ශ්‍රී ලංකා A කණ්ඩායමට දෙවැනි තරගයෙනුත් පහසු ජයක්

Afghanistan A Tour of Sri Lanka 2024

115

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ඇෆ්ගන් නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.

කෙසේ වෙතත් ඇෆ්ගන් ඉනිමේ පළමු කඩුලු 6ම ලකුණු 30ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සමත් වූ අතර, මේ මොහොතේ කඩුල්ලට පිවිසි Qais Ahmad විසින් ඇෆ්ගන් ඉනිමට තරමක් හෝ ගෞරවනීය තත්වයක් ලබා දීමට උත්සාහ කළා.

Qais සහ Farmanullah අතර ඉනිමේ හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සබඳතාවක් ඇති වූ අතර, මෙහි දී Qaisගේ පිත්තෙන් ලකුණු 46ක් වාර්තා වූ අතර, Farmanullah විසින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 121කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, මෙහි දී නැවතත් පන්දුවෙන් සාර්ථක වූ නායක සහන් ආරච්ච්ගේ කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට අමතරව චාමික ගුණසේකර සහ මොහොමඩ් ශිරාස් අතරේ ද කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඇෆ්ගනිස්තානයෙන් ලද ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු යුගලය වූ නිශාන් මදුශ්ක ලකුණු 14ක් සහ ලහිරු උදාර ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ අංක තුන පිතිකරු වූ කමිල් මිශාරගේ පිත්තෙන් ඉනිමට නොදැවුණු ලකුණු 45ක් එක් වුනා.

Duckworth-Lewis න්‍යාය අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 30ක් තුළ ලකුණු 101ක ඉලක්කයක් හිමි වී තිබූ අතර, ඔවුන් පන්දුවාර 15 පන්දු දෙකක් තුළ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය හඹා යාමට සමත් වුනා.

  • ඇෆ්ගනිස්තානය – 121/10 (27.2) Qais Ahmad 46, Farmanullah 37, මොහොමඩ් ශිරාස් 2/17, සහන් ආරච්ච්ගේ 2/23
  • ශ්‍රී ලංකාව – 104/2 (15.2) කමිල් මිශාර 45* ලහිරු උදාර 20, Qais Ahmad 1/22

මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණේ පසු වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා

තරගාවලියේ තෙවැනි තරගය මැයි මස 03 වැනි දා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<