්බන්ධයෙන් ලංකාවේ බුද්ධිමය ප්‍රධාන ධාරාව තුළ ඇති අඩු උනන්දුවයි. දෙවැන්න ජාතික චින්තන ව්‍යාපාරයේ ඉතිහාසය තුළ එම ව්‍යාපාරය තුළ සිදුවන අභ්‍යන්තර පරිවර්තනයන් හී ස්වභාවයයි.


මෙම කෘතිය මගින් මූලික අරමුණු හතරක් ඉෂ්ට කරගැනීමට බලාපොරොත්තු වේ. පළමුවෙනුව මෙම කෘතිය මෙම ව්‍යාපාරයේ ආරම්භය, විකාශය, එම විකාශයේ තීරණාත්මක කඩඉම් මෙන්ම මෙම ව්‍යාපාරය ලංකාවට පොදුවේත්, සිංහල-බෞද්ධ සමාජයට විශේෂයෙනුත් සිදුකරනු ලැබ ඇති සමාජ-දේශපාලන බලපෑම තේරුම් ගැනීමට උත්සාහ කරයි. දෙවෙනුව, මෙම කෘතිය මෙම ව්‍යාපාරයේ මූලික චින්තකයෙක් වන නලින් ද සිල්වාගේ අදහස් සම්බන්ධයෙන් විවේචනාත්මක විමසා බැලීමක් කිරීමට අපේක්ෂා කරයි. තෙවෙනුව, මෙම කෘතිය මෙම බුද්ධිමය ව්‍යාපාරයේ ප්‍රමුඛ චින්තකයින්ගේ අදහස් එම චින්තකයින්ගේ අනුගාමිකයින් විසින් යලි අර්ථ කථනය කරනු ලැබ ඇති ආකාරය හා එම චින්තකයින්ගේ අදහස සමාජ-දේශපාලන කතිකාවේ පහළට කාන්දු වී සමාජ-දේශපාලන කතිකාව මත බලපෑම් කරන ආකාරය විභාග කරයි. හතරවෙනුව, එය විශේෂයෙන් පසුගිය දශකය තුළ ලංකාවේ සිංහල-බෞද්ධ දේශපාලන-භූගෝලීය දකුණ තුළ ඇති වූ දේශපාලන පරිවර්තනය තුළ ස්ථානගත වූ ආකාරය හා ඒ මගින් එම බුද්ධිමය ව්‍යාපාරයේ ඇති වූ අභ්‍යන්තර පරිවර්තනය විභාග කරයි.

නිර්මාල් රංජිත් දේවසිරි