Tuesday, April 23, 2024

හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය

ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය හැරයාම එයට එක් විසඳුමක් ලෙස දැනෙනවා ද? බොහෝ දෙනෙකුට එවැනි සිතුවිළි පහල නොවන බව සැබෑ ය. එහෙත් අප  සමාජයේ එවන් නිෂේධාත්මක සිතුවිළිවල ගොදුරු බවට පත්වන සෑහෙන පිරිසක් සිටින බව නොරහසකි. එසේ සිතූ එක් තරුණයෙකුගේ ඉරණම ගැන කියන්නටයි මේ සූදානම. 

   

තරුණයෙක් ජනාකීර්ණ නගරයක ගංගාවක් මතින් ඉදිකර ඇති විශාල පාලමක් මතට වී දූරකතන ඇමතුමකට සවන් යොමාගෙන සිටී. දූරකතනයේ අනෙක් කෙළවර සිටින්නා ඉතාමත් ආචාරශීලීව වෘත්තීය කාරුණිකත්වය ප්‍රදර්ශනය කරමින් තරුණයාට මතක් කර දෙන්නේ ඔහු විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණයයි. එයට සාවධානව සවන්දෙන තරුණයා දූරකතනය සාක්කුවේ  දමා ගනියි. මීලඟට අපට පෙනෙන්නේ තරුණයා සිටගෙන සිටින්නේ පාලමේ ඇන්දට පිටින් ඇති පටු වේදිකාවක් මත බවයි. ඔහුට පිටුපසින් පාලමේ අනෙක් පස සිටින අපට පාලම මතින් ගමන් කරන වාහන අතරින් වරින් වර අවදානම් ලෙස සිටින තරුණයා දිස් වෙයි. එක්වරම වාහනයක් නිසා නොපෙනී යන තරුණයා නැවත අපට දකින්නට ලැබෙන්නේ නැත. එවන් අයෙකු පාලම මත නොසිටි ලෙසින් වේගයෙන් වාහන ධාවනය වන පාලම පමණක් අපට දක්නට ලැබෙයි. තරුණයා එතැන සිටි බව දන්නා අපට මිස වෙනත් කිසිදු අයෙකුට ඔහු එතැන නැති අඩුව නොදැනේ. සිදුවූයේ දිවි තොර තරගැනීම සඳහා ඔහු ගඟට පැනීමයි. 

මේ වන විට ඔබ නිවැරදිව අනුමාන කරන්නට ඇති පරිිදි මේ ච්ත්‍රපටයක ආරම්භක දර්ශනයයි. චිත්‍රපටය 2009 වසරේ එළි දැක්වුනු Castaway on the Moon නම් කොරියන් චිත්‍රපටයයි. අධ්‍යක්ෂක වරයා Lee Hae-jun ය. IMDB සිනමා දර්ශකයේ 8.0 තරම් ඉහල අගයක් මෙයට හිමි වී ඇත. සියදිවි හානිකර ගැනීමේ දර්ශණයකින් ඇරඹුන ද මෙය කිසිසේත්ම ජීවිතය පිළිබඳ අඳුරු චිත්‍රයක් මවන සිනමා නිර්මාණයක් නොවේ. එය ප්‍රේක්ෂකයාගේ මුවට මද සිනාවක් කැන්දන, බලාපොරොත්තු වලින් සිත පුරවන අන්දමේ සිනමා සිත්තමකි. 

