අමිත සංදීපගෙන් ස්වර්ණමය ශතකයක්

1st Battle of the Golden Blues

47

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පළමු වරට පැවැත්වෙන “ස්වර්ණ නීල සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ මංගල ශතකය වාර්තා කිරීමට සාන්ත අන්තෝනි විද්‍යාලයේ අමිත සංදීප සමත් වුනා.  

කොළඹ P. Sara Oval පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 236ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා.  

Battle of the Golden Blues, P. Sara Oval, 26 – 27 අප්‍රේල් 2024 

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ 

සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: රවිඳු ජයසංක (නායක), විශ්මිත නිරෝද, සසිඳු අවිශ්ක, ශෙහාර පින්ටෝ, චමෝද් සංදීප, අමිත සංදීප, දිනිත් චාමික (කඩුලු රකින්නා), විහඟ රශ්මිත, කවිඳු සේනාදි, මදුර බාෂිත, රිද්ම කොළඹගේ. 

 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: විශ්ව රාජපක්ෂ (නායක) දමීෂ ප්‍රනාන්දු, දසුන් පෙරේරා, හංස මිහිරංග (කඩුලු රකින්නා), ජනිත් ප්‍රනාන්දු, තරිඳු ඒශාන්, ඩොමිනික් ප්‍රනාන්දු, අමල් පෙරේරා, කවිත් ප්‍රනාන්දු, සුහද ප්‍රනාන්දු, ඩේමියන් ප්‍රසංසන. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයන්ගේ අදහස වූයේ පළමුවෙන් පන්දු යැවීමයි. එබැවින් ඔවුන් තමන් වෙත ලත් වාසිය ප්‍රතිවාදීන් සතු කළා.  

ඒ අනුව පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයීය ඉනිම තරමක් සසල කිරීමට ජෝසප් වාස් පන්දු යවන්නෝ සමත් වූවා. ඒ ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 77ක් තුළ දවා ගනිමිනුයි. නමුත් ඒ අතර ඔවුන්ට යම් තරමකින් හෝ හිසරදයක් වී තිබුණේ අංක 5 ස්ථානයෙන් පිටියට පිවිසි අමිත සංදීපයි.  

ඒ වෙද්දී ද ඔහු දිනිත් චාමික (19) හා එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් ගොඩ නගා තිබුණා.  

අනතුරු ව ඔහු 7 වැනි කඩුල්ලට විහඟ රශ්මිත හා එක් වෙමින් ලකුණු 124ක සබඳතාවක් ගොඩ නැගුවා. එහි දී විහඟ රශ්මිත පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.  

සාන්ත අන්තෝනි ඉනිම අවසන් වෙද්දී අමිත සංදීප පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 118ක් ලබා සිටියා. එය මෙම තරගත් සමගින් එක්වෙන මෙම තරග ඉතිහාසයේ මංගල ශතකයයි.  

කඩුලු දවා ගැනීමේ දී ඩොමිනික් ප්‍රනාන්දු ලකුණු 12කට කඩුලු 4ක් දවා ගනිමින් 9 දෙනෙක් එක් ව පන්දු යැවූ ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව තරිඳු ඒශාන් කඩුලු 3ක් ද සහ ඩේමියන් ප්‍රසංසන සහ ජනිත් ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා.  

එහි දී දමීෂ ප්‍රනාන්දු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද සහ දසුන් පෙරේරා පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 11ක් ද ලබා සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

සාන්ත අන්තෝනි විදයාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (74.5) අමිත සංදීප නොදැවී 118, දිනිත් චාමික 19, විහඟ රශ්මිත 38, තරිඳු ඒශාන් 3/27, ඩොමිනික් ප්‍රනාන්දු 4/12 

 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 41 (11.0) දමීෂ ප්‍රනාන්දු නොදැවී 27, දසුන් පෙරේරා නොදැවී 11 

මෙම තරගය හෙට (27) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<