පහතින් තිබෙන්නේ කුමාරි ජයවර්ධන ගේ “සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතිය සම්බන්ධයෙන් අප සිදුකරමින් යන සාරාංශගත කිරීමේ තවත් පියවරකි. ලාංකිකයන් ලෙස අප අද සිටින්නේ අපේ රටේ ප්‍රභූ ආධිපත්‍යයට එරෙහිව තියුණුම දේශපාලන අභියෝගයක් එල්ල වී තිබෙන විශේෂ දේශපාලන සන්දර්භයකයි. මෙය අත්‍යවශ්‍ය දේශපාලන පරිවර්තනයක පළමු පියවර වනවා යන්න සම්බන්ධයෙන් සැකයක් නැත. නමුත් කිසි සේත්ම සරල පරිවර්තනයක් නොවේ. අප අභියෝග කරන්නේ සියවස් දෙකක පමණ ඉතිහාසයක් ඇති දැවැන්ත දේශපාලන පන්තියකටයි. එම නිසාම මෙහිදී අපේ රටේ ‘ප්‍රභූ තන්ත්‍රය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න විධිමත්ව වටහා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එහි ඉතිහාසය පිළිබඳව කුමාරි ජයවර්ධන ගේ මෙම සම්භාව්‍ය අධ්‍යයනය මෙහිලා සාරාංශ කරන්නේ මේ නිසාය. අද අපට මේ පිරිස විකාරයක් ලෙස පෙනෙන්නේ වුවත් ඔවුන් ගොඩ නැගුනු නිශ්චිත සහ සංකීර්ණ ඉතිහාසයක් තිබේ. අප මෙහිදී එරෙහි වන්නේ කුමකටද යන්නත් එය පරාජය කිරීමෙන් පසු අපට මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද යන්නත් වටහා ගැනීමට මෙම ඉතිහාස කතාව වැදගත් වනු ඇත. මීට පෙර පරිච්ඡේදවල ලිපි සඳහා: https://bavaweb.wordpress.com/category/nobodies-to-somebodies/

***

කුල භේදය හා පංති සැකැස්ම පිළිබඳ මෙරට ඉතිහාසය පිළිබඳ විග්‍රහයක් කිරීමට ඉඩක් තිබෙන්නේ ආසන්න වශයෙන් 17 වන සියවසෙන් පමණ පසුවයි (මෙහිදී අපි කුමාරි ජයවර්ධන ගේ “සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතියේ ආඛ්‍යානය අනුගමනය කරනා බවත් මෙවැනි දේ සම්බන්ධයෙන් පසුකාලීන වර්ධනයන් සලකා බලන්නේ නොමැති බවත් සිහිපත් කරමු). ඊට ප්‍රථම මෙරට රාජාණ්ඩු පැවති කාලය තුළ එවැනි කුල ක්‍රම පිළිබඳ දැනුම අතිශය දුරාබෝධ වේ. මෙම පරිච්ඡේදය මගින් මෙරට ධනවාදයේ නැගීමේ කේන්ද්‍රීය මොහොත තුළ කුල සහ පංති සැකැස්ම සකස් වන ආකාරය පිළිබඳ සංවාදයට ලක් කර ඇත.

බ්‍රිතාන්‍ය යුගයේ ආර්ථික අතින් ඉදිරියෙන් සිටි කොටස් දෙකක් හඳුනා ගත හැකිය. ඉන් එක් කොට්ටාසයක් වන්නේ අප මීට පෙර පරිච්ඡේදවල සාකච්ඡා කළ – රේන්දකරුවන් – මුලාදෑනිවරුන්, ගුරුවරුන්, පොලිස් භටයෝ සහ විදානේවරුය. ඔවුන්ට තම ප්‍රදේශ මූලික කරගෙන යම් බලයක්ද පැවතුණි. අනෙක් කණ්ඩායම, ශිල්පීන්, කොන්ත්‍රාත්කරුවන්, සුළු වෙළෙන්දන්, මත්පැන් පෙරන්නන්, නැව් අයිතිකරුවන් සහ බදුකරුවන් ගෙන් සමන්විත විය.

මේ ආකාරයට ධනය සමුච්චගත කරනා නානාප්‍රකාර විධි පැවතීම හේතුවෙන් එකිනෙකාට සුළු ලාභයක් ලැබුණද, නිශ්චිතව ධනපති පංතියක ආරම්භය සලකුණු වන්නේ 1830 න් පසුව වැවිල කර්මාන්තය වර්ධනය වීමත් සමගයි. මෙලෙස ස්ථාපිත වූ ධනපති පංතියෙහි පුද්ගලයන් යනු තනි තනිව වැඩ කළ ‘දුක දිනා ජයගත්’ මිනිසුන් නොවේ. ඔවුන් මහන්සි වී වැඩ කළ මිනිසුන් බව පැහැදිළි වුවත් මෙහිදී තීරණාත්මක වන්නේ, එක් අතකින්, ඔවුන්ගේ පවුල් පසුබිම සහ කුල සම්බන්ධතාත්, අනෙක් අතින්, යටත්විජිත ආණ්ඩුව විසින් ඔවුන්ට දැක්වූ අනුග්‍රාහකත්වයත් ය.

එක් ධනපතියෙකු ව්‍යාපාර කිහිපයක් සිදු කළ අතර, එක් ව්‍යාපාරයකින් ගත් ලාබ අනෙක් ව්‍යාපාර සඳහා යොමු කෙරුණි. සමස්තයක් ලෙස රේන්ද ව්‍යාපාරයෙන් වැඩි ලාබ ලැබූයේ ඒ ඒ පවුල්වල නෑදෑයින් විසින් එකමුතුව පවත්වාගෙන ගිය ව්‍යාපාරවලදී ය. මෙම නෑදෑ සබඳතා සහ කුල සබඳතා මත පදනම් වූ ව්‍යාපාරවල සාරවත්භාවය කෙතරම්ද යත් පූර්ව ධනේෂ්වර අවදියක වුවද එම සබඳතා ශක්තිමත්ව පැවතුණි. එනම් මෙකල ප්‍රධාන චාරිත්‍රයක් වූයේ අන්‍යයන්ට උදව් උපකාර කිරීමයි. ඒ මත පදනම්ව යම් හැකියාවක් තිබෙන ඥාතියා විසින් අනෙක් අයට උදව් කිරීම යුතුකමක් ලෙස සැලකුණි. විවාහ මංගල්‍යයන් සමස්ත පවුල් කණ්ඩායමෙන් හෝ කුලයෙන් පිට සිදු වූයේ නැත. පවුල සහ කුලය එකිනෙකට සේවය කරමින් පවුල්වාදයත්, කුලවාදයත් යන දෙකම වෙනුවෙන් පැවතිණි.

පෙර පරිච්ඡේදයේ සඳහන් කළ ආකාරයට අරක්කු රේන්දය පත්තුවකට (පරිපාලන දිස්ත්‍රික්ක පදනම) පමණක් ලබා දීම – තැබෑරුමෙන් තැබෑරුමට ලබා නොදී – මත රේන්දකරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් අවම විය. රේන්දකරුවන් අවම වීමෙන් හොර අරක්කු ජාවාරම සහ ඒ සම්බන්ධ පරිපාලන කටයුතු පහසු වනු ඇතැයි ඉංග්‍රීසි ආණ්ඩුව අනුමාන කළේය. ඒ අතර සොයිසාවරු පූර්ණකාලීන රේන්දකරුවන් ලෙස පවත්වාගෙන යාම මගින් නියමිත වේලාවට මුදල් ලබා ගත හැකි බව ඔවුන් විශ්වාස කළහ.

1832 ඔක්තොම්බර් මස නිකුත් කරන ලද චක්‍රලේඛනයකට අනුව විදානෙලාට (ගම්මුලාදෑනීන්ට) අරක්කු රේන්ද ලබා ගැනීම තහනම් කෙරුණි. මෙයට හේතු වූයේ අරක්කු රේන්ද ව්‍යාපාර සහ ඔවුන්ගේ රාජකාරි අතර යම් ගැටීමක් සිදුවීමේ අවදානමක් තිබෙනවා කියා යටත්විජිත ආණ්ඩුව සැලකීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගොවිගම කුලයේ අරක්කු රේන්දකරුවන් බොහෝ සෙයින් අඩු විය. එම නිසාම කරාව කුලයේ රේන්දකරුවන් ඉක්මනින් අරක්කු වෙළඳාම කෙරෙහි තම ආධිපත්‍ය පැතිරවීය. ජෙරෝනිස් සොයිසා මෙම අවුරුද්දේ අවසන් කාර්තුවේදී උඩරට ප්‍රදේශවලත් 1833 වර්ෂයේ පළාතේ සියලුම තැබෑරුම්වල රේන්ද හිමිකරු බවට පත් විය.

මේ ආකාරයට වර්ධනය වූ ප්‍රසිද්ධ වූ පවුල් කිහිපයක් පිළිබඳ කුමාරි ජයවර්ධන මෙහිදී සඳහන් කරයි. මෙම පවුල්වල විශේෂත්වය වන්නේ ව්‍යපාර කිහිපයක් සිදු කිරීම, ආණ්ඩුවේ විවිධ තානාන්තර දැරීම හා ඒ ඒ පුද්ගලයන් අතර තිබූ තියුණු පවුල් සම්බන්ධතාය. උදාහරණ ලෙස සල්පිටි කෝරළයේ හෙට්ටිආරච්චිගේ පින්තු සමග එහි ප්‍රධාන ධනපතියන් වූයේ: එච්. ජෙරෝනිස් පින්තු, නිකුලස් පින්තු සහ බස්තියන් පින්තු යන අයයි. මේ හා සමගාමීව තවත් දියුණුවට පත් වූ පවුලවක් වූයේ කැලණියේ කඩහෙට්ටිගේ පවුලයි. ඔවුන්ගෙත් ඥාතීන් සහ පවුලේ අයවලුන් ප්‍රධාන පෙළේ ව්‍යාපාර, තාන්න මාන්න සහ රේන්ද හිමිකරුවන් ලෙස කටයුතු කළහ. තවත් එවැනි ආකාරයට ඉදිරියට ආ පවුලක් වූයේ වෑවගේ ඩෙප් පවුලයි. කොරනේලියස් ඩෙප් යනු – ඩෙප් පවුලේ තීරණාත්මක චරිතයක් විය. ඔහුගේ පුත් අර්නෝලිස් ඩෙප් 20 වන සියවස ඇරඹෙන තෙක් ප්‍රධාන රේන්දකරුවා ලෙස කටයුතු කළේය. ඔහුගේ දියණිය හෙලේනා ඩෙප් ලී වෙළෙන්දෙකු වූ තුඩුගල්ලේ දොන් පිලිප් විජයවර්ධන සමග විවාහ විය. ඔවුන්ගේ මුණුපුරා වූයේ ජේ. ආර්. ජයවර්ධනයි.

මුහුදු බඩ පළාත් ආශ්‍රිත ගොඩ නැගුණු ධනපති පංතියේ බොහොමයක් කරාව කුලයේ අය විය. ඒ අතර ප්‍රධාන පවුලක් ලෙස මොරටුවේ ළිඳමුල්ලගේ ද සිල්වා පවුල හැඳින්විය හැකිය. ඔවුන්ගේ පවුලෙහි කේන්ද්‍රීය පුරුකක් වූ ජුසේ ද සිල්වාගේ දියණියක් 19 වන සියවසේ පොහොසත්ම වෙළඳ ධනපතියා වූ චාල්ස් ද සිල්වා සමග විවාහ විය. මේ බොහෝ විවාහයන් සිදු වී ඇත්තේ තම දේපළ, ඉඩකඩම් විසර යෑමට නොදී රැක බලා ගැනීමේ අපේක්ෂාවෙනි. සිල්වා පවුලේ බොහෝ දෙනා, විවිධ ආකාරයේ ධනෝපායන මාර්ගවල යෙදී සිටියහ. මිනිරන් කැනීම, දර සැපයීම, වඩු කර්මාන්තය මේ අතර ප්‍රධාන විය. කරාව කුලයේම තවත් ඉදිරියට පැමිණි ධනපතියෙක් වූයේ බාලප්පු වඩුගේ මනුකුලසූරිය මැන්දිස් පවුලයි. ඔවුන්ගේ පවුල් සාමාජිකයින් බොහෝ දෙනෙක් වඩු කාර්මිකයන් විය. මේ අතර තවත් කරාව කුලයේ ව්‍යාපාරික පවුල් වූයේ විදානෙලාගේ ද මැල්, පානදුරේ තෙල්ගේ පීරිස්, හෙට්ටිකන්දගේ ප්‍රනාන්දු යන පවුල්ය. තෙල්ගේ පීරිස් පවුලේ පුත්‍රයා වූ දාවිත් පීරිස්ගේ මුණුපුරා වූයේ විසිවන සියවසේ ප්‍රධාන මධ්‍යස්ථ දේශපාලකයෙකු වූ ජේම්ස් පීරිස්ය. කෙසේ වෙතත් ලාංකික කරාව පවුල් අතර වඩා ධනවත්ම පවුල වූයේ වරුසහැන්නදිගේ සොයිසා පවුලයි. ජෙරෝනිස් ද සොයිසා යනු මෙහි තුන්වන පරම්පරාවේ ව්‍යාපරිකයෙකි. මෙම සොයිසා පවුලේ පුරාණය පිළිබඳ නූර්ති නාට්‍ය රචක සී දොන් බස්තියෙන්ද ‘ද සොයියා චරිතය‘ නම් කෘතියක් රචනා කළේය.

19 වන සියවසේ ඇති වූ තත්ත්වයෙහි ප්‍රතිඵලයක් ලෙස කරාව කුලයේ බොහෝ දෙනෙකුට ගොවි ගම කුලය වෙත තිබූ බොහෝ වෙළඳ අවස්ථා ඔවුන් වෙත ලබා ගැනීමට හැකි විය. දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පවා අවදානමක් ගනිමින් ඔවුන් වෙළඳාමෙහි නිරත විය. මෙය නිවැරදිව අර්ථ කථනය කරන්නේ නම් සිදු වූයේ කරාව කුලයේ නැගීම නොව ධනේෂ්වරයේ නැගීමයි.

ලිපිය ආරම්භයේදී සඳහන් කළ ප්‍රධාන ධනපති කණ්ඩායම් දෙක වන්නේ මේවාය. ඔවුන් පළමුව ගොවිගම සහ කරාව කුල ලෙස වෙන් කළ හැකි වුවත් ධනේෂ්වරය වර්ධනයත් සමග තම සම්පත් රැක ගැනීමේ අර්ථයෙන් සිදු වූ විවාහ මංගල්‍යයන්වල ප්‍රතිඵලයක් ලෙස මෙම පවුල් එම සම්පත් අරමුණු කරගෙන ව්‍යාප්ත විය.

රංග මනුප්‍රිය