මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ Tier B ශූරතාව දිනා ගනී

107
Cricket, School Cricket, Free, Featured, Maris Stella College, Panadura Royal College

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ Tier B කාණ්ඩයේ ශූරයන් බවට පත් වීමට තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් වූවේ ය.

පානදුර රාජකීය විද්‍යාලය සමඟ මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ශූරතාවට හිමිකම් කී හ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පානදුර රාජකීය විද්‍යාලයීය කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 182ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 192ක් ලබා ගත්තේ ය.

ලකුණු 10ක් පිටු පස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි පානදුර රාජකීය විද්‍යාලයට එවර ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 130ක් පමණයි. ජයග්‍රහණය සඳහා ලකුණු 120ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගත් හ.

අවසන් මහා තරගය, මග්ගොන, 02 – 03 මැයි, 2024, U 19 Div ii Tier B Schools Tournament

o ක්‍රීඩාංගණය – Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණය, මග්ගොන

o කාසියේ වාසිය – පානදුර රාජකීය විද්‍යාලය

තරගය අද දෙවැනි දිනයට ආරම්භ වූයේ තම පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබා සිටියදී ය. ඔවුන්ට ඒ අනුව පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 29ක් පමණි.

එම ලකුණු හඹා යෑමේ දී පළමු දිනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 39ක් ලබා සිටි යොහාන් ප්‍රනාන්දු ද පිටියේ රැදී සිටියේ ය. නමුත් ඔහුගේ ඉනිමට තවත් ලකුණු 10ක් එක් වෙද්දී දිනයේ පළමු කඩුල්ල ලෙසින් ඔහු ඉනිම හැර ගියේ ය.

ඒ වෙද්දී ඔහු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියේ ය.

ඉන් අනතුරු ව මාරිස් ස්ටෙල්ලා ඉනිමේ කඩුලු 7ක් දැවී තිබිය දී ඔවුන් අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ හ. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 39ක් තුළ බිඳ හෙළීමට පානදුර රාජකීය පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනි.

එහි දී ජොහාන් පතිරණ ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූයේ ය. ඊට අමතර ව සදෙව් විජේරත්න, සත්සර නිලංජිත් සහ සෙතික දිල්මිත් කඩුලු 2ක් බැගින් දවා ගත් හ.

ලකුණු 10ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි පානදුර රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය දිගින් දිගට ම රඳවා ගැනීමට ඔවුන් අපොහොසත් වූ හ. ඒ අනුව ඔවුන්ට තම දෙවැනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 130ක් පමණි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කවීෂ පෙරේරා ය. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේ ය. ඊට අමතර ව ආරම්භක පිතිකරු රන්මිර ප්‍රනාන්දු ද පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී විශ්ව පීරිස් ලකුණු 56කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. ඊට අමතර ව යොහාන් ප්‍රනාන්දුට ද කඩුලු 3ක් හිමි වූයේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 121ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී ලබා ගත් හ. එහි දී ශවේන් පෙරේරා පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා ගත්තේ ය.

ඊට අමතර ව යොහාන් ප්‍රනාන්දු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ සුවහස් යාපා පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා ගත් හ.

කඩුලු දවා ගැනීමේ දී සෙතික දිල්මිත් ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතර ව සදෙව් විජේරත්නට ද එක් කඩුල්ලක් හිමි විනි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පානදුර රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (56.5) රන්මිර ප්‍රනාන්දු 48, යසිත් ප්‍රනාන්දු 67, කවීෂ පෙරේරා 20, විශ්ව පීරිස් 2/35, යොහාන් ප්‍රනාන්දු 4/71

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (56.5) නදීශ රාජකරුණා 53, ශවේන් පෙරේරා 41, යොහාන් ප්‍රනාන්දු 49, සත්සර නිලංජිත් 2/30, සෙතික දිල්මිත් 2/53, සදෙව් විජේරත්න 2/25, ජොහාන් පතිරණ 4/23

පානදුර රාජකීය විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 130 (30.1) රන්මිර ප්‍රනාන්දු 33, ජොහාන් පතිරණ 22, කවීෂ පෙරේරා 34, යොහාන් ප්‍රනාන්දු 3/52, විශ්ව පීරිස් 6/56

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 121 (48.3) ශවේන් පෙරේරා නොදැවී 43, යොහාන් ප්‍රනාන්දු 28, සුවහස් යාපා නොදැවී 24, සෙතික දිල්මිත් 4/41

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<