ඈලියාවට යා හැකි වැඩි පරිස්සම


  • නිශාන්ත කමලදාස

බොහෝ දෙනෙකු මුහුණ හෝදන බේසමේ ද කිඹුලුන් ඉන්නේ දැයි බලති. ඔවුන් බිය ය. ඇතැම් විට ඒ අතීත අත්දැකීමක් නිසා විය හැකි ය. මේ බිය සාමාන්‍ය බියක් නොවේ. අසමාන බියකි. ඉංග්‍රීසියෙන් මේ සඳහා සුවිශේෂ වචනයක් යෙදේ. ඒ ෆෝබියාව ය. සිංහලෙන් යෙදිය හැකි ආසන්න ම වචනය භීතිකාව ය.

බය අපේ පැවැත්මට අත්‍යවශ්‍ය හැඟීමකි. දැනීමකි. එහෙත් එය අන්තයට ගිය විට අප අකර්මණ්‍ය කරන බරකි. එයට හේතු වන්නේ මේ අහේතුක බිය නිසා අනවශ්‍ය ලෙස පරිස්සම් වීම ය.

දරුවෙකු සම්බන්ධයෙන් නම් ප්‍රවේසම් වීමේ නාමයෙන් කරන්නේ ඔහු / ඇය ආරක්ෂා කිරීමට ඔවුන්ට නොයෙකුත් තහංචි දැමීම ය. සම්මත රාමුවෙන් පිට ඇති හැම දෙයක් ම පව් හැටියට සලකා නොකරන ලෙස අවවාද දීම ය. සෙසු සමාජයෙන් වෙන් කොට තැබීම ය. මිතුරන් ඇසුරට පවා සීමා පැනවීම ය. වැටෙන්නට ඉඩ තිබෙන නිසා දුවන්නට හෝ නගින්නට දෙන්නේ නැති ව පාලනය කිරීම ය.

ඇතැම් අවස්ථා වල සිය බිරිඳ හෝ ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් ද එවැනි පාලනයක අවශ්‍ය යැයි සමහරු සිතති. ඒ ඔවුන් වැඩිහිටියන් බව පවා අමතක කරමිනි. එවන් තැනක ඔවුන් ද සැලකෙන්නේ හය හතර නොදන්නා කුඩා දරුවන් හැටියට ය.

මෙවැනි වටපිටාවක සැවොම ඉන්නේ ආතතියක ය. තහංචි දමන තැනැත්තාට ඒවා වැඩ කරනවා දැයි බැලීමට හැම විට ම සිත යොමු කිරීමට සිදු වන අතර තහංචි කැඩේ දැයි හැම විටම විමසිල්ලෙන් සිටීමට තහංචි වලට ලක් වන අයට සිදු වන නිසා ය. බැරි වෙලාවත් තහංචියක් කැඩුනොත් සිදු වන අප්‍රසන්න සිද්ධි දාමය නිසා දෙපාර්ශවයේ ම ආතතිය වඩාත් ඉහළ යන්නේ ය.

තත්වය තවත් භයානක වන්නේ පවුලෙන් බාහිර ව සමාජයේ සිටින බොහෝ වැඩිහිටියන් සම්බන්ධයෙන් ද මේ පිළිවෙත අනුගමනය කරන්නට යෑමේ දී ය. මේ හැම තැනක ම සිදු වන්නේ තමන්ට මෙන් වගකීමකින් සෙසු අයට වැඩ කළ නොහැකිය යන හැඟීමෙන් මුල් තැනැත්තා මෙහෙය වීම ය. මේ හැම තැනක දීම තහංචි දාන තැනැත්තා දැනුම් තේරුම් ඇති ලොකු කෙනෙකු වන අතර සෙසු අය වගකීමක් දැරිය නොහැකි, වැදගැම්මකට නැති, කුදු චරිත බවට පත් වෙති.

ඇතැම් කෙනෙකු අමාරුවේ වැටීමට යන්නේ නම් ඔහු/ ඇය දැනුවත් කිරීම වෙන එකකි. මේ අදහස් කරන්නේ ඒ පරිස්සම ගැන නොවේ. එය  හිතෛෂියෙකු විසින් කළ යුතු දෙයකි. එහෙත් මෙතැන අප කතා කරන්නේ ඔහුට / ඇයට නීති පැනවීම ගැන ය. ඔවුන්ගේ ඇඟ බැඳීම ගැන ය.

මේ සංවාදය ඇරඹීමට ආසන්න හේතුව නම් රජය විසින් දැනට රජයේ ඉඩම් භුක්ති විඳින ගොවි මහතුන්ට උරුමය යන නම යටතේ සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට තීරණය කිරීමට සමාජයේ ඇතමකු තුළ ඇති ව තිබෙන විරෝධය නිසා ය. ඔවුන් කියන්නේ මෙසේ කිරීමෙන් පසු මේ ඉඩම් ගොවීන් විසින් විකුණා දමා ඉන් පසු යන එන මං නැති තැනකට ඔවුන් වැටෙනු ඇති බව ය. ඒ නිසා ඔවුන් තවදුරටත් බලා ගනු පිණිස මෙසේ ඉඩම් පවරා දීම නතර කළ යුතු බව ය. මෙහි දී ගොවීන් ද වැඩිහිටියන් බව පෙර අවස්ථාවල මෙන් ම අමතක කර ඇත. ඔවුන්ට හිතන්නට පුළුවන් මිනිසුන් බව අමතක කර ඇත. කළ යුතු මැදිහත් වීමක් වේ නම් ඔවුන් දැනුවත් කිරීම පමණක් බව අමතක කොට ඇත. විරෝධතාකරුවන්  දිගින් දිගට කියන්නේ ඉඩම් විකිණීමට එරෙහි ව වර්තමානයේ පනවා ඇති තහංචිය දිගින් දිගට පවත්වා ගත යුතු බව ය.

