මෙන්ඩිස් යුගලය විශිෂ්ට ඉනිම් දෙකක් දියත් කරයි!

Sri Lanka World Cup Preparation Tournament 2024

94
Sri Lanka T20 World Cup Preparation tournament 2024

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් Red කණ්ඩායමට එරෙහිව ලකුණු 25ක ජයක් ලැබීමට Yellow කණ්ඩායම සමත් වුනා. 

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (02) පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය Red කණ්ඩායමට හිමි වූ අතර, ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

මේ අනුව Yellow කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීම සඳහා පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 33කට සීමා වුනේ පැතුම්ගේ ඉනිම ලකුණු 24කින් නතර වීමත් සමඟයි. 

කෙසේ වෙතත් මින් පසුව මෙන්ඩිස් සමඟ කඩුල්ලේ එක් වූ ශෙවෝන් ඩැනියෙල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 141ක් එක් කිරීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් ශෙවෝන්ගේ පිත්තෙන් ලකුණු 59ක් එකතු වුනා. 

මීට අමතරව ඇන්ජලෝ මැතිව්ස් විසින් ඉනිමට පන්දු 9ක් තුළ ලකුණු 29ක් එක් කිරීමට සමත් වූ අතර, ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් පන්දු 50ක් තුළ ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් අන්තර්ගත වුනා. මේ අනුව Yellow කණ්ඩායම විසින් කඩුලු 3ක් පමණක් දැවී Red කණ්ඩායම වෙත ලකුණු 226ක ඉලක්කයක් ලබා දීමට සමත් වුනා. 

Yellow කණ්ඩායම වෙතින් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා නිරෝශන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුනත් ඔවුන් දෙදෙනාට ම සාර්ථක ඉනිම් වෙත යාමට හැකියාවක් ලැබුණේ නැහැ. 

කෙසේ වෙතත් Red ඉනිමේ අංක තුන පිතිකරු වූ කමිඳු මෙන්ඩිස් සිය සුපුරුදු පිතිකරණයේ නිරත වෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට සමත් වුනා. 

කමිඳු පන්දු 48කින් ලකුණු 82ක් ඉනිමට එක් කළ අතර, ඒ වෙනුවෙන් ඔහුගේ පිත්තෙන් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් එල්ල වුනා. 

මීට අමතරව නායක චරිත් අසලංක පන්දු 15කින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වූ අතර, ලහිරු සමරකෝන් නොදැවුණු ලකුණු 23කින් ඉනිමට දායක වුනා. කෙසේ වෙතත් නියමිත පන්දුවාර 20 අවසන් වන විට Red කණ්ඩායම විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 200ක් පමණයි. 

මෙහි දී Yellow කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් දවා ගනිද්දී, ලහිරු කුමාර විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

  • SLC Yellow – 225/3 (20) කුසල් මෙන්ඩිස් 100*, ශෙවෝන් ඩැනියෙල් 59, ලහිරු සමරකෝන් 1/8, නිමේශ් විමුක්ති 1/17 
  • SLC Red – 200/8 (20) කමිඳු මෙන්ඩිස් 82, චරිත් අසලංක 35, දුනිත් වෙල්ලාලගේ 3/39, ලහිරු කුමාර 2/40 

තරගාවලියේ දෙවැනි තරගය සෙනසුරාදා Red සහ Green කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. 

මෙම තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<