පන්දු යවන්නියෝ පළමු තරගය මෙහෙයවයි

ICC Women's T20 World Cup Qualifier

129

පිතිකාරිනියන්ගෙන් ගිලිහුණ යෂ්ටිය රැකගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඊයේ (25) අබුඩාබි හි දී පැවැති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු තරගයෙන් තායිලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 67ක ජයග්‍රහණයක් කරා තම කණ්ඩායම රැගෙන ගියා. 

A කාණ්ඩයෙන් පිටියට එක් වූ මෙම කණ්ඩායම් දෙක අතුරින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලබා ගත් අතර ප්‍රතිවාදී තායිලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 55ක් පමණයි.

පළමු වැනි තරගය, A කාණ්ඩය (දිවා/රාත්‍රී), Tolerance Oval, අප්‍රේල් 25, 2024, ICC Women’s T20 World Cup Qualifier

o කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

o ක්‍රීඩාංගණය – Tolerance Oval, අබුඩාබි.

o තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – ඉනෝෂි ප්‍රියදර්ශනී.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හංසිමා කරුණාරත්න, කවීශා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී.

තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Nattaya Boochatham (නායිකාව), Natthakan Chantham, Nannapat Koncharoenkai (කඩුලු රකින්නිය), Naruemol Chaiwai, Chanida Sutthiruang, Phannita Maya, Suwanan Khiaoto, Suleeporn Laomi, Thipatcha Putthawong, Onnicha Kamchomphu, Sunida Chaturongrattana.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ වාසිය ලබා ගැනීමෙන් අනතුරු ව සුපුරුදු ලෙසින් ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්න සහ නායිකා, චමරි අතපත්තු විසිනුයි.

නමුත් ඔවුන් දෙදෙනාට පිටියේ එතරම් ම පෙළහරක් පාන්නට හැකි වෙන්නේ නැහැ. ඉනිමේ 5 වැනි පන්දු වාරයේ දී විශ්මි ගුණරත්න ලකුණු 13කට ද සහ 9 වැනි පන්දු වාරයේ දී චමරි අතපත්තු ලකුණු 16කට ද දැවී යනවා.

ඔවුන් දෙදෙනා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 45 රැදී තිබුණා. ඔවුන් දෙදෙනා එලෙස දැවී යද්දී හසිනි පෙරේරා එක් අන්තයක් ආරක්ෂා කරමින් පිතිකරණයේ යෙදීම කැපී පෙණුනා.

ඇය එම අන්තයේ සිටිය දී හංසිමා කරුණාරත්න ලකුණු 11කට ද සහ කවීශා දිල්හාරි ලකුණු 5කට ද දැවී ගියා. ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් හසිනි පෙරේරා තම ඉනිම හැර  යද්දී  පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර අවසන් වෙද්දී නිලක්ෂිකා සිල්වා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද සහ අනුශ්කා සංජීවනී පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට නොබිඳුණ ලකුණු සබඳතාව 44ක්. එය ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාවය ද වූවා.

කඩුලු දවා ගැනීමේ දී  පන්දු යවන්නියන් සිව් දෙනෙක් අතරේ කඩුලු 4ක් බෙදී යද්දී අනෙක් කඩුල්ල ලෙසින් චමරි අතපත්තුගේ දුවද්දී දැවී යෑම ද එක් වූවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තායිලන්ත ක්‍රීඩිකාවන් ලකුණු ලබා ගැනීමට වඩා උත්සාහ කළේ ඔවුන්ගේ කඩුලු ආරක්ෂා කර ගැනීමටයි. ඒ තරමට ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඔවුන්ට වැඩි පීඩනයක් ලබා දුන්නා. ඒ අනුව තායිලන්ත ඉනිමේ තවත් පන්දු 22ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ගියා.

කඩුලු ලබා ගැනීමේ දී ඉනිමේ 14 වැනි පන්දුවාරයේ දී පන්දුවක් ඇර පන්දුවක දී කඩුල්ලක් බැගින් දවා ගත් ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව උදේශිකා ප්‍රබෝධනී ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත් අතර චමරි අතපත්තු, අචිනි කුලසූරිය සහ කවිශා දිල්හාරි කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පීඩනය මැද Nannapat Koncharoenkai පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා. ඇයගේ එම ඉනිම තායිලන්ත පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ ඉලක්කම් 2ක ලකුණු සැපීරූ එක ම අවස්ථාව වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව – කඩුලු 5ක් දැවී 122 (20.0) හසිනි පෙරේරා 29, නිලක්ෂිකා සිල්වා නොදැවී 29, Chanida Sutthiruang 1/15

තායිලන්තය – සියලුම දෙනා දැවී 55 (16.2) Nannapat Koncharoenkai 18, උදේශිකා ප්‍රබෝධනී 2/10, ඉනෝෂි ප්‍රියදර්ශනී 3/14

ශ්‍රී ලංකාවට ලකුණු 67ක ජයක්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියේ දී සහභාගී වෙන 2 වැනි තරගය මේ මස 27 වැනිදා ස්කොට්ලන්තය සමඟින් Abu Dhabi හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<