මැංගුස් සටන විසඳුමකින් තොරව අවසන් වේ

64th Battle of the Mangosteen

65
64th Battle of the Mangosteen

කලුතර විද්‍යාලය සහ කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර 64 වැනි වරටත් පැවැති “මැංගුස් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (04) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී විසඳුමකින් තොරව අවසන් වූයේ ය.  

තරගයේ පළමු වෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 250ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර අද ඔවුන්ගේ ඉනිම තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ව පැවැතිය හ.

Battle of the Mangosteen, මොරටුව, 03 – 04 මැයි 2024

o කාසියේ වාසිය – තිස්ස මධ්‍ය මහා විද්‍යාලය

o ක්‍රීඩාංගණය – ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණය, මොරටුව.

පෙර දිනයේ තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කලුතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 30ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිමට ලකුණු 3ක් එකතු වෙද්දී පළමු කඩුල්ල දැවී ගිය හ.

ඉන් අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවක් එක් කිරීමට අමෝද්‍ය අත්තනායක සහ පසිඳු දුලංජ සමත් වූ හ. පසිඳු දුලංජ පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටිය දී දැවී ගියේ ය.

අනතුරු ව ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 112ක් වෙද්දී එතෙක් වේලා කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු අමෝද්‍ය අත්තනායක ද දැවී ගියේ ය. ඔහු පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 75ක් ලබා ගත් අතර එය තරගයේ පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවේ ය.

ඔහුගේ එම ඉනිමට අමතර ව නිතික ෆොන්සේකා පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා ගනිමින් කලුතර ඉනිම ශක්තිමත් කළේ ය.

කඩුලු දවා ගැනීමේ දී මලිඳු ඩිල්ශාන් ලකුණු 71කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූයේ ය. ඊට අමතර ව රන්දික පියුම් ද ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

තරගයේ කෙටි ලකුණු පුවරුව

තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 250 (70.2) අශාන් විශ්ව 25, ඉෂාර මලිත් 51, අජිත බුද්දිල නොදැවී 61, මිනූශ මලිත් 59, නිතික ෆොන්සේකා 2/44, අමෝද්‍ය අත්තනායක 4/104

කලුතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු දැවී 191 (105.0) අමෝද්‍ය අත්තනායක 75, පසිඳු දුලංජ 18, ලිවිරු සෙන්මිත් 21, නිතික ෆොන්සේකා නොදැවී 34, මලිඳු ඩිල්ශාන් 5/71, රන්දික පියුම් 3/42

තරගය විසඳුමක් නොමැති ව අවසන් විය.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – උදාන් තේජක (කලුතර විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා –  මලිඳු ඩිල්ශාන් (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – අමෝද්‍ය අත්තනායක (කලුතර විද්‍යාලය)
  • තරගයේ වීරයා – අමෝද්‍ය අත්තනායක (කලුතර විද්‍යාලය)

දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය හෙට (05) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<