මේ වන විට ඔහු රැකියාව පමණක් නොව පෙම්වතිය ද අහිමිව ණය බරින් පීඩිතව සිටි බව අපි දනිමු. අප නැවත ඔහු දකින්නේ ගංගාවේ ඇති කුඩා දූපතකට ගොඩගසා සිටින දර්ශණයකිනි. ඔහුගේ ප්‍රථම ප්‍රතික්‍රියාව වන්නේ ගංගාවෙහි ගමන්ගන්නා මගී යාත්‍රාවක අවධානය දිනාගෙන නැවත ගොඩබිමට සේන්දු වීමයි. එය ද අසාර්ථක වූ තැන ඔහු දෙවැනි වතාවටත් ගසක එල්ලී සිය දිවි හානි කරගැනීමට තැත් කළත් නැවතත් ජීවිතය ඔහුගේ සිරුර හැරයාම ප්‍රතික්ෂේප කලෙන් අඩු වශයෙන් සිය දිවි හානි කරගැනීමවත් හරියට කරගත නොහැති දුබලයෙකු ලෙම තමාටම දොස් පවරාගන්නා ඔහු දූපතේම හුදෙකලා දිවියක් ගෙවිමට සිත හදා ගනියි. ගංගාව ඉවුරේ ඔහු HELP යනුවෙන් ලොකු අකුරින් ඇඳි වචනය HELLO ලෙස වෙනස් කරයි. මෙතැන් සිට ප්‍රේක්ෂකයාට තිරය මත දිස්වන්නේ තවත් රොබින්සන් කෘෘසෝ කෙනෙතු මෙන් ස්ව උත්සාහයෙන් හා නිර්මාණාත්මක හැකියාවෙන් දිවි රැක ගැනීමට ගන්නා උත්සාහයයි. එහෙත් එක් වෙනසක් වෙයි. කෘෘසෝ මෙන් හුදෙකලාව ගෙවන දිවියක් ඔහුට නොලැබේ. දූපත තිබෙන්නේ පාලම අසලම ය. එහි  සිට බලන විට පාලම සේම ඊට පසුබිම්ව අහස්කුස සිපගන්නා දැවැන්ත ගොඩනැගිලි ද දැකගත හැකි ය. 

කිසිවකුගේත් අවධානයට ලක් නොවී, ඇස නොගැටී හුදෙකලා දිවියක් ගෙවන්නේ යයි ඔහු සිතා සිටියත් එය ද නිවැරදි නොවේ. ඔහු වැනිම වෙනත් ආකාරයක දූපතක හුදෙකලා වූවෙකුගේ නිරීක්ෂණයට ඔහු ලක් වෙයි. ඒ ගංගාව අසලම අහසට විහිදුන නිවාස සංකීර්ණයක කාමරයක කොටුව හුදෙකලාව දිවි ගෙවන තරුණියකි. තම ජීවිතය නිශ්චිත කාලසටහනකට අනුව ගත කරන ඇය වසර ගණනාවකින් කාමරයෙන් බැහැර නොවූ අයෙකි. සඳ ඡායාරූපගත කිරීම සඳහා ද ඇය නිශ්චිත කාලයක් වෙන්කර ඇත. ඇයගේ නිරීක්ෂණයට දූපත් වැසියා අසුවන්නේ ඒ අවස්ථාවේ ඇයගේ කැමරාවේ කාචය හරහා ය. ඇය සිතන්නේ දූපත් වැසියා වෙනත් ග්‍රහ ලෝකයකින් මෙහි පැමිණි පිටසක්වල ජීවියෙකු ලෙස ය. ඔහු හා සබඳතා ගොඩනගා ගැනීමට ඇයට දැනෙන අවශ්‍යතාව ප්‍රථම වතාවට තම කාමරයෙන් බැහැර යාමට බල කරයි. ඇය ඒ සඳහා සූදානම් වන අයුරු හාස්‍යජනක ය. සම්පූර්ණ මුහුණ වැසෙන සේ හෙල්මටයක් හා ඝන කබායක් පැළඳ සිටින ඇය පෙනෙන්නේ ගගනගාමියෙකු ලෙස ය. ඇය ගඟට විසිකරන බෝතල් හා ඔහු එයට ප්‍රතිචාර ලෙස  වැල්ල මත ලියන අකුරු හරහා දෙදෙනා අතර සබඳතාවක් ගොඩනැගේ. 

එකිනෙකා නොදැක ගොඩනැගෙන මේ සුහදතාව ඔවුන්ට ද නොදැනීම ඔවුන් විසින් ආරූඬ කරගෙන ඇති හුදෙකලා ලෝක පුපුරුවා හරියි. ගඟෙහි පාවී විත් ගොඩගසන බ්ලැක් බීන් කුඩු පැකට්ටුවක් නිසා තරුණයාට නූඩ්ල්ස් හදාගෙන කෑමේ ආශාවක් පහල වෙයි. එහෙත් ඉරිඟු පිටි කෝ? පසුබට වන්නේ තරුණයා නොවේ. ඔහු කුරුල්ලන්ගේ වසුරු තම ක්‍රෙඩිට් කාඩ් පතෙන් සූරා ධාන්‍ය ඇට සොයාගෙන වගා කරයි. ඒවා යොදාගෙන ඉරිඟු ලබාගෙන පිටි කර නූඩ්ල්ස් හදයි. තරුණයා ගසක එල්ලා තබන බ්ලැක් බින් පැකට්ටුව කැමරාවට හසුකර ගන්නා තරුණිය කෑම සපයන ආයතනයකට ඇනවුමක් දී දූපතට බ්ලැක් බීන් නූඩ්ල්ස් ඇතුළත් ආහාර දූපත් වාසියා වෙත යවයි. ඔහු ද ඉන් කොටසක් නැවත තරුණිය වෙත යවයි. පළමු වතාවට ඇය තම නිශ්චිත ආහාර රටාව වෙනස් කොට එම ආහාර භුක්‍ති විඳියි. සාර්ථක වූ වගාව හා නූඩ්ල්ස් සෑදීමේ ව්‍යාපෘතිය තමන් තමා ගැනම ඇතිකරගෙන තිබූ අවතක්සේරුව වැරදි බව ඔහුට පසක් කරවයි. 

