චමරි ලොව අංක එකට පැමිණෙයි!

ICC Rankings

124

දකුණු අප්‍රිකාවට එරෙහිව දියත් කළ ඓතිහාසික ඉනිමත් සමඟින් කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිතිකාරිණියන් අතර අංක එකට පත් වීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා. 

පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු තෙවැනි එක්දින තරගයේ දී චමරි විසින් මෙතෙක් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ තෙවැනි හොඳම එක්දින ඉනිම දියත් කරමින් ලකුණු 195ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟින් ම ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවෙන් ලද ලකුණු 301ක ඉලක්කය ද හඹා යෑමට සමත් වුනේ කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300 ඉක්මවා හඹා යෑමක් සිදු කළ ලොව පළමු රට බවට පත් වෙමිනුයි. 

ඒත් සමඟින් ම ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ද 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් කිරීමට සමත් වුනා. 

මෙම ජයග්‍රාහී ඉනිමත් සමඟින් චමරි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලකුණු 773ක් ලබා ගැනීමට සමත් වෙමින් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. එමෙන්ම මෙම ලකුණු ප්‍රමාණය මෙතෙක් ඇය විසින් ලබා ගත් ඉහළම ශ්‍රේණිගත කිරීම් ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වුනා. 

මීට අමතරව චමරි මෙම තරගයේ දී එක් කඩුල්ලක් දවා ගනිමින් පන්දුවෙන් ද දස්කම් දැක්වූ අතර, මේත් සමඟම ඇය එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතරේ 09 වැනි ස්ථානයට ද පැමිණීමට සමත් වී තිබීම විශේෂත්වයක්. 

මෙම තරගාවලියේ දී ම ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ශතක දෙකක් වාර්තා කළ Laura Wolvaardt පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානයට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකා කවීෂා දිල්හාරි ද එක්දින පන්දු යවන්නියන් අතර ස්ථාන හතක් ඉදිරියට පැමිණෙමින් 48 වැනි ස්ථානයට පත් වී තිබෙනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<