ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගනී

55
SL vs UAE ICC Women’s T20 World Cup Qualifiers 2024

අබුඩාබි නගරයේ දී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් ව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමත් සමඟින් බංග්ලාදේශයේ දී පැවැත්වෙන 9 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අසුනක් වෙන් කර ගත් හ.  

ඊයේ (05) රාත්‍රියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති අවසන් පූර්ව වටයේ තරගයේ දී ලකුණු 15ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ මෙම කඩඉමට පිවිසිය හ.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර ප්‍රතිවාදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් පමණි.   

4 වැනි තරගය, අර්ධ අවසන් පූර්ව තරගය (රාත්‍රී), අබුඩාබි, මැයි 01, 2024, ICC Women’s T20 World Cup Qualifier 

  • කාසියේ වාසිය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය 
  • ක්‍රීඩාංගණය – Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි. 
  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Esha Oza (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ හංසිමා කරුණාරත්න, ශිෂිනි ගිම්හානි සහ ඉනෝකා රණවීර මෙව තරගයට එක් කරගෙන නොතිබුණ අතර ඒ වෙනුවට හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී එක් කර ගෙන තිබුණි.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී. 

එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Esha Oza (නායිකාව), Theertha Satish (කඩුලු රකින්නිය), Khushi Sharma, Kavisha Egodage, Heena Hotchandani, Rinitha Rajith, Samaira Dharnidharka, Vaishnave Mahesh, Lavanya Keny, Siya Gokhale, Indhuja Nandakumar 

කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු වුනි. සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු විසින් ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුනු 52ක සබඳතාවක් එක් කළ හ.  

චමරි අතපත්තු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණි. අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සබඳතාවක් එක් කිරීමට විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම සමත් වූ හ.  

හර්ෂිතා සමරවික්‍රම පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා ය. ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් විශ්මි ගුණරත්න පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටිය දී දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසිනි.  

අනතුරු ව හසිනි පෙරේරා (15) සහ කවීෂා දිල්හාරි 17) ද දැවී ගිය අතර ඉනිමේ අවසන් පන්දුවේ දී පන්දු 10ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටි නිලක්ෂිකා සිල්වා ද දැවී ගියා ය.  

කඩුලු දවා ගැනීමේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායිකාව වන Esha Oza ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා ය.  

පිළිතුරු ඉනිම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලෙසින් කටයුතු කළ නායිකා Esha Oza පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා ය.  

පන්දු යවන්නියක ලෙසින් ද දැක් වූ දක්ෂතා හේතුවෙන් ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වූවා ය.  

එක්සත් අරාබි රාජ්‍ය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 1ක් ව තිබිය දී දැවී ගිය පසු Esha Oza විසින් Khushi Sharma එක් කර ගනිමින් 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් එක් කළ හ. Khushi Sharma පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත් අතර සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ උදේශිකා ප්‍රබෝධනී අතර කඩුල්ල බැගින් බෙදී ගිය හ.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 149 (20.0) විශ්මි ගුණරත්න 45, චමරි අතපත්තු 21, හර්ෂිතා සමරවික්‍රම 24, නිලක්ෂිකා සිල්වා 18, Vaishnave Mahesh 2/33, Esha Oza 2/27 

 

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 134 (20.0) Esha Oza 66, Khushi Sharma 22, චමරි අතපත්තු 2/28 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 18ක ජයක්.  

මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට සහභාගී වූ අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහි ව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගත ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ මේ වන විට අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වී අවසන් ය.  

ඔවුන් ද මෙම තරගයට සුදුසුකම් ලබා ගැනීමත් සමඟින් එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක් වීම සඳහා ද සුදුසුකම් ගත් හ. මෙම කණ්ඩායම් ද්විත්ව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා A කාණ්ඩයෙන් එක් වූ අතර, පෙර පැවැති තරගයේ දී ස්කොට්ලන්තයට එරෙහි ව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූ හ.  

ඔවුන් දෙපිරිස ගැටෙන අවසන් මහා තරගය හෙට (07) අබුඩාබි නුවර Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<