ගොවියන් සියල්ල සමාන නොවේ. සමහරු දැනට මත් ගොවිතැන කරන්නේ තමන් සතු ව කුඹුරක් තිබීම නිසා ය. දැනටමත් ආදායම් මාර්ග ගණනාවක් තිබෙන එවන්නෙකු එතරම් උනන්දුවකින් එහි නිරත වන්නේ ද නැත. ඇතැම් විට ඔහු එය අඳයට දී තිබෙන්නේ ඒ නිසා ය. ඒ විකුණන්නට බැරි කම නිසා ය. අඳයට කුඹුර කරන තැනැත්තාට මෙය ලැබේ නම් ඔහු වඩාත් උනන්දුවකින් මෙහි කටයුතු කරනු ඇත. මේ ඉඩමේ අයිතිය සින්නකර ව ලැබුණා නම් දෙදෙනාට ම වන්නේ ලාභයකි. වඩා ඵලදායී ගොවිතැනක් ඇති වීමෙන් රටටත් ලාභයකි. එවැනි ගොවීන් ද නොදැනුවත් කමට ඉඩම විකිණිය හැකි ගොවීන්ගේ ගොඩට ම දමා තිබේ.

මේ විදිහට තර්ක කරන්නට ගියොත් කවදා ‌හෝ දවසක ගොවීන්ගේ ඡන්ද අයිතියට පවා තට්ටු වන්නට ඉඩ තිබේ. කෙනෙකු සතු කුඩා ඉඩම් කැබැල්ලක් සම්බන්ධයෙන් වගකීමක් දැරිය නොහැකි කෙනෙකු සමස්ත රටේ පාලනය පවරා දිය යුත්තේ කාට ද වැනි වැදගත් තීරණයක් ගැනීමට තරම් වගකීමක් දැරිය හැකි දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි නිසා ය.

රට තුළ සිදු වන වැඩිහිටියන් ළමයින් ලෙස සැලකීමේ මේ ආකල්පය අප වැඩ කරන ආයතන තුළ ද ඇතැම් විට දැකිය හැකි ය. බලය හෝ වගකීම පහළට පවරා නොදෙන්නේ පහළ ඉන්නා මිනිසුන් නොමේරුණු දරුවන් හැටියට සලකන නිසා ය. වැඩි පරිස්සමට ය. ඒ නිසා ම ආයතන තුළ කාර්යක්ෂමතාව අවම ය. හැම දෙයක් ම ලොක්කාගේ අනුමැතියට යටත් ව සිදු වන්නේ ය. මට්ටම් කිහිපයක් තිබුණ ද මැද මට්ටම් තිබෙන්නේ “කොකා මාක්” එක (කෙටි අත්සන) දමා උඩට තල්ලු කිරීමට පමණ ය. තීරණ ගැනීමට නොවේ. ඒ නිසා වැඩක් කර ගැනීමට මෙවැනි ආයතනයකට යන කෙනෙකුට සිදු වන්නේ අනවශ්‍ය ලෙස රස්තියාදු වීමට ය. ඇත්තට ම වැඩ වැඩි නිසා ලොක්කාට ද මේ හැම පුංචි දෙයක් ගැන ම සොයන්නට වෙලාවක් නැත. ඒ නිසා බොහෝ අවස්ථා වල ඔහු කරන්නේ ද නොවිමසා ම අත්සන් කිරීම පමණකි. ඒ නිසා සේවා දායකයාට සිදු වන රස්තියාදුවෙන් ඔහුට පමණක් නොව ආයතනයට වුව ද අත් වන සෙතක් නැත.

එපමණක් නොවේ. පහළ ඉන්නා මිනිසුන් මේ නිසා සිතන්නේ ද නැත. කියන විදිහට වැඩ කර ගෙන යනවා විනා අලුත් අත්හදා බැලීම් කරන්නට උත්සහ ගන්නේ ද නැත. ඒවාට මේ පරිස්සම්කාරී භීතිකාව ඇති අය බිය නිසා ඒවා අනුමත නොකරන නිසා ය. අවසානයේ සේවකයන්ට වැඩ නීරස බරක් පමණක් ලෙස ඉතිරි වේ. කෙටියෙන් කියතොත් මේ පරිස්සම නිසා වාසියක් සිදු වන කවරෙක් වත් නැත. එහෙත් පරිස්සම උදෙසා පමණක් වුව කාටවත් අබ මල් රේණුවක වැඩක් නැති හානියක් පමණක් වන පරිස්සම සිදු වේ.

මෙහි තිබෙන භයානක ම දෙය නම් මේ තුළ වැරදි කරන අයට සැඟවී වැරදි කළ හැකි වීම ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ වැඩ රාජකාරී බහුල ලොක්කාගේ විමසුමකින් තොර අනුමැතිය පමණක් වීම ය. ඒ නිසා මේ පරිස්සම අන්තිමේ යන්නේ ඈලියාවට ය. මේ සටහන දැනුවත් කිරීම වෙනුවට තහංචි පැනවීම තෝරා ගන්නා අයගේ අවධානය පිණිස ය.

Leave a comment