ලෝක සහය දිවීමේ ශූරතාවලියට ඇමරිකානු ආක්‍රමණයක්!

World Athletic Relay Championship 2024

57

ලෝක සහය දිවීමේ ශූරතාවලිය ඊයේ (06) දිනයේ දී සාර්ථකව අවසන් වුනා. 

එළඹෙන 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව ද සලසා දෙමින් පැවැත්වුණු මෙවර සහය දිවීමේ ශූරතාවලිය දින දෙකක් පුරාවට බහමාස් හිදි පැවැත්වුණු අතර, එයට සහභාගී වීමට සිටි එකම ශ්‍රී ලංකා නියෝජනය වූ පිරිමි 400×4 කණ්ඩායමට අවසන් මොහොතේ අවාසනාවන්ත ලෙස තරගාවලියට සහභාගී වීමට නොහැකි වුනා. 

මෙවර තරගාවලියේ දී කාන්තා, පිරිමි සහ මිශ්‍ර 400×4 ඉසව් මෙන්ම කාන්තා සහ පිරිමි මීටර් 100×4 ඉසව් ද පැවැත්වුණා. 

මෙම තරගවලින් එක් ඉසව්වක් සඳහා රටවල් 16කට ඔලිම්පික් උළෙල වෙත සුදුසුකම් ලබා ගැනීමට අවකාශය හිමි වී තිබුණා. 

පළමු දිනයේ දී සෑම ඉසව්වක ම මූලික වටයේ තරග පැවැත්වුණු අතර දෙවැනි දිනයේ දී ඉසව්වල අවසන් තරග සහ පළමු දිනයේ දී ඔලිම්පික් සුදුසුකම් නොලද රටවලට නැවත අවස්ථාව ලබා දෙන තරග ඉසව් ද පැවැත්වුණා. 

මෙම ඉසව්වල දී මීටර් කාන්තා සහ පිරිමි 100×4, කාන්තා මීටර් 400×4 සහ මිශ්‍ර 400×4 යන ඉසව් හතරේ ම ලෝක ශූරයින් බවට පත් වීමට ඇමරිකාව සමත් වීම විශේෂත්වයක්. 

මෙහි දී කාන්තා මීටර් 400 ඉසව්වේ දැනට ලොව හොඳම ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ලෙසට සැලකුම් ලබන නෙදර්ලන්තයේ Femke Bol සහ Lieke Klaver යන ක්‍රීඩිකාවන් දෙදෙනා ම නෙදර්ලන්ත මිශ්‍ර කණ්ඩායම නියෝජනය කළ අතර, මෙවර ශූරතාව ඔවුන් විසින් දිනා ගනු ඇති බවට බොහෝ දෙනා අනුමාන කළත්, අවසානයේ ඔවුන්ට උරුම වුනේ එහි දෙවැනි ස්ථානය වීම විශේෂත්වයක්. 

මෙම ඉසව්වේ ශූරතාව නව තරගාවලි වාර්තාවක් ද සමඟින් ඇමරිකාව විසින් දිනා ගනිද්දී, තෙවන ස්ථානය අයර්ලන්තයට හිමි වුනා. 

මේ අතර කාන්තා මීටර් 100×4 ඉසව්ව කිසිඳු තරගයකින් තොරවම ජයග්‍රහණය කිරීමට ඇමරිකානු කණ්ඩායම විසින් සමත් වුනේ තවත් තරගාවලි වාර්තාවක් ද සමඟයි. මෙම ඉසව්ව සඳහා Tamari Davis සහ Gabriel Thomas යුගලය ම සහභාගී වූ අතර, එම ඉසව්වෙන් මිනිත්තු විස්සක පමණ කාලයක් ඇවෑමෙන් Gabriel Thomas නැවතත් කාන්තා මීටර් 400×4 ඉසව්වේ ජයග්‍රහණය ද ඇමරිකාවට ගෙන ඒමට සිය සහය ලබා දුන්නා.  

මේ අතර කාන්තා මීටර් 100×4 ඉසව්වේ මූලික වටයේ දී කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් ඔලිම්පික් වරම් දිනාගත් පෝලන්ත කණ්ඩායම, අවසන් තරගයේ දී අසාර්ථක යෂ්ටි හුවමාරුවක් නිසා තරගයෙන් ඉවතට විසි වුනා. මේ හේතුවෙන් බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි පෝලන්ත ක්‍රීඩිකා Ewa Swobodaගේ තරගකාරී ධාවනය දැක බලා ගැනීමේ අවස්ථාව ද ලෝකයට අහිමි වුනා. 

පිරිමි මීටර් 100×4 ඉසව්වේ දී Noah Lyles ප්‍රමුඛ ඇමරිකානු කණ්ඩායමට කිසිඳු ආකාරයක බලපෑමක් එල්ල කිරීමට අනෙක් කණ්ඩායම්වලට හැකි වුනේ නැහැ. 

ඔවුන් මෙම වසරේ ඉසව්ව වෙනුවෙන් වාර්තා වූ හොඳම කාලය වූ තත්පර 37.40ක කාලයක් සමඟින් ඉසව්ව ජයග්‍රහණය කළ අතර, එහි දෙවැනි ස්ථානය Andre de Grasse ප්‍රමුඛ කැනඩාව හිමි වුනා. 

දිනයේ අවසන් වශයෙන් පැවැත්වුණු ඉසව්ව වන පිරිමි මීටර් 400×4 ඉසව්ව ජයග්‍රහණය කිරීමට බොස්ට්වානා කණ්ඩායම විසින් සමත් වූ අතර, ලෝක සහය දිවීමේ තරගාවලියක පිරිමි ඉසව්වක් ජයග්‍රහණය කළ පළමු අප්‍රිකානු දේශය බවට පත් වීමට ඔවුන් සමත් වීම විශේෂත්වයක්. 

මෙහි දී මීටර් 100 සහ 200 ඉසව්වේ ලෝක මට්ටමින් කැපී පෙනෙන Letsile Tebogoගේ විසින් බොස්ට්වානා කණ්ඩායමේ ජයග්‍රහණයට විශේෂ දායකත්වයක් සැපයූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ අතර මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව විසින් හිමි කරගත් අතර, එහි දී ඔවුන්ට මූලික වටයේ දී ඔලිම්පික් සුදුසුකම් ලබා දීම වෙනුවෙන් ධාවනයේ යෙදුණු ලෝක ශූර Wayde Van Niekerk ද නොමැතිව ඔවුන් මෙම දස්කම දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. 

මේ අතර කාන්තා මීටර් 400×4 ඉසව්වෙන් තත්පර 3.29.35ක කාලයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම ද ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම මීටර් 400×4 පිරිමි ඉසව්ව නියෝජනය කළ ඉන්දීය කණ්ඩායම ද තත්පර 3.03.23ක කාලයක් සමඟින් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නිමා වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී ඉන්දියාව ද පරාජය කරමින් මෙම ඉසව්වේ ආසියානු ශූරයින් වූ නිසා, ඔවුන් ද මෙවර ශූරතාවය නියෝජනය කළා නම් ඔලිම්පික් සුදුසුකම් ලැබීමට විශාල අවස්ථාවක් තිබූ බවත් අනුමාන කළ හැකි. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<