මේ චරිත දෙක තමන් වටා ගොඩනගා ගෙන ඇති හුදෙකලා තනිකමේ ලෝක සමාජයේ පීඩාකාරී රටාව වගකිය යුතු බවට ද කෙරෙන ඇඟවිම් ප්‍රේක්ෂකයාට දැනෙන්නට සැලැස්විමට අධ්‍යක්ෂවරයා උත්සාහ කර ඇති බව පෙනේ. ජනයාගෙන් පිරුන නගරයක කොතරම් පහසු ලෙස හුදෙකලා විය හැකිද? අතුරුදන් විය හැකිද? ඒ හුදෙකලා තනිවීමේ විපාක මොනවාද? මේ සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයාට පිළිතුරු සෙවිය හැකි ප්‍රශ්නයි. කුමන පිළිතුරු සැපයුව ද ප්‍රතික්ෂේප කළ නොහැකි එක් සත්‍යයක් වෙයි. මිනිසා නම් ජීවියාට තවත් අයගේ සමාජ ඇසුරක් අවධානයක් නොමැතිව පැවැත්මක් නොමැති බවයි. තරුණයා දූපතේ තනිව වාසය කිරීමට සිතුවද ගං ඉවුරේ ලියා තබන 'HELLO' යන වචනය සබඳතාවකට කෙරෙන ඇරයුමක් සංකේතවත් කරයි. හුදෙකලා තරුණියගේ ‘පිටසක්වල ජීවියා' යම් තර්ජනයකට මුහුණ පා ඇති බව දකින තරුණියට මෙතෙක් පැළඳි ආරක්ෂක ඇඳුම් ද අමතක වි ඇඳගෙන සිටින ඇඳුම පිටින්ම පිටතට දුව ඒම මේ කරුණ තව දුරටත්  සනාථ කරයි.  හුදෙකලා වූ මිනිසාට යන්තමින් හෝ සබඳතාවක, ඇසුරක ඉවක් දැනුන විය එය මහමෙරක් වන බව අධ්‍යක්ෂවරයා අපට පෙන්වයි. විවේකයකට නැවතුමකට ඉඩක් නැති සමාජයක එය ඛේදවාචකයක් දක්වා වැඩෙන සැටි මතුපිටින් පෙනෙන හාස්‍යය මුසු සිදුවීම් මාලාවට යටින් සියුම් හුයක් ලෙස දිවෙන ආකාරය අපූරු ය.

මේ දැක්වූයේ මේ සිනමා නිර්මාණය නැරඹූ මට එය දැනුන අයුරු ය. ඔබට එය  මීට වඩා වෙනස් හැඟීමක් ජනිත කරවීමට එය සමත් වුවහොත් එය ද පුදුමයට කරුණක් නොවේ. නරඹා ඔබම තීරණය  කරන්න.  You tube තුළින් හෝ torrent හරහා බාගත කරගැනීමෙන් හෝ පහසුවෙන් මේ නිර්මාණය නැරඹිය හැකි ය.  



* * *

    


     









 




 



2 comments:

  1. කොරියන් චිත්‍රපටි නම් බලලම නෑ වගේ, එත් මේ රෙකමදෝරුව හින්දම බලන්න කියලා හිතා ගත්තා.

    ReplyDelete
    Replies
    1. කොරියාවෙ උසස් සිනමා නිර්මාණ බිහි වෙනවා. රූපවාහිනී නාලිකාවල පෙන්වන විසූක දස්සනවලට වඩා වෙනස්.

      Delete

හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය

ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය ...