ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා අභියෝග

Women's T20 WC Qualifiers 2024

80

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන තරගාවලිය එළඹෙන අප්‍රේල් 25 අබුඩාබි හිදි ආරම්භ වීමට නියමිතයි. 

කණ්ඩායම් දහයක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ දී කණ්ඩායම් පහ බැඟින් වූ කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ තරග පැවැත්වීමට නියමිත අතර, එම කාණ්ඩවල මුල් ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, ඉන් ඉදිරියට යන කණ්ඩායම් ද්විත්වය බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගනු ඇති. 

මෙහි දී මූලික වටයේ A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, තායිලන්තය, උගන්ඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය ක්‍රීඩා කිරීමට නියමිත අතර, B කාණ්ඩයෙන් අයර්ලන්තය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වනාටු සහ සිම්බාබ්වේ කණ්ඩායම් ක්‍රීඩා කිරීමට නියමිතයි. 

මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් දහය අතුරින් ශ්‍රේණිගත කිරීම් හි ඉහළින්ම රැඳෙන කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව (7 වැනි ස්ථානය) වන අතර, A කාණ්ඩයේ දී ඔවුන්ට ස්කොට්ලන්තයෙන් සහ තායිලන්තයෙන් සැලකිය යුතු මට්ටමේ සටනක් ලැබේවි යැයි අනුමාන කළ හැකි. 

අවසන් වරට පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට අත් වූ අවාසනාවන්ත ඉරණමත් සමඟ ඔවුන්ට මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වුනත්, මෑත කාලීන ව ශ්‍රී ලංකාව ලොව ප්‍රබලතම කාන්තා කණ්ඩායම්වලට එරෙහිව දැක්වූ දක්ෂතා නිසා ඔවුන් වෙනුවෙන් ඉහළ බලාපොරොත්තු තබා ගත හැකි. 

පසුගිය දා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය ද තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඉතා විශිෂ්ට පිතිකරණ දස්කම් දක්වමින් සිටීම ශ්‍රී ලංකාව සතු මානසික ශක්තිය තවත් ඉහළ දමනු ඇති. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<