T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි

ICC Men's T20 World Cup 2024

114

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් තෝරා ගෙන ඇති බව Daily FT විසින් වාර්තා කරනවා.

මෙම මූලික සංචිතය සඳහා ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ඇතුළත් කර ඇති අතර, ඒ අනුව මාස 15කට ආසන්න කාලයකට පසුවයි ඔහුට නැවතත් මෙසේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාවක් නිර්මාණය වී තිබෙන්නේ.

එමෙන්ම අවසන් වරට 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළ කඩුලු රකින පිතිකරු නිරෝශන් දික්වැල්ල ද මෙම සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම නම් කර ඇති සංචිතයේ සිටින නමුත් දැනට IPL තරගාවලිය නියෝජනය කරන නුවන් තුශාර, දුශ්මන්ත චමීර, විජයකාන්ත් වියස්කාන්ත්, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ශණ යන ක්‍රීඩකයින් පස් දෙනා හැරුණු කොට අනෙක් ක්‍රීඩකයින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එළඹෙන ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකාවට තවත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග නොමැති හෙයින් මැයි මස 02දා සිට අන්තර් සංචිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තේරීම් කමිටුව විසින් සැලසුම් කර ඇති බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා මූලික සංචිතය මෙසේයි:

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් පෙරේරා, නිරෝශන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්‍රි වැන්ඩසේ, විජයකාන්ත් වියස්කාන්ත්, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, මතීෂ පතිරණ, නුවන් තුශාර, ප්‍රමෝද් මදුශාන්, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<