පන්දු යවන්නන්ගෙන් වික්‍රමාන්විත මෙහෙයුමක්

19 th Battle of Blue and Gold

50

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර “සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර අනුස්මරණ කුසලානය” වෙනුවෙන් 19 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ම දෙපිලේ කඩුලු 25ක් බිඳ වැටීම විශේෂත්වයක් වූවා.

මහනුවර අස්ගිරිය ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සිය පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 87ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ලබා ගත්තේ ලකුණු 51ක් පමණයි.

දෙවැනි ඉනිමට පිටියට පිවිසි නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 112ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 148ක් ඉදිරියෙන් සිටිනවා.

Battle of Blue and Gold, අස්ගිරිය, 26 – 27 අප්‍රේල් 2024

  • කාසියේ වාසිය – වලල ඒ. රත්නායක විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහනුවර.

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: රුමේෂ් වීරසිංහ (නායක), ජනිඳු නන්දනතිස්ස, ඉෂාර ඒකනායක (කඩුලු රකින්නා), සදීප කෞෂාල්, විහඳු උපතිස්ස, උදිත් ඉඳුනිල්, මනුල පොල්කොටුව, හර්ෂණ විජේකෝන්, තෙනුජිත මයන්ත, දහම් නිර්මාල්, නිමේෂ ජලන.

 

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: විරාජ් සංජීව (නායක), තිමිර සඳමිණ, සහන් සිතුමිණ, දිනෙත් සත්සර, රවීෂ සංකිත්, ප්‍රවීන් හේමක, චන්දූප තේජාන්, මලිඳු පවන්, හේෂාන් විදූෂ (කඩුලු රකින්නා), චාමික ප්‍රභාෂ්වර, නිමන්ත බණ්ඩාර.

කාසියේ වාසිය දිනා ගත් වලල ඒ. රත්නායක නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ට තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 87ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ උදිත් ඉඳුනිල්. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.

ඔහුගේ එම ඉනිම නොවන්නට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිම මීටත් අන්ත තත්ත්වයකට වැටෙන්නට ඉඩ තිබුණා. උදිත් ඉඳුනිල් හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට වලල පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී සහන් සිතුමිණ සහ චාමික ප්‍රභාෂ්වර කඩුලු 3ක් බැගින් බිඳ හෙලූ අතර මලිඳු පවන් කඩුලු 2ක් ද සහ නිමන්ත බණ්ඩාර සහ විරාජ් සංජීව කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ඊට අන්ත තත්ත්වයකට පත් කිරීමට ප්‍රතිවාදී නුගවෙල පන්දු යවන්නෝ සමත් වූවා. ඔවුන්ගේ ඉනිම ලකුණු 55කට සීමා කිරීමට නුගවෙල පන්දු යවන්නෝ සමත් වූවා.

ඒ අතුරින් වඩාත් ආක්‍රමණකාරී පන්දු යවන්නා බවට පත් වූයේ දහම් නිර්මාල්. ඔහු ලකුණු 12කට කඩුලු 6ක් දවා ගන්නේ පන්දුවාර 12ක් පමණක් යවමිනුයි. එම පන්දුවාර අතුරින් 7ක් ම නිලකුණු පන්දුවාර ලෙසිනුයි සටහන් වූයේ.

ඊට අමතර ව ජනිඳු නන්දනතිස්ස සහ නිමේෂ ජලන කඩුලු 2ක් බැගින් බෙදා ගත්තා.

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් තිමිර සඳමිණ පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 15ක් ද සහ ප්‍රවීන් හේමක පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද ලබා ගත්තා.

අනෙක් කිසිඳු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට පිවිසීමට නුගවෙල පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

පළමු ඉනිමේ ලකුණු 36ක වාසිය ද අතැතිව නැවත පිටියට පිවිසි නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට අවසන් වන විට තම දෙවැනි ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 112ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ජනිඳු නන්දනතිස්ස පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටිනවා.

ඔහු සදීප කෞෂාල් (14) සමඟ 2 වැනි කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් ද සහ විහඟ උපතිස්ස එක්ව 3 වැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවක් ද ගොඩ නැගුවා. විහඳු උපතිස්ස පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී විරාජ් සංජීව ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත් අතර සහන් සිතුමිණට අනෙක් කඩුල්ල හිමි වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 (26.5) උදිත් ඉඳුනිල් 44, චාමික ප්‍රභාෂ්වර 3/23, මලිඳු පවන් 2/21, සහන් සිතුමිණ 3/16

 

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 51 (31.3) තිමිර සඳමිණ 15, නිමේෂ ජලන 2/14, දහම් නිර්මාල් 6/12, ජනිඳු නන්දනතිස්ස 2/06

 

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 112 (29.0) ජනිඳු නන්දනතිස්ස නොදැවී 57, විහඳු උපතිස්ස 18, විරාජ් සංජීව 4/44

මෙම තරගය හෙට (27) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<