NSL ශූරතාව දිනූ රමේෂ් ගේ ගාලු නඩය

66
NSL 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට රමේෂ් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් Galle කණ්ඩායම පසුගියදා සමත් වූවේ ය.

ඔවුන් පළමු වටය අවසන් කරන්නේ තරග 8කට සහභාගී වෙමින් තරග 4ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 112.215ක් ලබා ගනිමිනි. තරගාවලියේ අනුශූරයන් වූ මහනුවර ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට පත් වෙන්නේ ජයග්‍රහණ 3ක් සමඟින් ලත් ලකුණු 92.585 සමඟිනි.

ඒ අනුව ඔවුන් දෙපිරිස අතර පැවැති අවසන් මහා තරගයේ දී Galle කණ්ඩායම් ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණය කරමින් 2024 වසරේ National Super League සිවු දින ක්‍රිකට් ශූරතාවට මෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිනැමුණ රුපියල් මිලියන 5ක මුදලකට ද හිමිකම් කීමට සමත් වූ හ.

  • Galle කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
  ක්‍රීඩාංගණය ප්‍රතිවාදීන් තරගයේ විසඳුම
1 හම්බන්තොට Kandy තරගය විසඳුමකින් තොරව අවසන් විය.
2 හම්බන්තොට Dambulla තරගය විසඳුමකින් තොරව අවසන් විය.
3 හම්බන්තොට Jaffna Galle කණ්ඩායමට ලකුණු 235ක ජයක්.
4 හම්බන්තොට Colombo Galle කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
5 හම්බන්තොට Kandy Galle කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
6 ගාල්ල Dambulla තරගය විසඳුමකින් තොරව අවසන් විය.
7 කොළඹ Jaffna තරගය විසඳුමකින් තොරව අවසන් විය.
8 දඹුල්ල Colombo Galle කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
අවසන් මහා තරගය
9 පල්ලෙකැලේ Kandy Galle කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Galle කණ්ඩායමේ දක්ෂතා

තරගාවලියේ අවසන් මහා තරගයේ දී නායක රමේෂ් මෙන්ඩිස් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසින් ද අභිශේක ලැබුවේ ය. ඔහු එම තරගයේ දී පිතිකරුවෙක් ලෙසින් ශතකයක් ද සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 4ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වීමට සමත් වීම කැපී පෙණුනි.

ශතකලාභී එම ඉනිම රමේෂ් මෙන්ඩිස්ගේ මෙවර තරගාවලියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූ අතර සහභාගී වූ අනෙක් ඉනිම් 4 දී ඔහුට ලබා ගැනීමට හැකි ව තිබුණේ ලකුණු 27ක් පමණි.

කෙසේ වෙතත් පන්දු යැවීමේ දී කඩුලු 15ක් දවා ගනිමින් දක්ෂතා දැක් වීමට ඔහු සමත් වූයේ ය.

තරගාවලියේ දක්ෂතා දැක් වූ ගාලු පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නේ ඔෂද ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාරයි. ඔවුන් දෙදෙනා තරගාවලියේ දක්ෂතම පිතිකරුවන් ලෙසින් ද සම්මානයට පාත්‍ර වූ හ.

ඔවුන් දෙදෙනාට අමතර ව තරගාවලියේ වැඩිම දක්ෂතා දැක් වූ ගාලු පිතිකරු බවට පත් වීමට විශාද් රන්දික සමත් වූයේ ය. ඔහු තරග 7ක ඉනිම් 10ක දී ලකුණු 535ක් ලබා ගත්තේ ය. ඊට Dambulla කණ්ඩායමට එරෙහි ව පන්දු 282කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 171ක් ද ඇතුලත් අතර එම ඉනිම විශාද් රන්දික ගේ තරග 64ක් වන පළමු පෙළ තරගවල ඉහළ ම ඉනිම බවට ද පත් වූයේ ය.

එමෙන් ම ඔහු කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීමට 29කට සම්බන්ධ වෙන්නේ ය. එය මෙවර තරගාවලියේ දී කඩුලු රකින්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූයේ ය.

ඊට අමතර ව ඉනිම 16ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 466ක් ලැබූ සංගීත් කුරේ ද සහ ඉනිම 11ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 435ක් ලැබූ ලක්ෂාන් එදිරිසිංහ ගේ නම් ද ඉදිරියෙන් ම කියැවෙන පිතිකරුවන්ගේ නම් බවට පත් වූ හ.

