කාලයකට පසු චමරිගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

43
Sri Lanka Women's Cricket

පන්දුවට පහර දීමේ දී යමක් කළ නොහැකි වූව ද එහි වාඩුව පන්දු යැවීමේ දී ලබා ගත් චමරි අතපත්තු කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඇමරිකාවට එරෙහි තරගයේ දී වාර්තාවක් ද සමඟින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් වුවා ය.

ඇය මෙම තරගයේ දී ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් තම තරග 129ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූවා ය. ඊට පෙර ඇයගේ හොඳම පන්දු යැවීම බවට පත් ව තිබුනේ 2018 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 17කට දවා ගත් කඩුලු 3යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් දැවී ලකුණු 123ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී ඇමරිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 105ක් පමණි. ඒ අනුව ඇමරිකාවට එරෙහි ව ලකුණු 18ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා අපරාජිතව පැමිණීමට සමත් වූහ.

3 වැනි තරගය, A කාණ්ඩය (රාත්‍රී), අබුඩාබි, මැයි 01, 2024, ICC Women’s T20 World Cup Qualifier

o කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

o ක්‍රීඩාංගණය – Tolerance Oval, අබුඩාබි.

o තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි මෙම තරගයට එක් කර නොගත් අතර ඒ වෙනුවට හංසිමා කරුණාරත්න, උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි සහ අචිනි කුලසූරිය එක් කර තිබුණි.

මෙම තරගයේ දී ඇමරිකා කණ්ඩායම වෙනුවෙන් 18 වියැති Pooja Shah මංගල විස්සයි විස්සයි ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වූවා ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, ශෂිනි ගිම්හානි.

ඇමරිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Sindhu Sriharsha (නායිකාව / කඩුලු රකින්නිය), Disha Dhingra, Anika Kolan, Pooja Ganesh, Aditiba Chudasama, Pooja Shah, Isani Vaghela, Geetika Kodali, Jessica Willathgamuwa, Saanvi Immadi, Sai Tanmayi Eyyunni

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව සුපුරුදු ලෙසින් ම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් විශ්මි ගුණරත්න සමඟින් ඉනිම ආරම්භ කළා ය. නමුත් ඇය ගේ ඉනිම පළමු පන්දු වාරයේ දී ම නිමා කිරීමට ඇමරිකා ක්‍රීඩිකාවෝ සමත් වූ හ. චමරි අතපත්තුට මෙම තරගයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 4ක් පමණි.

අනතුරු ව පිටියට එක් වූ හර්ෂිතා සමරවික්‍රම සමඟ එක් වූ අනෙක් ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමුවේ වැටී තිබූ තත්ත්වයට මඳ සහනයක් එක් කරමිනි.

විශ්මි ගුණරත්න 2 වැනි කඩුල්ල ලෙසින් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටිය දී පිටිය හැර ගියා ය. ඊට පසු පන්දුවේ දී හර්ෂිතා සමරවික්‍රම ද ඉනිම හැර යෑම නැවත ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළ මරු පහරක් බවට පත් වූවේ ය.

හර්ෂිතා සමරවික්‍රම පිටිය හැර යද්දී පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා ය. ඒ අනුව 10 වැනි පන්දු වාරයට පන්දු 5ක් මෙපිටින් සිටිය දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 55කට කඩුලු 3ක් බවට පත් වුනි.

එම අවස්ථාවේ වගකීම් සහිත ඉනිමක නිරත වීමට හංසිමා කරුණාරත්න ඉදිරිපත් වීම කැපී පෙණුනි. ඇය ශ්‍රී ලංකා ඉනිමේ පන්දු වාර කෝටාව අවසන් වෙද්දී පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා සිටියා ය.

එමෙන් ම ඇය නිලක්ෂිකා සිල්වා සමඟ එක් වෙමින් සිවු වැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වූවා ය. නිලක්ෂිකා සිල්වා පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා ය.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට අනුශ්කා සංජීවනී පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා ය.

කඩුලු දවා ගැනීමේ දී Saanvi Immadi, Aditiba Chudasama සහ  Geetika Kodali කඩුල්ල බැගින් හිමි කර ගත් හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇමරිකා ක්‍රීඩිකාවන්ගේ ඉනිමට ප්‍රවේගවත් බවක් ගෙන ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැත. ඔවුන්ගේ පළමු පන්දු වාර 10 අවසන් වෙන්නේ කඩුල්ලක් දැවී ලකුණු 42ක් ලෙසිනි.

එතැන් සිට ඇමරිකා ක්‍රීඩිකාවන්ට තම ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 60ක දී ලකුණු 82ක ක ඉලක්කයක් ලැබූ අතර එය ලකුණු 63කින් නතර කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූ හ.

එහි දී නායිකා චමරි අතපත්තු තම පන්දු වාර 4 ලකුණු 14කට සීමා කරමින් යැවීම කැපී පෙණුනි. කඩුලු ලබා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවා ගත් හ.

ඇමරිකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී Disha Dhingra ට. ඇය පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා ය. ඊට අමතර ව  නායිකාව වන Sindhu Sriharsha පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා ය.

අද තරගයේ දී මංගල විස්සයි විස්සයි ජාත්‍යන්තර වරම් දිනා ගත් Pooja Shah ඇමරිකා ඉනිම අවසන් වෙද්දී පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක නිරත වූවා ය..

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 123 (20.0) විශ්මි ගුණරත්න 25, හර්ෂිතා සමරවික්‍රම 23, හංසිමා කරුණාරත්න නොදැවී 25, නිලක්ෂිකා සිල්වා 21, Saanvi Immadi 1/14

ඇමරිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 105 (20.0) Disha Dhingra 28, Sindhu Sriharsha 27, Pooja Shah නොදැවී 20, චමරි අතපත්තු 3/14

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 18ක ජයක්.

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලද අතර එම තරගය මේ මස 05 වැනිදා රාත්‍රී තරගයක් ලෙසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟින් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<