Devon Thomasට වසර පහක ක්‍රිකට් තහනමක්!

52

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක Devon Thomas හට වසර පහක ක්‍රිකට් තහනමක් පැනවීමට ICCය විසින් පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC), එමිරේට්ස් ක්‍රිකට් (ECB) සහ කැරිබියන් ප්‍රිමියර් ලීගයේ (CPL) දූෂණ විරෝධී පනත්වල වගන්ති හතක් කඩ කිරීම නිසාවෙනුයි ඔහුට මෙම තහනම පනවා තිබෙන්නේ.

මෙහි දී ඔහුට,

2021 LPL තරගාවලියේ තරග ප්‍රතිඵල වෙනස් කිරීමට හෝ එයට බලපෑම් කිරීමට ගිවිසුම් ගත වීම හෝ හවුල් වීම,

2021 LPL තරගාවලියේ දූෂණ හැසිරීම් වෙත ලැබුණු ආරාධනා ප්‍රමාදයකින් තොරව නිළදාරීන් වෙත දැන්වීමට අපොහොසත් වීම,

දූෂණ නිළදාරීන් විසින් ඉල්ලා සිටින තොරතුරු ලබා දීමට අපොහොසත් වීම සහ විමර්ශනවලට සහය ලබා නොදීම,

විමර්ශනවලට අදාළ විය හැකි ලේඛන හෝ තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ නිලධාරීන්ට බාධා කිරීම ඇතුළු චෝදනා හතක් එල්ල වී තිබෙනවා.

ඉහත දැක්වූ චෝදනා 2021 LPL තරගාවලියට අදාළ ව ඔහුට එල්ල වූ ඒවා වන අතර, ඉතිරි චෝදනා ත්‍රිත්වය 2021 අබුඩාබි T10 තරගාවලියට, 2021 සහ 2022 CPL තරගාවලියට අදාළවයි ඔහුට එල්ල වී තිබෙන්නේ.

Thomas හට ලබා දුන් මෙම දඬුවම ක්‍රීඩාව දූෂණය කිරීමට පෙලඹෙන ක්‍රීඩකයින්ට සහ බාහිර පාර්ශව වෙත හොඳ පණිවිඩයක් සපයනු ඇති බවයි ICC සාමාන්‍යාධිකාරී Alex Marshall මහතා විසින් සඳහන් කරන්නේ.

Devon විසින් 2021 LPL තරගාවලියේ දී Kandy Warriors කණ්ඩායම වෙනුවෙන් එක් තරගයක් ක්‍රීඩා කළා.

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<