ගාලු ජයග්‍රහණයේ ප්‍රධානත ම පන්දු යවන්නා බවට දකුණතින් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් පත් වූයේ ය. ඔහු තරග 6ක දී කඩුලු 35ක් දවා ගැනීමට සමත් වූයේ ය. Colombo කණ්ඩායමට එරෙහිව ලකුණු 47කට කඩුලු 6ක් දවා ගැනීම ඔහුගේ මෙම තරගාවලියේ ඉහළ ම දක්ෂතා ව බවට පත් වූයේ ය.

ඊට අමතර ව කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 4ක් ම ඔහුගේ ඉනිම් අතර තිබීම විශේෂත්වයකි.

ගාලු ඉනිමේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතර 2 වැනි ස්ථානය හිමිකර ගැනීමට නිමේෂ් විමුක්ති සමත් වූවේ ය. ඔහු සතු කර ගත් කඩුලු සංඛ්‍යාව 23කි. ඊට අමතර ව උදිත් මධුශාන් ද කඩුලු 21ක් දවා ගනිමින් ගාලු ජයග්‍රහණයේ ඉදිරි පෙළ නියමු පන්දු යවන්නෝ බවට පත් වූ හ.

තරගාවලියේ පිතිකරු දක්ෂතා

තරගාවලියේ පළමු වටය අවසන් වන විට ඔෂද ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර පිතිකරු ලැයිස්තුවේ පළමු සහ 2 වැනි ස්ථාවලට පත් සිටියේ එක් ලකුණක වෙනසක් සමඟිනි. අවසන් මහා තරගයේ දක්ෂතාත් සමඟින් ඔෂඳ තරමක් ඉහළට ගිය ද, ඔවුන් දෙදෙනා දැක් වූ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ දක්ෂත ම පිතිකරුවන් ලෙසින් ඔෂද සහ පසිඳු සම්මානයට පාත්‍ර වූ හ.

පළමු වටය අවසන් වන විට ඔෂද ප්‍රනාන්දු ලකුණු 808ක් ද සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 807ක් ද තම නම් ඉදිරියේ සටහන් කරගෙන තිබුණි.

855: ඔෂද ප්‍රනාන්දු

ඔෂද ප්‍රනාන්දු අවසන් මහා තරගයේ දක්ෂතාත් සමඟින් මෙම තරගාවලියේ තරග 9ක ඉනිම් 17කට මුහුණ දෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 855ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට පත් වූයේ ය.

ඔහුගේ ඉනිම් අතුරින් අගනුවර කණ්ඩායමට එරෙහි ව පන්දු 300කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 202 ඉහළ ම බවට පත් වූයේ ය.

807: පසිඳු සූරියබණ්ඩාර

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතුරින් 2 වැනි ස්ථානය හිමි වූ පසිඳු සූරියබණ්ඩාර ගේ ඉනිම් අතර Jaffna කණ්ඩායමට එරෙහි ව පන්දු 346කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 242ක් ලබා ගත්තේ ය.

එම ඉනිම පසිඳු සූරියබණ්ඩාර ගේ තරග 37ක් වන පළමු පෙළ තරගවල ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූ අතර මෙවර තරගාවලියේ ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූයේ ය.

මේ අතර තරගාවලියේ වැඩිම උඩ පන්දු රැකගත් ක්‍රීඩකයා ලෙසින් ද ඉදිරියෙන් පසු වීමට පසිඳු සූරියබණ්ඩාර සමත් වූවේ ය. ඔහු ලබා ගත් උඩ පන්දු ප්‍රමාණය 16කි.

744: අහන් වික්‍රමසිංහ

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානය තරගාවලියේ වීරයා වූ සොනාල් දිනූෂ සතු වෙද්දී එම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය Kandy කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ සතු කර ගන්නේ ය. ඔහු තරග 8ක ඉනිම 15ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් මෙම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කීවේ ය.

