Wednesday, April 17, 2024

ක්‍රිකට් කැඩපතෙහි පිළිඹිබු වන ශ්‍රී ලාංකීය හෘද සාක්ෂිය

 

  
 (cartoon movement වෙතින්)


පසුගිය සති කිහිපය තුල අප කාගේත් අවධානය යොමුවිය යුතුව තිබූ සිදුවීම් මාලාවක් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ හටගැනෙනු දැකගත හැකි විය. එහෙත් සුපුරුදු පරිදිම ඒ කෙරෙහි සිය ඇස යොමු කළේ ක්‍රිකට් ලෝලීන් පමණි. ඇෆ්ඝනිස්තානයට හා බංග්ලා දේශයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ සැමරීම හා උද්දාමයට පත්වීම ක්‍රිකට් ලෝලීන්ට ඉඩ තබා ඒ තරඟ මාලා අතර සිදු වූ විවාදාපන්න කරුණකට සිත යොමු කිරීම මේ ලිපියේ අරමුණයි. ඒ සඳහා අප පහත දැක්වෙන සිදුවීම් වෙත අවධානය යොමුකළ යුතු වෙයි.


ඇෆ්ඝනිස්තානය හා පැවති තරඟ මාලාව අතරතුර විනිශ්චයකරුවකු හා ඇතිවන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස  වනිඳු හසරංග නම් ක්‍රීඩකයාට දඩ මුදලක් හා දඬුවමි ලකුණු හතරක් හිමි වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට බංග්ලාදේශයේ පැවැත්වූ එක් ඕවර 20 තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වෙයි. දෙවැනි තරගයේ සිට කණ්ඩායමට එක් වූ වනිදු එම තරග මාලාව අතරතුර යළිත් විනිසුරුවරයෙකු හා ගැටුමක් ඇතිකරගත් අතර එහි ප්‍රතිඵලය වූයේ තවත් දඬුවම් ලකුණු හතරක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වීමයි. දැන් දඬුවම් ලකුණු අටකි. ඊට අනුකූලව පැනවෙන දඬුවම ද වැඩි වෙයි. දඬුවම ඕවර විස්සේ තරග හතරක්, එක් දින තරග දෙකක් හෝ ටෙස්ට් තරග දෙකක් සඳහා පෙනී සිටීම තහනම් වීමයි. තහනම ක්‍රියාත්මක වන්නේ එම කණ්ඩායම එනම් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම මුහුණ දීමට තිබෙන තරගවලට අදාලවයි. මී ලඟට කණ්ඩායමට තරග කිරීමට තිබුණේ බංග්ලා දේශය සමග පැවැත්වීමට නියමිත වූ ටෙස්ට් තරග දෙකයි. එහෙත් පසුගිය වසරේදී ටෙස්ට් තරග ක්‍රීඩා පිටියෙන් වනිදු සමුගෙන සිටීම නිසා ඊලඟට  එන්නේ මේ වසරේ ජූනි මස පැවැත්වීමට නියමිත  ඕවර 20 ලෝක ශූරතා තරගාවලියයි. එහි මුල් තරග හතර ඔහුට අහිමි වෙයි. විශ්මයකි! නැවතත් ටෙස්ට් තරග පිටියට පිවිසීමට තීරණය කරන වනිදුගේ නම ටෙස්ට් සංචිතයට ඇතුලත් වෙයි. දැන් මේ තරග දෙක ක්‍රීඩා කිරීම ඔහුට තහනම් වන නිසා ලෝක කුසලාන තරගවලට තහනමකින් තොරව පෙනී සිටීමේ අවස්ථාව ඔහුට හිමි වෙයි. අපි නීතියට අනුකූලව ක්‍රීඩා කරන හැටි අපූරුයි නේද?

