චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කරයි!

Sri Lanka Women's Tour of South Africa 2024

113

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ තෙවැනි  එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත් වුනා. 

ඊයේ (17) සවස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායිකාව සතු වූ අතර, ඇයගේ තීරණය වුනේ දකුණු අප්‍රිකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කිරීමයි. 

ඒ අනුව දකුණු අප්‍රිකානු නායිකා Laura Wolvaardt සහ Lara Goodall ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණු අතර, පෙර තරගයේ දී මෙන්ම මෙම තරගයේ දීත් Lauraගේ පිත්ත ක්‍රියාත්මක වීමට පටන් ගත්තා. 

ඉනිමේ ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිසෙමින් ඉනිම අවසන් වන තෙක්, පන්දුවාර 50ම නොදැවී කඩුල්ලේ රැඳී සිටි Lauraගේ පිත්තෙන් පන්දු 147ක් තුළ ලකුණු 184ක් වාර්තා වූ අතර, මෙය දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිතිකාරිණියක් වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා අතරට එක් වුනා. 

මීට අමතරව Marizanne Kapp ලකුණු 36කින් සහ Nadine de Klerk ලකුණු 35කින් ඉනිමට දායක වුනා. මේ අනුව දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 301ක් දක්වා ඉහළට එසවුණු අතර, මෙතෙක් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කිසිඳු කණ්ඩායමක් ලකුණු 300 ඉක්මවූ ඉලක්කයක් හඹා ගොස් නොතිබීම නිසාම තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට හිමි වීමේ ඉඩ ඉතා ඉහළ පැමිණියා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ කවීෂා දිල්හාරි කඩුලු 2ක් බිඳ හෙළන අතරේ නායිකා චමරි අතපත්තු එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා. 

දකුණු අප්‍රිකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් ලෙස චමරි සහ විශ්මි ගුණරත්න පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක් එක් වුනා. නමුත් ලකුණු 26ක් ලබා සිටි විශ්මිගේ දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ආරම්භ වූ අතර, ඉනිමේ කඩුලු 4ක් ම ලකුණු 126ක් තුළ දවා ගැනීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණේ තරගයේ සම්පූර්ණ වාසිය තමන් වෙතට හරවා ගනිමිනුයි. 

මින් පසුව ශ්‍රී ලංකා ඉනිමේ අංක හය පිතිකාරිණිය ලෙස නිලක්ෂිකා ද සිල්වා පිටියට පිවිසුණු අතර, චමරි සිය සුපුරුදු ප්‍රවේගකාරී ඉනිම දියත් කරනා අතරේ නිලක්ෂිකා සිය වගකීම අකුරට ඉටු කරමින් කඩුල්ල ආරක්ෂා කිරීමට සමත් වුනා. 

මේ අනුව මොවුන් දෙදෙනා අතර පන්දු 144ක් තුළ ලකුණු 181ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැගුණු අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 44 පන්දු 3ක් තුළ දකුණු අප්‍රිකාවෙන් ලද ලකුණු 302ක ඉලක්කය හඹා යාමට සමත් වුනේ නව ලෝක වාර්තාවක් ද බිහි කරමිනුයි. 

මෙතෙක් කාන්තා ක්‍රිකට්  ඉතිහාසයේ සිදු කළ ඉහළම ලකුණු හඹා යාම මෙන්ම, ලකුණු 300 ඉක්මවමින් සිදු කළ පළමු හඹා යාම ද සටහන් කිරීමට අද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා. 

මෙහි දී නිලක්ෂිකාගේ පිත්තෙන් නොදැවුණු ලකුණු 50ක් වාර්තා වූ අතර, පන්දු 71ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර තුනක් අන්තර්ගත වුනා. 

මේ අතරේ අනෙක් පසින් ක්‍රියාත්මක වූ චමරි අතපත්තු පන්දු 139ක් තුළ ලකුණු 195ක් ලබා ගනිමින් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම දියත් කිරීමට සමත් වුනා. මේ සඳහා ඇයගේ පිත්තෙන් හතරේ පහර 26ක් සහ හයේ පහර 5ක් එල්ල වූ අතර, මෙය කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ තෙවැනි හොඳම ඉනිම ලෙස ද වාර්තා අතරට එක් වුනා. 

එමෙන්ම මෙම ඉනිම කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු හඹායාමක දී ක්‍රියාත්මක වූ හොඳම ඉනිම ලෙස ද වාර්තා අතරට එක් වුනා. මේ අතරම මීට පෙර 2017 වසරේ දී චමරි විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 178ක් ලබා ගැනීමට සමත් වී තිබූ අතර (මෙය දැන් ලොව හොඳම කාන්තා එක්දින ඉනිම් අතර හය වැනි ස්ථානයේ රැඳෙනවා) මේත් සමඟින් කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 170 ඉක්ම වූ ඉනිම් දෙකක් දියත් කළ ලොව එකම ක්‍රීඩිකාව බවට පත් වීමට ද චමරිට හැකියාව ලැබීම විශේෂත්වයක්. 

දකුණු අප්‍රිකාවට එරෙහිව ලද මෙම ජයග්‍රහණයත් සමඟින්  දෙරට අතර පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු අතර, දෙරට අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකාව සමත් වුනා. 

මේ අනුව මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රිකට් සංචාරයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇති. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<