නුවනිඳුගේ පිත්ත සහ සහන්ගේ පන්දුව ශ්‍රී ලංකා ජය තහවුරු කරයි!

Afghanistan A Tour of Sri Lanka 2024

68
Afghanistan A Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 08ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (28) සමත් වුනා. 

හම්බන්තොට දී අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය සතු වූ අතර, ඔවුන්ගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි. 

ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මදුශ්ක සහ ලහිරු උදාර ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා. 

මෙහි දී නිශාන් විසින් පන්දු 82ක් තුළ ලකුණු 72ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉනිමේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි කමිල් මිශාර පන්දු 56කින් ලකුණු 48ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ 31 වැනි පන්දුවාරය නිමා වන විට ඔවුන් දෙදෙනා ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඇෆ්ගනිස්තානය සමත් වූ අතර, මින් පසුව ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට රැගෙන යාමේ වගකීම නුවනිඳු ප්‍රනාන්දු වෙත පැවරුණා. 

මෙහි දී ඔහු විසින් සිය ඉනිමට තරමක් සෙමෙන් ආරම්භය ලබා ගත් නමුත්, පසුව වේගවත් අවසානයක් ලබා දීමට සමත් වුනේ පන්දු 67කින් ලකුණු 83ක් ලබා ගනිමිනුයි. මෙහි දී ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා. 

මීට අමතරව දුශාන් හේමන්ත විසින් ද ඉක්මන් ලකුණු 20ක් ඉනිමට එක් කළ අතර, මේ සමඟ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 304ක් ලබා ගැනීමට සමත් වුනා. 

මෙහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Bilal Sami කඩුලු 4ක් දවා ගනිද්දී, Mohammad Saleem කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගන් ආරම්භක පිතිකරු Riaz Hassan අගනා වටිනා ඉනිමක් දියත් කරමින් ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, අංක තුන පිතිකරු වූ Darwish Rasooliගේ පිත්තෙන් ලකුණු 75ක් වාර්තා වුනා. 

මොවුන් දෙදෙනා අතර තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 163ක සබඳතාවක් නිර්මාණය වුනා. කෙසේ වෙතත් චාමික කරුණාරත්න සහ සහන් ආරච්ච්ගේ විසින් ඔවුන් දෙදෙනා ව නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමෙන් පසු ඇෆ්ගන් ඉනිම යම් බිඳ වැටීමකට ලක් වුනා. 

මේ අනුව පන්දුවාර 48ක් නිමා වන විට ඇෆ්ගන් පිතිකරුවන් විසින් කඩුලු 7ක් දැවී ලකුණු 277ක් ලබා ගැනීමට සමත් වූ අතර, අවසානයේ ශ්‍රී ලංකාවට Duckworth-Lewis න්‍යාය අනුව ලකුණු 8ක ජයග්‍රහණයක් උරුම වුනා. 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක සහන් ආරච්ච්ගේ කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. 

  • ශ්‍රී ලංකා A – 305/8 (50) නුවනිඳු ප්‍රනාන්දු 83, නිශාන් මදුශ්ක 72, Bilal Sami 4/51, Mohammad Saleem 3/63 
  • ඇෆ්ගනිස්තාන A – 277/7 (48) Riaz Hassan 100, Riaz Hassan 75, සහන් ආරච්ච්ගේ 3/40, මොහොමඩ් ශිරාස් 1/29 

මෙම තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<