සුදුසුකම් ලබා ගැනීමේ T20 ශූරතාව ශ්‍රී ලංකාවට

49
ICC Women's T20 World Cup Qualifier

අබුඩාබි නගරයේ දී පැවැති 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ දී ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව ලකුණු 68ක ජයග්‍රහණයක් ලබා ගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (07) රාත්‍රියේ දී සමත් වූවා ය.  

තරගාවලියේ අපරාජිතව මේ කඩඉමට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ, ඒ අනුව එළැඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී A කාණ්ඩයෙන් ද සහ අනුශූරියන් වූ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ B කාණ්ඩයෙන් ද තරගාවලියට එක් වීමට සුදුසුකම් ලබා ගත් හ.  

නිමා වූ තරගාවලියේ අවසන් මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත් අතර ප්‍රතිවාදී ස්කොට්ලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 101ක් පමණි.   

අවසන් මහා තරගය (රාත්‍රී), අබුඩාබි, මැයි 07, 2024, ICC Women’s T20 World Cup Qualifier 

  • කාසියේ වාසිය – ස්කොට්ලන්තය 
  • ක්‍රීඩාංගණය – Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි. 
  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී. 

ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Sarah Bryce (නායිකාව සහ කඩුලු රකින්නිය), Saskia Horley, Megan McColl, Darcey Carter, Priyanaz Chatterji, Lorna Jack, Katherine Fraser, Rachel Slater, Chloe Abel, Hannah Rainey, Abtaha Maqsood.   

කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු කළ අතර ඒ අනුව සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසිනි.  

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 16ක් එක් කරද්දී විශ්මි ගුණරත්නට ඉනිම හැර යෑමට සිදු වූවා ය. පෙර තරග ත්‍රිත්වයේ දී සටන්කාමී ඉනිම් ක්‍රීඩා කරමින් ලකුණු අතර සිටි ඇයට මෙම තරගයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 9ක් පමණි.  

අනතුරු ව ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 8කට ද සහ කවීෂා දිල්හාරි ලකුණු 15කට ද දැවී යෑමත් සමඟින් ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 55ක් බවට පත් වුනි.  

එම තත්ත්වයෙන් කණ්ඩායම ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ වෙන්නේ ඉන් අනතුරුව ය. චමරි අතපත්තු සහ නිලක්ෂිකා සිල්වා එක් ව එම මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ හ. ඒ අනුව ඔවුන් දෙදෙනා එක් ව සිවු වැනි කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් එක් කිරීමට සමත් වූ හ.  

එම සබඳතාව බිඳ වැටෙන්නේ චමරි අතපත්තුගේ දැවී යෑමත් සමඟිනි. ඒ වෙද්දී ඇය පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 102ක් ලබා සිටියා ය.  

ඇය තම ඉනිමේ පළමු ලකුණු 50 වාර්තා කිරීමට පන්දු 40ක් වැය කළ ද අනෙක් ලකුණු 50 වාර්තා කිරීමට වැය කරන්නේ පන්දු 20ක් පමණක් වීම කැපී පෙණුනි. එම පන්දු අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද ඇතුලත් ව තිබුණි.  

චමරි අතපත්තු මෙම තරගයේ දී වාර්තා කරන්නේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 2 වැනි ශතකයයි.  

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පන්දුවේ දී හසිනි පෙරේරා ලකුණු නොලබා ම දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට  නිලක්ෂිකා සිල්වා පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටි අතර අනුශ්කා සංජීවනී ලකුණු නොලබා අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැදී සිටියා ය.  

කඩුලු දවා ගැනීමේ දී වමතින් වේග පන්දු යැවූ Rachel Slater ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත් අතර Katherine Fraser, Abtaha Maqsood සහ Priyanaz Chatterji කඩුල්ල බැගින් බෙදා ගත් හ.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වීමට Priyanaz Chatterji සමත් වූවා ය. ඇය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා ය. 

ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 23කට දැවී ගොස් තිබිය දී මෙම දක්ෂතා දැක් වීම කැපී පෙණුනි. 5 වැනි කඩුල්ල ලෙසින් ඇය ඉනිම හැර යද්දී Lorna Jack (12) සමඟ එක් වෙමින් ලකුණු 40ක සබඳතාවක් ද තම ඉනිමට එක් කර තිබුණි 

ස්කොට්ලන්ත ඉනිමේ පන්දුවාර කෝටාව අවසන් වෙද්දී Rachel Slater (15) සහ Chloe Abel (11) නොදැවී පිටියේ රැදී සිටි අතර ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 26ක් ද එක් කර තිබුණි.  

කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යැවූ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ප්‍රතිවාදී කණ්ඩායම අපහසුතාවට පත් කිරීමේ ප්‍රමුඛ ක්‍රියාකාරිනිය බවට පත් වූවා ය. ඇය ගේ මෙම දක්ෂතාව තරග 97ක් වන තම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ ම දක්ෂතාව බවට ද පත් කර ගත්තා ය. 

ඊට පෙර ඇයගේ හොඳම පන්දු යැවීම බවට පත් ව තිබුණේ ඉන්දියාවට එරෙහි ව 2014 වසරේ දී ලකුණු 16කට දවා ගෙන තිබූ කඩුලු 3යි.  

ස්කොට්ලන්ත ඉනිම පාලනය කිරීමේ දී උදේශිකා ප්‍රබෝධනීට අමතර ව ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්ධිකා කුමාරි සහ කවීශා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත් හ.  

 තරගයේ කෙටි ලකුණු පුවරුව  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 169 (20.0) චමරි අතපත්තු 102, නිලක්ෂිකා සිල්වා නොදැවී 26, Rachel Slater 2/35 

 

ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 101 (20.0) Priyanaz Chatterji 30, උදේශිකා ප්‍රබෝධනී 3/13 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 68ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<