කසකස්තානයට එරෙහිව පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකාවට ශූරතාව!

Asia Rugby Division 1 Championship 2024

51
Kazakhstan vs Sri Lanka

2024 ආසියානු රග්බි Division 1 ශූරතාවය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) සමත් වුනා.

කොළඹ තුරග තරග පිටියේ පැවැත්වුණු මෙම තරගාවලියේ දී ඉන්දියාව සමඟ පැවැත්වුණු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 45-10ක් ලෙස ඉතා පහසු ජයක් ලද ශ්‍රී ලංකාව සහ කටාර් දේශය පරදමින් අවසන් මහා තරගයට පිවිසි කසකස්තානය අතරයි ඊයේ දිනයේ දී මෙම අවසන් මහා තරගය පැවැත්වුණේ.

තරගය ආරම්භයේ පටන් ම ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තානයට වඩා ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර, තරගයේ එකොළොස් වැනි මිනිත්තුවේ දී සුබේර් දොරේ විසින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා.

ඉන් පසුව තරගයේ 18 වැනි මිනිත්තුවේ දී අදීශ වීරතුංග විසින්  දෙවැනි උත්සාහක දිනුම සහ තරගයේ 24 වැනි මිනිත්තුවේ දී තේනුක නානයක්කාර තෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වුනා. මෙහි දී තෙවැනි උත්සාහක දිනුම වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරින්ද රත්වත්තේ විසින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් වුනේ තරගයේ ලකුණු තත්වය 17 – 0ක් ලෙස සටහන් කරවමිනුයි.

එතැනින් නොනැවතුණු තරින්ද විසින් 31 වැනි මිනිත්තුවේ දී තරගයේ සිව් වැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු විසින් ම එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් වුනා. තරගයේ පළමු අර්ධය නිම වීමට මිනිත්තු හතරකටත් වඩා අඩු කාලයක් තුළ දිනාල් ඒකනායක විසින් තරගයේ පස් වැනි උත්සාහක දිනුම ද ශ්‍රී ලංකාව වෙනුවෙන් රැගෙන ආ අතර තරින්ද විසින් සිය තෙවන සාර්ථක ප්‍රවර්තනය සමඟ ලකුණු තත්වය 31-0ක් කරා රැගෙන ගියා.

තරගයේ පළමු අර්ධය ඒ අයුරින් නිමා වූ අතර, දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් සුළු මොහොතකට පසු හේශාන් ජැන්සන් විසින් නැවතත් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවීම ආරම්භ කළ අතර, තරින්ද නැවතත් සාර්ථක ප්‍රවර්තනක් ලබා ගත්තා.

මේ අතරේ කසකස්තානය විසින් තම පාර්ශවයෙන් වාර්තා වූ පළමු සහ එකම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනත් එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට බාධා කිරීමට කිසි සේත් ම ප්‍රමාණවත් වුනේ නැහැ.

තරගයේ 75 වැනි මිනිත්තුවේ දී තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ හත්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සචිත් සිල්වාට හැකියාව ලැබුණු අතර, හිරුශ නෙත්මින විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 45ක් කරා රැගෙන යාමට සමත් වුනා.

මේ අයුරින් 2024 ආසියානු රග්බි Division 1 ශූරතාව තමන්ගේ සන්තකයට ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (04) රාත්‍රියේ දී සමත් වූ අතර, මෙය කලකට පසු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමෙන් ලැබූ විශිෂ්ට සහ වටිනා ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දිය හැකි.

අවසන් ලකුණු තත්වය:

ශ්‍රී ලංකාව 45 (7T, 5C) – කසකස්තානය 7 (1T, 1C)

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන් ම සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<