Novak සහ Bonmatí 2023 වසර වෙනුවෙන් Laureus සම්මාන ලබයි!

2024 Laureus Sport Awards

82
2024 Laureus Sport Awards

2024 Laureus සම්මාන උළෙල ඊයේ (22) රාත්‍රියේ ස්පාඤ්ඤයේ Madrid හිදි පැවැත්වුනා. 

මෙම සම්මාන උළෙල සඳහා හිටපු සුපිරි පාපන්දු තරු වන Roberto Carlos, Cafu, Raul සහ Patrice Evra වැනි ක්‍රීඩකයින් ද ඔලිම්පික් තරු වන NadiaComaneci, Michael Johnson, Usain Bolt සහ සුපිරි රග්බි ක්‍රීඩක Brian Habana ද සහභාගී වුනා. 

සම්මාන උළෙලේ දී 2023 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සර්බියානු ටෙනිස් ක්‍රීඩක Novak Djokovic සම්මාන දිනා ගැනීමට සමත් වුනා. 

ගෙවුණු වසරේ පැවැත්වුණු ප්‍රධානතම ටෙනිස් තරගාවලි හතරෙන් තුනක් ම ජයග්‍රහණය කිරීමට සමත් වූ Novak, Carlos Alvarez හමුවේ Wimbolden තරගාවලියේ අවසන් මහා තරගය පමණයි පරාජය වුනේ. 

මනාප 69ක් ලබා ගනිමින් මෙවර වසරේ ක්‍රීඩකයා බවට පත් වූ Novak එසේ Laureus සම්මානය ලබා ගත් පස් වැනි අවස්ථාව ලෙස ද මෙය සටහන් වීම විශේෂත්වයක්. 

මේ අතර ගෙවුණු වසරේ දී Barcelona පාපන්දු කණ්ඩායම සමඟ Champions League තරගාවලිය මෙන්ම, ස්පාඤ්ඤය සමඟ කාන්තා පාපන්දු ලෝක කුසලානය ද ජයග්‍රහණය කිරීමට සමත් වූ Aitana Bonmatí 2023 වසරේ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා. මීට පෙර ඇය විසින් එම වසර සඳහා Ballon d’Or සම්මානය ද ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්. 

එමෙන්ම Laureus වසරේ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත් ලොව පළමු පාපන්දු ක්‍රීඩිකාව ලෙස ද Bonmatí මෙහි දී ඉතිහාසගත වුනා. 

එමෙන්ම වත්මන් කාන්තා පාපන්දු ලෝක ශූර ස්පාඤ්ඤ කණ්ඩායම වසරේ කණ්ඩායම ලෙසින් ද මෙහි දී සම්මාන දිනා ගත්තේ Bonmatí නැවත වරක් සම්මාන ලාබිනියක් බවට පත් කරවමිනුයි. 

මේ අතර Laureus World Breakthrough of the Year සම්මානය Real Madrid පාපන්දු කණ්ඩායමේ Jude Bellingham හට හිමි වුනේ ඔහු ගෙවුණු වසරේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි. 

ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා Simone Biles වසර දෙකක ඇවෑමෙන් නැවතත් ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණ වෙමින් 2023 ලෝක රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලියේ දී ජයග්‍රහණ හතරක් ලබා ගැනීමට සමත් වීම වෙනුවෙන් ඇයට, 2023 වසරේ විශිෂ්ටතම නැවත පැමිණීමට හිමි Laureus World Comeback of the Year සම්මානය හිමි වුනා. 

මේ අතර තවමත් 14 වැනි වියේ පසු වන ඕස්ට්‍රේලියානු Skateboard ක්‍රීඩිකා Arisa Trew විසින් Action World Sportsperson of the Year සම්මානයෙන් පිදුම් ලැබුවා. 

එමෙන්ම නෙදර්ලන්ත රෝද පුටු ටෙනිස් ක්‍රීඩිකා Diede de Groot වසරේ ආබාධිත ක්‍රීඩක සම්මානයෙන් පිදුම් ලැබූ අතර, Laureus Sport for Good සම්මානය ස්පාඤ්ඤයේ සහ ඉන්දියාවේ වෙසෙන ආර්ථික අපහසුතා ඇති තරුණ තරුණියන් දහසකට අධික ප්‍රජාවක් වෙනුවෙන් සුබ සෙත සලසන Fundacio Rafa Nadal වෙත පිරිනැමුණු අතර, එම වැඩසටහනේ අනුශාසක ලෙස කටයුතු කරන ශ්‍රේෂ්ඨ ටෙනිස් ක්‍රීඩක Rafael Nadal මෙම සම්මානය පිළිගැනීම වෙනුවෙන් Madrid වෙත පැමිණ සිටියා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රීඩා බිමේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<< තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න >>