චමරිගේ සමුගැනීම අත ළඟ ?

38

තමා තව නොබෝ කලකින් ක්‍රීඩාවෙන් සමු ගනු ඇතැයි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් සඳහන් කරනවා. 

පසුගිය දා දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 195ක වාර්තාගත ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක් කරා යාමට මග පෑදූ චමරි, සිය ඉනිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. 

මගේ සමුගැනීම ළඟදී ම සිදු වේවී. මට දවසක් සඳහන් කරන්න බැහැ, ඒත් ළඟදීම. 

අපිට ඒ දේවල් ගැන පසුව කතා කරන්න පුළුවන්, මම හැමතිසේම බලන්නේ අපේ තරුණ ක්‍රීඩිකාවන් ගැන. මම තරුණ කණ්ඩායමක් හැදුවා. මේ තරුණියන් දවසක ලෝක කුසලානයක් ක්‍රීඩා කරනවා දකින්න මට අවශයි.” 

සිය සමුගැනීමෙන් පසුව ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තවත් ඉදිරියට යෑමේ අවශ්‍යතාව චමරි මෙහි දී ඉස්මතු කරනවා. 

එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට මෙන්ම, එක්දින ලෝක කුසලානයට ද ශ්‍රී ලංකාව තවමත් නිල වශයෙන් සුදුසුකම් ලබා නැතත්, ඔවුන් මින් එක් තරගාවලියක හෝ අවසන් පූර්ව වටයක් වෙත පිවිසීම තම බලාපොරොත්තුව බවයි ඇය සඳහන් කරන්නේ. 

පසුගිය වසර 15ක කාලය තුළ මම ඉතා වෙහෙස වී වැඩ කළා. මම ක්‍රීඩිකාවක් සහ නායිකාවක් ලෙස දේවල් කිහිපයක් ළඟා කර ගත්තා. මට තවත් දේ කරන්න අවශ්‍යයි. මගේ කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටයක දැකීමට මට අවශ්‍යයි. 

චමරිගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට ඇති ආසන්නතම අවස්ථාව ලෙස එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය හඳුන්වා දිය හැකි අතර, ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය එළඹෙන 25 වැනි දා ආරම්භ වීමට නියමිතයි. 

ගෙවුණු වසරක කාල සීමාව තුළ විස්සයි විස්ස තරග රටාවෙන් එංගලන්තයට, බංග්ලාදේශයට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලි ජයග්‍රහණය වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකාව විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වී සිටින අතර, මේ හේතුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉහළම අවස්ථාව ඇති රට ලෙස ද දැනටම ශ්‍රී ලංකාවට ඉහළ ලංසුවක් හිමි වී තිබෙනවා. 

එම තරගාවලියේ තමන්ට විශාල අභියෝගයක් බවත්, තරගයෙන් තරගය ඉදිරිය සැලසුම් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් චමරි මෙහි දී සඳහන් කර තිබුණා. 

මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව දියත් කළ ඉනිමට පෙර චමරිගේ හොඳම ඉනිම ලෙස සටහන් වී තිබුණේ 2017 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 178 වන අතර, තමන් තවමත් අංක එක ස්ථානය ලබා දෙන්නේ ද එම ඉනිමට බවයි චමරි පවසන්නේ. 

මම ඕන වෙලාවක 178 අංක එකේ තියනවා, මොකද ඒ ලකුණු 178 මගේ ජීවිතය වෙනස් කළා. 

කිසිවකු හෝ නොදැන සිටි තමාව එම ඉනිමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නිරාවරණය වූ බවත්, ඒ නිසා විදෙස් ක්‍රිකට් ලීග් තරගාවලි සඳහා සහභාගී වෙමින් අත්දැකීම් ලබා ගැනීමට තමන්ට හැකි වූ බවත් ඇය සඳහන් කරනවා. 

එම අත්දැකීම් තම ක්‍රිකට් දිවියට විශාල බලපෑමක් සිදු කළ බවයි ඇය අවධාරණය කරන්නේ. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<