වඩා හොඳ හරිය එළියට එන්නේ ඊට පසුවයි. IPL තරගාවලිය ඇරඹෙන්නේ ද ශ්‍රී ලංකාව හා බංග්ලා දේශය අතර පළමු තරගය ඇරඹීමට නියමිතව තිබූ දිනම ය. දැන් ටෙස්ට් තරග තහනම නිසා වනිදුට එයට සහභාගී වීමට බාධාවක් නොමැත. එහෙත් එය එසේ වන්නේ නැත. ඒ වෙනුවට ඔහු වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ඩුබායි බලා ගියේය. හේතුව නම් ඔහුගේ වම් පාදයේ ඇතිව තිබූ ආබාධයකි. espncricinfo වෙබ් අඩවිය වාර්තා කරන  අන්දමට ඔහු අවසන් තරග කිහිපය ක්‍රීඩා කර ඇත්තේ වේදනා නාශකවල පිහිටෙනි. අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහු සම්පූර්ණ  IPL තරග මාලාවෙන්ම ඉවත් කරගැනීමට තීරණය කරන්නේ ලෝක කුසලාන තරග මාලාවට පෙර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා විවේකය ලබාදීම සඳහා ය. තේරීම් කමිටුව දින දහයක්  පුරා ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා වනිදු හසරංග තෝරාගනු ලබන්නේ මේ තත්ත්වය යටතේ ය. සිදුවූයේ කුමක්දැයි පැහැදිළි ය. ICC නීතිරීතිවල හිලක් සොයාගෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා වනිදුගේ පූර්ණ සහභාගිත්වය සහතික කරනු වස් ඒ හිලෙන් රිංගීම ය. ක්‍රිකට් ලෝලීන් නම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීක්ෂණ නුවණ ගැන සතුටු වූවා නිසැක ය. 

එහෙත් මේ කලඑළි බසින්නේ මුළු මහත් සමාජයම වෙලාගත් ශ්‍රී ලාංකීය හෘද සාක්ෂියයි. මා එසේ කියන්නේ ඇයි? මෑත දශක කිහිපයක අපගේ සමාජ දේශපාලන ඉතිහාසය පිරික්සීමෙන් මීට පිළිතුර ලබාගත හැකි වේ. 1977 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විධායක ජනාධිපතිවරයෙකුට බලය පැවරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළේය. එපමණක් නොව පාරිලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා සමානුපාතික ඡන්ද ක්‍රමය ද හඳුන්වා දුන්නේය. එහි තිබූ එක් ලක්ෂණයක් වූයේ පුරප්පාඩු වන මන්ත්‍රී ආසන සඳහා අතුරු මැතිවරණ නොපවත්වා එම අසුන හිමිව තිබූ පක්ෂයට අලුතින් මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට හිමිව තිබූ වරප්‍රසාදයයි. (ඊලඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා පත්කළ යුතු ය යන සංශෝධනය සම්මත වූයේ පසු කාලයක ය.) 1977 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එක් මන්ත්‍රීවරයෙකුට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත්ව තිබුණි. අදාල මන්ත්‍රීවරයා කළේ එක දිගට මාස තුනක් නොදන්වා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැලකී සිටීම ය. වියයුතු පරිදිම ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි වූ අතර අළුතින් මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමේ අවස්ථාව එ.ජා.ප.යට හිමි විය. පක්ෂය කළේ අසුන අහිමි වූ හිටපු මන්ක්‍රීවරයාගේ නම යළිත් මැතිවරණ කොමසාරිස් වෙත යැවීම ය. දැන් ඔහු ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයෙකු නොවේ. පත්කළ මන්ත්‍රීවරයෙකි. උසාවියේදී ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා තර්ක කළේ තම සේවා දායකයා පත්කළ මන්ත්‍රීවරයෙකු නිසා ඔහුට විරුද්ධව ඡන්ද පෙත්සමක් පවත්වාගෙන යා නොහැකි බව ය. එහෙත් එම ගැලවිජ්ජාව උසාවිය පිළිනොගත් නිසා උත්සාහය අසාර්ථක විය.

එමෙන්ම 1977 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තවත් ආණ්ඩු පක්ෂ  මන්ත්‍රීවරයෙකුට 1979 දී තම අසුන අහිමි වූයේ රජය සමග කොන්ත්‍රාත්තුවකට එළඹ සිටීමේ වරද නිසා ය. රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය වූයේ කඹුරුපිටිය ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයාට ඉල්ලා අස්වන්නට සලස්වා අසුන අහිමි වූ (හිටපු) මන්ත්‍රීවරයා චිට් මන්ත්‍රීවරයෙකු ලෙස එම පුරප්පාඩුවට පත්කර නැවත පාර්ලිමේන්තුවට යාමට සැලැස්වීම ය. එම නීතිය ඊට පසු අවලංගු කළ බවක් දැනගන්නට නැතත් කිසිවෙකුත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ ද නැත. මෙවැනිම සිද්ධියක් ඊට වසට 21ට පසුව 2000 වසරේ ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අරබයා  එලෙසම රඟ දැක්වුන බව සිහියට නැගෙන විට අප රටේ නීති පද්ධතිය සකස්ව ඇත්තේම අවශ්‍ය අයට රිංගා යාමට ඉඩ සැලසෙන පරිදි ද යන සැකය සිතට නැගේ. 

එහෙත් වඩාත් සුපරීක්ෂාකාරීව බැලුවහොත් ඊට වඩා වෙනස් චිත්‍රයක් මතුකර ගැනීම අසීරු නැත. ක්‍රිකට් තහනම පිළිබඳව වූ සිදුවීම් මාලාව සලකා බලන්න. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට  වැරදිකරුවන් වන ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට තහනම් කළයුතු තරග නිශ්චිතව නියම කිරීමේ බලය ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලටම පැවරෙන ලෙස අදාළ නීතිය සකස් කළ හැකිව තිබිණ. එසේ නොකරන්නට හේතුව සාමාජික රටවල පාලක මණ්ඩල තම රටේ ක්‍රීඩකයන්ට පනවනු ලබන දඬුවම පිළිගෙන එයට අනුකූලව සදාචාරාත්මකව කටයුතු කරනු ඇත යන විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය කළ යුතුව තිබුනේ අදාළ ක්‍රීඩකයාට දැඩිලෙස අවවාද කොට පැනවුන තරග තහනම නිසි පරිදි ක්‍රියාත්මක වන්නට ඉඩ සැලසීම ය. මා විශ්වාස කරන පරිදි අනෙකුත් උදාහරණවලට අදාල නීතිරීති ක්‍රියාත්මක වියයුත්තේ ද එසේම ය. රටක නීති පද්ධතියක් තිබෙන විට අපේක්ෂා කෙරෙන්නේ සියළුම රටවැසියන් එයට අනුකූලව කටයුතු කිරීමත් නීතිය කඩවන අවස්ථාවලදී ඊට නියමිත දඬුවමට යටත් වීමත් ය. කිසිවකුත් සිය කැමැත්තෙන් දඬුවමකට යටත් වීමට ඉදිරිපත් නොවූව ද එම දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තෙරපීම මතු වන්නේ අදාල රටෙහි සමාජය තුළින්ම ය. එහෙත් සමාජය නීතියෙන් රිංගා යාම හපන්කමක් හෝ තමන්ට අදාළ නොවන දෙයක් සේ සළකා නිහඬ වන්නේ නම් එරටෙහි නීති පද්ධතියට කොතරම් සංශෝධන ගෙන ආවත් පලක් වන්නේ නැත. 

මහජන දේපල අයතා ලෙස භාවිත කිරීමට අදාළ නඩු මූලික අවස්ථාවේදීම ප්‍රතික්ෂේප වන ස්වභාවයක් පසුගිය කාලයේ දක්නට ලැබින. ඊට එල්ල වූ චෝදනාව වූයේ සිතාමතාම අඩුපාඩු සහිතව නඩු ගොනු කිරීම නිසා එලෙස වන බව ය. ලේඛකයෙකු කරන ලද නිර්මාණයකින් ආගමට අපහාස වූයේ යයි චෝදනා ගොනු කරනු ලැබූයේ ICCPR පනත යටතේ ය. වරදකරු වුවහොත් අවුරුදු දහයක සිර දඬුවමක් නියම කළ හැකි ය.  එහෙත් හාමුදුරු කෙනෙකුට එම චෝදනාවම එල්ල වූ විට නඩු පවරනු ලබන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආ යටතේ ය. විඳින්නට සිදුවන සිරදඬුවම එක් චෝදනාවකට  අවුරුදු දෙකකි.

ඉදිරියේ බලයට පත්වීමට බලාපොරොත්තු වන විපක්ෂ දේශපාලන සංධාන සියල්ලම තමන් බලයට පත් වූ විට නඩු පවරා දූෂිත දේශපාලනඥයින් හා නිලධාරීන් සොරා කෑ ජාතික ධනය ආපසු පවරාගෙන එයින් රට සුඛිත මුදිත කිරීමට සපත කර හමාර ය. එහෙත් රටෙහි පවත්නා නීතියට ගැන අවබෝධයක් ඇති හා වංචනිකයින් එයින් රිංගන විට ඒ ගැන සවිඤ්ඤාණකව ප්‍රතික්‍රියා දක්වන පුරවැසි ප්‍රජාවක් රටක බිහිවන තුරු ඒ බලාපොරොත්තු සියල්ල සිහිනයක් ලෙසම පවතිනවා සිකුරු ය.   


          

   





    

  

       

No comments:

Post a Comment

හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය

ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය ...