දකුණු අප්‍රිකාව හැඩ වූ චමරිලාගේ අවුරුදු සාදය

Sri Lanka Women tour of South Africa

52
Sri Lanka Women tour of South Africa

විස්සයි විස්ස සහ එක්දින ජාත්‍යන්තර තරග 2ක් සඳහා දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා එම තරගාවලි ද්විත්වය සාර්ථකව නිමා කිරීමට සමත් වෙන්නේ එක්දින ජාත්‍යන්තර ලෝක වාර්තා කිහිපයක් ද තමන් නමට වෙන් කර ගනිමිනුයි.  

ඔවුන් පළමුවෙන් ම සහභාගී වු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහි ව ජයග්‍රහණය කරන ලද මංගල තරගාවලිය ලෙසින් එය ඉතිහාසයට එක් කරමිනුයි.  

අනතුරු ව පසුගියදා නිමා වූ එක්දින ජාත්‍යන්තර තරගාවලිය ද 1-1ක් ලෙසින් සම කරමින් අවසන් කිරීමට ඔවුන්ට හැකි වෙනවා. තරග 3කින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොර ව අවසන් වෙන අතර දෙවැනි තරගයේ දී කඩුලු 7ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු වෙනවා.  

නමුත් අවසන් තරගයේ දී සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වෙන්නේ ලෝක එක්දින කාන්තා/පිරිමි තරග වාර්තා අතරට ද එක් වෙමිනුයි.  

ශ්‍රී ලංකාව මෙම තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ජයග්‍රහණයක් වාර්තා කරන්නේ වසර 10කට පසුව වීමත් විශේෂයක්. එම ජයග්‍රාහී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද දරා ඇත්තේ චමරි අතපත්තු වීමත් සහ මෙම ජයග්‍රාහී තරගයේ දී සේ ම එම තරගයේ දී ද තරගයේ දක්ෂත ම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරෙන්නේ ද ඇය වීමත් විශේෂත්වයක්. 

2014 වසරේ දී කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැති එම තරගයේ ප්‍රතිවාදී නායිකාව වන්නේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩිකාවන් අතුරින් 2 වැනි තැනට පත් Mignon du Preez විසිනුයි.  

මෙම තරගාවලිය 1-1ක් ලෙසින් සම වෙමින් අවසන් වීමත් සමඟින් දෙරට ඉතිහාසයේ එවැනි ලෙසින් අවසන් වූ පළමු තරගාවලිය ලෙසත් මෙය ඉතිහාසයට එක් වූවා. මෙතෙක් මීට පෙර දෙරට අතර තරගාවලි ත්‍රිත්වයක් ක්‍රියාත්මක ව ඇති අතර ඒ කිසිදු අවස්ථාවක දී හිස එසවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන්නේ නැහැ.  

දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරගාවලියක් පළමු වරට පැවැත්වෙන්නේ 2013 වසරේ දීයි. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ එරට සංචාරයකිනුයි. ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් එම තරගාවලියට තරග ත්‍රිත්වයක් ඇතුලත් වන අතර තරගාවලිය නිමා වෙන්නේ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් සමඟින් තරග 2-0ක පරාජයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වෙමිනුයි 

අනතුරු ව දෙරට ක්‍රීඩිකාවෝ නැවත හමු වෙන්නේ 2014 වසරේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ගේ මෙරට සංචාරයේදීයි. තරග 4කින් යුත් එම තරගාවලිය ද නිමා වෙන්නේ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් සහ 2-1ක පරාජයක් සත්කාරකයන්ට හිමි කර දෙමිනුයි.  

දෙරට ක්‍රීඩිකාවෝ අවසන් වරට තරගාවලියක් සඳහා එක් වෙන්නේ 2019 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ එරට සංචාරයේදීයි. තරග 3කින් යුත් එම තරගාවලියේ දී 3-0ක දැවැන්ත ප්‍රහාරයකට ලක් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වෙනවා.  

එම තරගාවලියෙන් අනතුරුවයි මෙම තරගාවලිය. 

  • චමරිලාගේ අවුරුදු සාදයේ දී අලුත් වූ එක්දින ජාත්‍යන්තර තරග වාර්තා

302: මෙම තරගාවලියේ අවසන් තරගයේ දී චමරි අතපත්තු ඇතුළු කණ්ඩායම විසින් ලකුණු 302ක ඉලක්කයක් හඹා යන අතර එය තවත් පන්දු 33ක් ඉතිරිව තිබිය දී සපුරා ගන්නවා. එය ලෝක ඉතිහාසයේ එවන් දක්ෂතාවක් කළ කණ්ඩායම් අතර පළමු අසුනට හිමිකම් කීමට සමත් වූ දක්ෂතාවක් බවට පත් වුනා.  

ඔවුන් විසින් එලෙස බිඳ දමන්නේ වසර 12ක් තිස්සේ ඔස්ට්‍රේලියාව සතු කරගෙන සිටි තරග වාර්තාවකුයි. 

  Target  Team  Oppression   Results  Year 
1  302  ශ්‍රී ලංකාව  දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්.  2024 
2  289  ඔස්ට්‍රේලියාව  නවසීලන්තය  ඔස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්.  2012 
3  283  ඔස්ට්‍රේලියාව  ඉන්දියාව  ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්.  2023 
4  280  නවසීලන්තය  ඉන්දියාව  නවසීලන්තයට කඩුලු 3ක ජයක්.   2022 
5  278  ඔස්ට්‍රේලියාව  ඉන්දියාව   ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්.  2022 

 

  • මීට පෙර ශ්‍රී ලංකාව විසින් මෙසේ ඉහළ ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ජයග්‍රහණය කරනු ලැබුවේ 2018 වසරේ දී චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමයි. එහි දී ඔවුන් ඉන්දීය කණ්ඩායම විසින් කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 253ක් හඹා යනවා. තරගය අවසන් වෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 257ක් ලබා ගන්නවා

305/4 (44.3): ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් විසින් හඹා ගිය  ඉනිම් අතර වැඩිම ලකුණු ලැබූ කණ්ඩායම් අතර සම තැන් ගන්නවා.  

මීට පෙර දකුණු අප්‍රිකාව එංගලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහි ව 2017 වසරේ දී ලකුණු 374ක ඉලක්කයක් හඹා ගිය අතර ඔවුන්ට ද ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 305ක් පමණයි.  

  • ශ්‍රී ලංකාව විසින් මෙම තරගයේ දී වාර්තා කරන ලද ලකුණු ප්‍රමාණය මෙරට එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහි ව වාර්තා කරන ලද වැඩි ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා. 

මෙම වාර්තාව මීට පෙර රැදී තිබුණේ 2013 වසරේ දී ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් ඉන්දියාවට එරෙහි ව Brabourne හි දී කඩුලු 5කට ලබා ගත් ලකුණු 282යි.  

195*: පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සහ හයේ පහර 5ක් සමඟින් වාර්තා වු මෙම ඉනිම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව මෙන් ම චමරි අතපත්තුගේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හොඳම ඉනිම බවට ද පත් වුනා 

ඊට පෙර මෙම වාර්තාව රැදී තිබුණේ 2017 වසරේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ව චමරි අතපත්තු විසින් ම පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලබා සිටි ලකුණු 178යි.  

  • චමරි අතපත්තුගේ මෙම ඉනිම හඹා යන ඉනිමක දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ පළමු අසුනට පත් දක්ෂතාවක් බවට ද පත් වුනා. ඊට පෙර මෙම වාර්තාව සතු කර ගෙන සිටියේ 2017 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 152ක් ලබා ගත් ඔස්ට්‍රේලියාවේ Meg Lanning.
  • චමරි අතපත්තුගේ මෙම හඹා ගිය වාර්තාව කාන්තා සහ පිරිමි එක්දින තරගවල දී හොඳම ඉනිම් අතර දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවේ Glenn Maxwell ඇෆ්ගනිස්තානයට එරෙහි ව 2023 වසරේ දී පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 10ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 201ට පමණයි. 
  • මෙම තරගයේ දී චමරි අතපත්තු විසින් නොදැවී ලබා ගත් ලකුණු 195 කාන්තා ලෝක එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ක්‍රීඩිකාවක විසින් වාර්තා කරන ලද හොඳම ඉනිම් අතර තෙවැනි තැනට පත් ඉනිම බවට පත් වූවා.

මෙහි පළමු ස්ථානය 2018 වසරේ දී අයර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 232ක් ලබා ගත් නවසීලන්තයේ Amelia Kerr හට හිමිව ඇති අතර දෙවැනි ස්ථානය 1997 දී ඩෙන්මාර්ක් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 229ක් ලබා ගත් ඔස්ට්‍රේලියාවේ Belinda Clark හට හිමියි.  

184*: මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt නොදැවී ලකුණු 184ක් ලබා ගත් අතර එය කාන්තා ලෝක එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වාර්තා කරන ලද හොඳම ඉනිම් අතර 5 වැනි ස්ථානයට පත් වූවා.  

175+: මෙම තරගයේ දී චමරි අතපත්තු සහ දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt ලකුණු 175කට වැඩි ලකුණු ඉනිම් වාර්තා කළ අතර එය කාන්තා/පිරිමි එක්දින ජාත්‍යන්තර තරගයක දී වාර්තා වූ පළමු අවස්ථාව බවට ද පත් වූවා.  

379: ඔවුන් දෙදෙනා එක් ව මෙම තරගයේ දී ලකුණු 379ක් ලබා ගන්නා ලද අතර එය කාන්තා/පිරිමි එක්දින ජාත්‍යන්තර තරගයක දී නායක/නායිකාවන් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.  

මෙම වාර්තාව එතෙක් සතු කර ගෙන සිටියේ 2014 වසරේ දී ඉන්දියාවේ Virat Kohli (139*) සහ ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් (139*) එක් ව වාර්තා කරන ලද ලකුණු 278යි.  

  • චමරි අතපත්තු මෙවර ලබා ගන්නේ තම තරග දිවියේ ලකුණු 175කට වැඩියෙන් වාර්තා කළ 2 වැනි අවස්ථාවයි. ඊට පෙර ඇය 2017 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 178ක් ලබා සිටියා. ඒ අනුව ඇය ලෝක එක්දින තරග ඉතිහාසයේ ලකුණු 175කට වැඩියෙන් වාර්තා කරන ලද පිතිකාරිනියන් අතුරින් පළමු වැන්නිය බවට ද පත් වූවා.

9: චමරි අතපත්තු විසින් මෙම තරගයේ දී වාර්තා කරන්නේ තම තරග දිවියේ 9 වැනි ශතකයයි. එය ලෝක කාන්තා එක්දින තරග ඉතිහාසයේ ශතක ලැබූවන් අතුරින් තෙවැනි තැනට පත් දක්ෂතාවයි.  

එහි පළමු ස්ථානය ශතක 15ක් වාර්තා කරන ලද ඔස්ට්‍රේලියාවේ Meg Lanning සතු කර ගෙන සිටින අතර, දෙවැනි ස්ථානය ශතක 13ක් ලබා සිටින නවසීලන්තයේ  Suzie Bates රැදී සිටිනවා.  

179*: මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් චමරි අතපත්තු සහ නිලක්ෂිකා සිල්වා විසින් නොදැවුණ ලකුණු 179ක සබඳතාවක් ගොඩ නගනවා. එය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 5 වැනි කඩුල්ලේ හෝ ඊට අඩු කඩුල්ලක් සඳහා එක් වු ඉහළ ම ලකුණු සබඳතා අතර දෙවැනි ස්ථානයට පත් වාර්තාව බවට ද පත් වූවා. 

එහි පළමු ස්ථානයේ මෙතෙක් රැදී සිටින්නේ 2000 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයේ Jane Smit සහ Claire Taylor විසින් නොදැවී වාර්තා කරන ලද ලකුණු 188යි.  

  • චමරි අතපත්තු සහ නිලක්ෂිකා සිල්වා විසින් වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය, ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු ප්‍රමාණයන් අතර 2 වැනි ස්ථානයට පත් වූවා.

මෙම වාර්තාවේ හිමිකාරිනියන් වන්නේ ද ඔවුන් දෙදෙනා ම වන අතර ඒ 2023 වසරේ දී නවසීලන්තයට එරෙහි ව ගාල්ලේ දී තෙවැනි කඩුල්ලට නොදැවී වාර්තා කරන ලද ලකුණු 190යි.  

50*: මෙම තරගයේ දී නිලක්ෂිකා සිල්වා තමන්ගේ එක්දින තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කිරීමට ද සමත් වුවා.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<