නිශාන්ගේ නායකත්වයේ ඉනිම අපතේ යයි

Afghanistan A Tour of Sri Lanka 2024

82
Afghanistan A Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු පරාජයක් අත්විඳීමට සිදු වුනා.

හම්බන්තොට දී අද (05) පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ඇෆ්ගන් නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.

ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ලෙස නායක නිශාන් මදුශ්ක සහ මිනෝද් භානුක පිටියට පිවිසි නමුත් මිනෝද්ගේ ඉනිම ලකුණු දෙකකට සීමා වුනා.

කෙසේ වෙතත් නායක නිශාන් මදුශ්ක විසින් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් අගනා ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු විසින් පන්දු 127ක් තුළ ලකුණු 115ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද සමඟයි.

මේ අතර ඉනිමේ අංක හය පිතිකරු ලෙස පිටියට පිවිසි සොනාල් දිනූශ විසින් වටිනා ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුට ඒ වෙනුවෙන් වැය වුනේ පන්දු 78ක් පමණයි.

මේ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 50 අවසන කඩුලු 7ක් දැවී ලකුණු 275ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Bilal Sami සහ Qais Ahmad කඩුලු 3 බැඟින් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගන් ආරම්භක පිතිකරු යුගලය වූ Riaz Hasan සහ Zubaid Akbari විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 133ක් එක් කිරීමට සමත් වුනා.

මෙහි දී Zubaidගේ පිත්තෙන් ලකුණු 68ක් වාර්තා වූ අතර, Riaz විසින් අගනා ශතකයක් වාර්තා කරමින් ඇෆ්ගනිස්තානයට තරගයේ ජය මාවත විවර කර දුන්නා.

මෙහි දී ඉනිමේ අවසන් භාගයේ දී Nangeyalia Kharote විසින් පන්දු 29කින් ලකුණු 40ක් ලබා ගනිමින් වේගවත් ඉනිමක් ඉනිමක් දියත් කිරීමේ වාසිය ද සමඟ ඇෆ්ගන් පිතිකරුවන් පන්දුවාර 49 පන්දු 4ක් තුළ අදාළ ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුශාන් හේමන්ත කඩුලු 2ක් දවා ගත්තා.

  • ශ්‍රී ලංකා A –275/7 (50) නිශාන් මදුශ්ක 115, සොනාල් දිනූශ 78, Bilal Sami 3/54, Qais Ahmad 3/62
  • ඇෆ්ගනිස්තාන A– 276/6 (49.4) Riaz Hassan 106, Zubaid Akbari 68, දුශාන් හේමන්ත 2/39, උදිත් මදුශාන් 1/39

මේ අනුව තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අද සමත් වූ අතර, ඒත් සමඟම තරගාවලියේ වත්මන් තත්වය 3-1ක් ලෙස සටහන් වුනා.

දෙරට අතර පැවැත්වීමට නියමිත පස්වැනි සහ අවසන් එක්දින තරගය එළඹෙන අඟහරුවාදා (07) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<