භානුක සහ ජනිත්ගෙන් ගිනිකෙළි

Sri Lanka World Cup Preparation Tournament 2024

88
Sri Lanka World Cup Preparation Tournament 2024

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගයෙන් Yellow කණ්ඩායමට එරෙහිව ලකුණු 99ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Greens කණ්ඩායම විසින් අද (06) සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය Green නායක ජනිත් ලියනගේ සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව කුසල් පෙරේරා සහ දිනේශ් චන්දිමාල් ඉනිම ආරම්භ කිරීමට පිටියට අවතීර්ණ වුනා.

මෙහි දී ඔවුන් දෙදෙනා විසින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක් එක් කිරීමට සමත් වූ අතර, දිනේශ් චන්දිමාල් ලකුණු 16ක් ලබා සිටිය දී දැවී යාම නිසා එම සබඳතාව නිමා වුනා.

ඉන් පසුව කඩුල්ලට පිවිසි භානුක රාජපක්ෂ විසින් අතිශය ප්‍රවේගකාරී ඉනිමක් දියත් කිරීමට සමත් වූ අතර, ඔහු පන්දු 36ක් තුළ ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වුනා.

මේ අතර නායක ජනිත් ලියනගේ විසින් අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 35කින් ලකුණු 70ක් වාර්තා කිරීමට සමත් වූ අතර එම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වුනා.

මේ අතර රමේෂ් මෙන්ඩිස් ද ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී පන්දු 15කින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර 4ක් ද සමඟයි.

Yellow වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අනුව තරගයේ පළමු ඉනිම දියත් කළ Green කණ්ඩායම විසින් කඩුලු 5ක් දැවී ලකුණු 252ක දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කළා.

Green කණ්ඩායමෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා Yellow ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර, ඔවුන්ගේ සබඳතාව ලකුණු 25කට සීමා වුනා.

කුසල්ගේ ඉනිම ලකුණු19කට සීමා වූ අතර, පැතුම් ද ලකුණු 34ක් ලබ සිටිය දී පිටියෙන් ඉවත් වුනා.

Yellow ඉනිමේ සියලු පිතිකරුවන් පාහේ ඉක්මනින් ලකුණු අතරට පිවිසීමට උත්සාහ දැරීම නිසා ඔවුන්ගේ කඩුලු දැවී යාම තරමක් ඉක්මන් වුනා.

මෙහි දී Yellow ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා වූ සදීර සමරවික්‍රමගේ පිත්තෙන් ලකුණු 38ක් වාර්තා වූ අතර, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 26කින් ඉනිමට දායක වුනා.

කෙසේ වෙතත් Yellow කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 16 පන්දු 2ක් තුළ සියල්ලන් ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු153ක් පමණයි.

මෙහි දී Green වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක විසින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

  • Green– 252/5 (20) භානුක රාජපක්ෂ 88, ජනිත් ලියනගේ 70, අසිත ප්‍රනාන්දු 2/36, ලහිරු මදුශංක 1/43
  • Yellow– 153/10 (16.2) සදීර සමරවික්‍රම 38, පැතුම් නිස්සංක 34, තරිඳු රත්නායක 4/25, ගරුක සංකේත් 2/27

තරගාවලියේ සිව්වැනි තරගය Yellow සහ Red කණ්ඩායම් අතර බදාදා (08) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<