පන්දු යවන්නන්ගේ දක්ෂතා

35: නිශාන් පීරිස්

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් වීමට Galle කණ්ඩායමේ නිශාන් පීරිස් සමත් වූයේ ය. ඔහු තරගාවලියේ පළමු වටය නිමා කරන විට කඩුලු 30ක් ලබා සිටි අතර අවසන් මහා තරගයේ දී ප්‍රතිවාදී දෙවැනි ඉනිමේ දී ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීමත් සමඟින් ඔහු මෙම කඩඉම ට පිවිසියේ ය.

34: වනුජ සහන්

තරගාවලියේ දක්ෂත ම පන්දු යවන්නා බවට Kandy කණ්ඩායමේ වමතින් දඟ පන්දු යැවූ වනුජ සහන් පත් වූයේ ය. ඔහු තරග 6ක දී කඩුලු 34ක් ලබා ගනිමින් මෙම සම්මානයට හිමි කම් කී අතර අවසන් මහා තරගයේ දී ඔහුගේ සහභාගීත්වය මෙරට සංචාරයේ නියුතු ඇෆ්ගනිස්තාන A කණ්ඩායම හේතුවෙන් ඇහිරී ගියේ ය.

26: නිසල තාරක

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 3 වැනි ස්ථානය හිමි කර ගැනීමට Colombo කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යැවූ නිසල තාරක සමත් වූයේ ය. ඔහු මෙවර තරගාවලියේ දී තම තරග 106ක් වන පළමු පෙළ තරගවල කඩුලු 250ක කඩඉම පසු කිරිමට ද සමත් වූයේ ය.

තරගාවලියේ වීරයා – සොනාල් දිනූෂ

මෙවර තරගාවලියේ වීරයා බවට පත් වීමට Dambulla කණ්ඩායමේ 23 හැවිරිදි වියේ පසුවෙන සොනාල් දිනූෂ සමත් වූයේ ය. ඔහු පිතිකරුවෙක් ලෙසින් තරග 8ක ඉනිම් 16ක දී ශතක 2ක් සමඟින් ලකුණු 769ක් ලබා ගත්තේ ය. එය මෙවර තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් දක්ෂතාවයි.

සොනාල් දිනූෂ ගේ මෙම ඉනිම් අතර Jaffna කණ්ඩායමට එරෙහි ව පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 112 ඔහුගේ තරග 36ක් වන පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වූයේ ය.

වමතින් දඟ පන්දු යැවූ සොනාල් දිනූෂ මෙවර තරගාවලියේ දී කඩුලු 15ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වූයේ ය.

වෙනත් දක්ෂතා

240: පවන් රත්නායක

මෙවර තරගාවලියේ දී ද්විත්ව ශතක 3ක් වාර්තා වීම කැපී පෙණුන අතර පසිඳු සූරියබණ්ඩාර සහ ඔෂද ප්‍රනාන්දු අතරට Dambulla කණ්ඩායමේ පවන් රත්නායක ද ඊට ඇතුලත් වූයේ ය. ඔහු Jaffna කණ්ඩායමට එරෙහි ව පන්දු 401කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 240ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ තරග 35ක් වන පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වූයේ ය.

එමෙන් ම ඔහු මෙවර තරගාවලිය නිමා කරන විට තරග 7ක ඉනිම් 14ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 684ක් ද ලබා ගැනීමට සමත් වූයේ ය. එය තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පත් දක්ෂතාවය බවට පත් වූයේ ය.

180: නුවනිඳු ප්‍රනාන්දු

Colombo කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු ද මෙවර තරගාවලියේ තම පළමු පෙළ තරගවල හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වූයේ ය. ඔහු මෙම කඩඉමට පිවිසියේ Jaffna කණ්ඩායමට එරෙහි ව පන්දු 288කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 180ත් සමඟිනි.

6/45 (17.3): ඉසිත විජේසුන්දර

Colombo කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන ඉසිත විජේසුන්දර මෙවර තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූයේ ය. ඔහු මෙම දක්ෂතාවට පිවිසියේ Galle කණ්ඩායමට එරෙහි ව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

711/9d (172.0): Galle කණ්ඩායම

මෙවර තරගාවලියේ ඉනිමක දී වැඩිම ලකුණුලාභී කණ්ඩායම බවට පත් වීමට Galle කණ්ඩායම සමත් වූයේ ය. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන ලද්දේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Jaffna කණ්ඩායමට එරෙහිව ය.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<