උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා පුරාවෘත්තය දිවි ගමන නිම කරයි

Paris Olympics 2024

72
Nagalingam Ethirveerasingam

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු ලෙස සැලකෙන නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා සිය දිවි ගමනට සමු දී තිබෙනවා. 

1934 අගෝස්තු මස 24 දින උපත ලැබූ එදිරිවීරසිංහම් මහතා පසුගිය 18 වැනි දා සිය දිවි ගමනට සමු දී ඇති අතර, මිය යන විට ඔහු වසර 90කට අසන්න කාලයක් ආයු වළඳා තිබුණා. 

ශ්‍රී ලංකාවට පළමු ආසියානු පදක්කම හිමි කර දීමේ ගෞරවය හිමි කර ගත් එතුමා, ඔලිම්පික් උළෙල දෙකක දී ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව උදා කර ගත්තා. 

1958 ටෝකියෝ ආසියානු ක්‍රීඩා උළෙලේ දී පිරිමි උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.03ක උසක් තරණය කරමින් නව ආසියානු වාර්තාවක් පිහිට වූ එදිරිවීරසිංහම් මහතා දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට ද හිමි කම් කීවා. 

1962 ජකර්තා ආසියානු ක්‍රීඩා උළෙලේ ද සිය ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වුනා. මීට අමතරව 1954 ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ඔහු උස පැනීමේ ඉසව්වෙන් පදක්කම් ලාභි තිදෙනා හා සම උසක් තරණය කිරීමට සමත් වුවත්, ඒ වෙනුවෙන් ඔහුට වැය වූ ප්‍රයත්න සංඛ්‍යාව අනුව ඔහුට එහි පදක්කමක් අහිමි වී ගියා. 

මීට අමතරව 1952 සහ 1956 ඔලිම්පික් උළෙල සඳහා ද සහභාගී වීමට වරම් ලද ඔහු, 1958 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වේ එකොළොස් වැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වුනා. 

මලල ක්‍රීඩාවට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවට ද විශේෂ හපන්කම් පෑ එතුමා, පසු කාලීන ව විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ලෙස ද කටයුතු කළ අතර, ලේඛකයකු ලෙස ග්‍රන්ථ කිහිපයක් ද රචනා කර තිබෙනවා. 

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රීඩා පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<