Wednesday 24 April 2024

 ගසක කොස් ගෙඩි, බුරුතු පිටින් කඩා වැටීමඇස්වහ කටවහ දෝෂයක්ද? අහඹු සිදුවීමක්ද

මා ගම් ප්‍රදේශයෙන් පිට ආයතනයක  සේවය කරද්දී  (1960 ගණන් වල අග දී) රාජකාරි ස්ථානය කිට්ටුව පදිංචිවී සිටි, අපට දුර නෑකමක් ඇති වෙද මහත්මයෙකුගේ නිවසෙහි නවාතැන් ගත්තෙමි. නගරයේ පිහිටි ඔහුගේ බෙහෙත් ශාලාවේ, වෙදකම් කළ ඔහුසමහර දිනවල සවස් කාලය ගෙදරම ගත කරයි. පාරම්පරික වෛද්‍යවරයෙක් වූ ඔහු, හොඳින් ඉඩකඩ තිබුණු තම ගෙවත්තේ නොයෙකුත් ඖෂධ වර්ග වගා කළේය. ඒ පැරණි ගෙවත්තේ කොස්, දෙල්, අඹ, පොල් වැනි ගස්ද එමට විය.  දුර නෑ කම නිසා ඔහු මට මල්ලි කියා ඇමතුවේය. මා හට ඔහු, වෙද අයියා විය.  

සවස්කාලයේ ගෙදර සිටින විට ඔහු බොහෝවිට, මා සමග විවිධ රෝග නිවාරණය  සඳහා ඖෂධ ශාකවල ඇති ගුණ, වට්ටෝරු ආශ්‍රිතව බෙහෙත් වර්ග සකස් කරන ආකාරය ආදී ශාස්ත්‍රීය දේවල් සහ වෙනත්   පැරණි රසවත් තොරතුරු කියමින් විනෝද වීම සිරිතක් කර ගත්තේය. 

සමහර දින වල වෙද පොත් වල තිබෙන ඔහු කට පාඩම් කර ඇති ශ්ලෝක, මන්ත්‍ර, ආදියද කියා, ඒවායේ විස්තර සහ බලගතු කම්ද  මට පැවසීය. ඔහුට  ඖෂධ පැලෑටිවල උද්භිද විද්‍යාත්මක නම් සහ භාවිත කරන සමහර ද්‍රව්‍ය වල රසායනික නම් සොයා දීමටද  මම පුරුදුව සිටියෙමි. 

එක් සෙනසුරාදා දිනක දහවල් අප දෙදෙනා  කතාකරමින් සිටින විට වයස්ගත  කාන්තාවක් ගෙදරට පැමිණියාය. ඈ ගෙට ගොඩ වන ගමන්ම 

අන්න හොඳයි..... අද වෙද පුතා ගෙදරම ඉන්නවාකියමින්  ගෙතුළට ගියාය.  

ඇය වෙද මහතාගේ බිරිඳට  නෑ කමට නැන්දා වන කෙනෙක් බවත් ඇය  සොපි හාමි බවත් වෙද අයියා මා සමග කිවේය.

ඔය නැන්දා මාස තුන හතරකට පාරක් මෙහේ එනවා. එන හැම වතාකදීම අසනීප දෙක තුනකට මගෙන් කෂාය ලියාගෙන යනවා. ඒ උනාට කවදාවත් අසනීප හොඳ වෙන පාටක් නම් නැහැ.

මල්ලි අහලත් ඇති, ඔය උන්දෑ ඇස්වහ කටවහ ඇති කෙනෙක් හැටියට ඇයගේ ගම් පළාතේ හරි ප්‍රසිද්ධයි.

වෙද හාමිනේ සමග ටික වෙලාවක් කතාකරමින් සිටි ඇය ආලින්දයට පැමිණ ආ ගිය තොරතුරු කියා, රක්ත වාතයට කෂායක් ලියා ගැනීම අවශ්‍ය බව කීවාය.

වෙද මහතා ඇයගේ නාඩි අල්ලා බලා, ඇස් සහ දිවද පරික්ෂා කර  කෂාය වට්ටෝරුවක් ලියාදී.

නැන්දා කෑම ටිකක් කාලම යන්න’  කී විට

ඔව්... වෙද පුතා, මේවා පිට ගෙවල්ද? මට ඕන නම් දවසක් දෙකක් උනත් නතර වෙන්න බැරියැ. ඒ උනත් අපේ ලේළිට බබා හම්බු වෙන්න කිට්ටු නිසා මම ගෙදර ඉන්න එපායැ. මම තව ටිකකින් ආපහු යනවා. ඊට කලියෙන් වත්ත පිටියත් ටිකක් බලන්නට ඕනෑකියමින්  මිදුලට බැස්සාය.

වෙද මහතාගේ මුහුණ නරක්‌ වී අමුතු ස්වරුපයක් ගත්තේය.

අන්න සොපි නැන්දා වත්ත පහලට යනවා ටිකක් බලන්න.කියා තම බිරිඳ ඇමතු වෙද මහතා 

අද නම් මොකක් හරි පාඩුවක් වෙනවා.යයි සැක පහල කරමින් මා දෙස බලා ආලින්දයෙන් මිදුලට බැස වත්ත පහලට එබිකම් කර  බැලුවේය.

 


එදා කොස් ගසේ ගෙඩි තිබුනේ මේ ලෙසට බව මතකයට නැගේ

විනාසයි... විනාසයි... අන්න... සොපි උන්දෑ, ඉනට අත් දෙකත් ගහගෙන කොස් ගහ දිහා බලාගෙන  ඉන්නවා.කිවේය.

එබී බැලු මටද එම දර් ශනය හොඳ හැටි පෙනුනි.

ආපසු ආලින්දයට පැමිණ පුටුවේ වාඩි වූ වෙද අය්යා කිසිවක් කතා නොකර කල්පනා කරන්නට විය.

ටික වෙලාවකින් සොපි නැන්දා ආපසු ආලින්දයට ගොඩ වදිමින් 

මේ පාර නම් මල් කොටුවේ කොස් ගහේ හොඳට ගෙඩි හැදිලා. නේද වෙද පුතේ?’ කීවාය. 

එසේ ඇසීමෙන්  තරමක් කේන්ති ගිය බවක් පෙන්වූ වෙද මහතා, ‘ඔව්, පසුගිය අවුරුදු හතර පහේම ගෙඩි හැදුනේ නැහැ. මේ පාර ගෙඩි තුන හතරක් තියෙනවායයි කියා හොඳින් උගුරපාදා, කාරා.තූඃගා   මිදුලට කෙළ ගැසිය.

එය නොදුටු බව පෙන්වූ නැන්දාගෙඩි තුන හතරක් නෙවෙයි. අර පහළ බුරුත්තේ විතරක් ගෙඩි හතරක්ම  තියෙන්නේ. ඒකට දැන්ම කරුවක් තිබ්බා නම් හොඳයි. බුරුත්ත බර වැඩියිකියමින් ගෙතුළට ගියාය.

එදින ඇඳිරි වැටී ගෙන වෙලාවේ වෙද මහතා, මෙතෙක් කල් මට දකින්නට නොලැබුණු යමක්‌ කරන්නට සුදානම් වනු දුටු මම, එදෙසට ගියෙමි.

ආ මල්ලිත් ආ එක හොඳයි. අර සොපි උන්දැගේ කට හරිම වසයි. ගහේ කොස් ගෙඩි කුණුවෙලා යයිද දන්නෙත් නැහැ. මේ ඒකට පොඩි ගුරු කමක් කරලා ඇස් වහ දිය ටිකක් මතුරන්නයි හදන්නේ.කියමින් මා දෙස බලා ගත් වනම සිටියේය.

එම බැල්ම නිසාම, එතැන සිටීම නොගැලපේයයි සිතු මම මඳක් ඉවතට ගියෙමි.

වෙද මහතා බාල්දියකට ලිඳෙන් වතුර ගෙන, සුදු රෙදි කඩක්‌ පෙරහනක් ලෙස පාවිච්චි කර, කුඩා නැවුම් මුට්ටියකින් භාගයක් පමණ වතුර පෙරා ගත්තේය. එයට කුඩා දෙහි අතු කැබෙල්ලක් දමා, කොස් ගස අසල තිබුණු ගල් පඩියක් මත වාඩිවී පැය භාගයක්‌ පමණ වෙලා හෙමිහිටමන්තරකිහිපයක් ජප කර, මුට්ටියේ ඇති ජලය දෙහි කොළ ඉත්තෙන් ගස වටේ ඉස, අත දිග මානයේ තිබුණු ගෙඩි වලටත් ඉස්සේය. 

ආපසු ආලින්දයට පැමිණි වෙද මහතාඇස් වහ කට වහ නැතිවෙන්නට පොඩි ගුරු කමක් කළාකියමින් තමන් ඒ වැඩ වලටත් හපනෙක් බව මට පෙන්විය. 

පසුදින සවස මා කාමරයේ සිටින විට වත්ත පිටුපසදඩා...ස්යන හඬින් යමක් වැටෙන ශබ්දය ඇසී ඉක්මණින් ඒ පැත්තට ගියෙමි.

මට, මගේ ඇස් අදහා ගැනීමට නොහැකි විය.දඩා...ස්හඬින් බිමට  වැටී ඇත්තේ කොස් ගෙඩි හයක්‌ සහිත කොස් බුරුතු දෙකකි. ගෙඩි එකිනෙකින් වෙන නොවී බුරුතු පිටින්ම ගස යට තිබුණි. 

මා එහි සිටින විට වෙද හමිනේද එතැනට පැමිණියාය. එදින වෙද මහතා  ලෙඩෙක් බැලීම සඳහා පිටතට ගොස් ඇති බව ඇය කීවාය.

සොපි උන්දැගේ අවලං කටට හොඳක් වෙන්නේ නැහැ.... ඊයේ ගෑනිගේ නපුරු ඇස් දෙකෙන් කොස් ගෙඩි දිහා බලලා, කට මැත දොඩන කොටම මම හිතා ගත්තා හොඳටම ඇස්වහ කටවහ වදින්නට ඇතිය කියලා. අපරාදේ යන්තම්වත් පැහිලා නැති නාඹර කොස්. කොස් වලටත් නැහැ. ගැට පොලොස් වලටත් නැහැ.’ 

ඊයේ වෙද අයියා, ඇස්වහ කටවහ මග හරවන්නට ගුරු කමකුත් කළා නේද? මම ඇසීමි.

අනේ එයාහේ ගුරුකම්....? දහයක්‌ කළොත් එකක් හරියයි.... ගුරු කම කොහොම වෙතත් ඔය කොස් ගෙඩි ටික ගහ යට තියෙන්නේ.කියමින් ඇය ගස්සාගෙන ගෙතුළට ගියාය.

තරමක් සවස් වී ගෙදර ආ වෙද අයියා සිද්ධිය දැනගත් ගමන්ම සොපි නැන්දාට පරිභව කරමින් කොස් ගස යටට ගොස් කම්මුලට අත තබාගෙන

මම හිතුවා හරි. ඇස්වහ කටවහ වැදුනට පස්සේ ගුරුකම් හරියන්නේ නැහැ. උන්දෑ මෙහේ එන්නට කලින් ඔය වැඩේ කළා නම් කොස් ගෙඩි ටික බේරා ගන්නට තිබුණා.කියමින් තවත් පුරසාරමක් දෙඩුවේය.

සිදුවී ඇති දෙය හොඳින් පරික්ෂා කිරිමේදී මට දකින්නට ලැබුණේ, ගසෙහි තරමක් ඉහළින් තිබුණු, විශාල කොස් ගෙඩි දෙකක් සහිත බුරුත්තක්, බර වැඩි කම වැනි, යම්කිසි හේතුවක් නිසා, නටුව කඳෙන් ගැලවී පහල තිබුණු ගෙඩි හතරක් සහිත බුරුත්ත මත වැටී, එයත් ගැලවී ගොස්, බුරුතු දෙකම බිමට පතිත වී ඇති බවයි.

කෙසේ වෙතත් එම කොස් වාරයේදී තවත් අවස්ථා දෙක තුනකදීම බුරුතු පිටින් කොස් නටුවෙන් ගැලවී බිමට වැටුණු බවද, මම දුටුවෙමි.   ‌

ඇස්වහ කටවහදෝෂයත් එය මගහරවා ගැනීම සඳහා කරනු ලබන  ‘වතුර මැතිරීමනම්ගුරු කමත් දශක කිහිපයකට පෙර  අප සමාජයේ බෙහෙවින් දකින්නට ලැබුණි.  බොහෝ විට පාරම්පරික වෙද මහත්වරු, වෙදකම, ජ්‍යෝතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වස් කවි සෙත්කවි සෑදීම වැනි සියලු දේ කිරීමේ හපනුන් ලෙස සිටි කාලයක්ද තිබිණ. තවමත් ගම්බද ප්‍රදේශ වල මෙවැනි අය ජීවත් වනවා ඇත. මොහොතක් කල්පනා කර බැලූ විට ස්වාභාවිකව සිදුවිය හැකියයි උපකල්පනය කළහැකි  මෙවැනි දේවල් සමගඇස්වහ කටවහසම්බන්ධ කර ගැනීම මුලාවක් යයි සිතේ.  

සමහරවිට මෙවැනි සිද්ධි  ‘සහසම්බන්ධ සිදුවිම්’ (coincidences) ලෙසද නිගමනය කළ හැකි නොවේද?        

5 comments:

  1. මා පසුගිය දිනවල අසනීප වූ අවස්ථාවේ ගත් වෛද්‍ය වාර්තා කිහිපයක්ම සාමාන්‍ය තත්ත්වයෙන් තිබීම නිසා බියට පත් වූ ගෙදර උදවිය සෙත් ශාන්තියක් ද කර අමනුශ්‍ය දෝෂ දුරුකරා. අඩු ගනනේ ගෙදර අයගෙවත් හිතට සහනයක් දැනෙන් නැතෑ කියලා මාත් නිහඬ උනා. ලෙඩේ නම් තවම හොඳටම හොඳ නෑ.

    ReplyDelete
  2. හෙහ්, හෙහ් නියමයි. හරිම රසවත් ලිපියක්. හැම ගමකම ඔහොම වරිත ඉන්නවා.
    "...මම තව ටිකකින් ආපහු යනවා. ඊට කලියෙන් වත්ත පිටියත් ටිකක් බලන්නට ඕනෑ’.."
    මෙන්න මේක තමා ඒ අයගෙ විශේෂත්වය. අනුන්ගේ සාර සබාවට හැදිච්ච දේ ගැන ඇති අධික උනන්දුව. සමහර විට, මතුර, මතුර ඉන්නෙ නැතුව උන්දෑ කිව්ව විදිහට බුරුත්තට කරුවක් තිබ්බා නං ගෙඩි ටි ක බේරගන්නත් තිබුනා. ඒත් අනෙක් රටවල පවා ඇස්වහට සමානුපාතික "evil eye" නම් සංකල්පයක් තියනවා නේද?

    ReplyDelete
  3. එම සිදු වීම සහකම්පන සිදු වීමක්ද විය හැකියි කියල ඔබ කිව්වාට ස්තීරවම එය සහකම්පන සිදු වීමක් මිස වෙන කිසිවක්ම නොවේ කියලයි මම නම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මට සමා වන්න.මගේ කොමෙන්ටුවේ සහකම්පන සිදුවීමක් යන්න ප්‍රමාද දෝශයකින් වූ වැරදීමක්.මට කියන්නට උවමනා කලේ එය සහසම්බන්ද සිදු වීමක් බවයි.

      Delete
  4. පොඩි කතා වස්තු බීජයක් උනත් දයාරත්න මහත්තයා ලස්සනට ලියලා තියෙනවා. ලියලා තියෙනව බාසාව, ගලාගෙන යන ස්වරූපය ඉතා හොදයි.

    සොපි නෝනා කිව්වා වගේ කොස්වල්ලට කරුවක් තිබ්බා නම් ඔය ටික වෙන්නෙ නෑ නේද කියලා හිතුනා. උන්දෑ හොදක් කියලා තියෙන්නෙ.

    ප්‍රශ්ණෙ තියෙන්නේ සොපි නෝනා ගිහිල්ලා කට ගන්න උනේ නෑ පහුවදාම වැඩේ සිද්ධ වෙච්චි එකයි

    ReplyDelete