රූපය: Bruce Davidson, ‘Iran’, archival pigment print (1964)

බොහෝ දෙනෙක් රොහාන් සම්බන්ධයෙන් ලියා ඇති දේ පදනම් වන්නේ රොහාන් සමග ඔවුනට ඇති පුද්ගලික සම්බන්ධය මත මිස ඔහුගේ අදහස් මත නොවන බව දැන් ඉඳුරා පැහැදිළි වේ (මෙයට ව්‍යාතිරේක තිබුණු බව මෙමගින් ප්‍රතික්ෂේප කරන්නේ නැත). ඒවා කියවන විට අපට සිතෙන්නේ මිතුරන් සමග මත්පැන් පානය කිරීම, අල්ලාප සල්ලාපයේ යෙදීම වැනි දේ හැර වෙනත් දෙයක් රොහාන් පසුගිය දශක හතරක කාලය තුළ කර නොමැති බවයි. එම අර්ථයෙන් මෙහිදී රොහාන් වැඩියෙන්ම අසාධාරණයට ලක් වන්නේ ඔහුගේ මුස්ලිම් සම්භවය වෙත ඔහුගේ ක්‍රියාකාරිත්වය ඌණනය කරන ජාතිවාදීන්ගෙන් නොව ඔහු වෙනුවෙන් පෙනී සිටින මිතුරන්ගෙනි – අන් සියල්ලට පෙර රොහාන් බේරා ගැනීමට සිදුව තිබෙන්නේ ඔහුගේ “හිතවතුන්ගෙනි”.

මෙයට අලුතෙන්ම එකතු වී ඇති ප්‍රපංචය වන්නේ රොහාන් ගේ අවසාන කටයුතු කිරීමට සම්බන්ධ වූ ශබීර් මොහොමඩ් නම් තරුණයෙක් රොහාන් හට බලෙන් ඉස්ලාම් අනන්‍යතාවයක් ලබා දීමයි. මේ අනුව දැන් නාටකය පරිසමාප්තියට පත්ව තිබේ. ‘දේශපාලනිකව නිවැරදි’ ප්‍රජාව දැන් මෙම තරුණයා සමග එක පෙළට සිටගෙන සිටින අතර ‘ජාතිවාදීන්’ ඔවුන්ට නොනවතින රැල්ල ප්‍රහාරයක් එල්ල කරමින් යයි (අප මෙහිදී කතා කරන්නේ සමස්ත කතාන්දරයේ ඓන්ද්‍රීය පාර්ශවකරුවෙක් වූ කපිල ක්‍රිශාන්ත සහෝදරයා වැනි අය සම්බන්ධයෙන් නොව ෆේස්බුක්-අනන්‍යතා-ඉල්ලුම් කරුවන් ගැනයි – කපිලලා එම තරුණයාගේ ප්‍රායෝගික මැදිහත්වීම අගය කිරීමේ අර්ථය අපට හොඳින් පැහැදිළි වෙයි). එම නිසාම දැන් ජාතිකවාදීන් ද සිටින්නේ මහත් සැනසිල්ලෙනි. දැන් ඔවුන්ට ‘රොහාන්ගේ මුස්ලිම් බව’ අර්ථකථනය කරන්නේ සාධනීයව ද නිශේධනීයව ද, රොහාන් කළ යුතුව තිබුනේ මෙය සැඟවීම ද විවෘතව ප්‍රකාශ කිරීම ද, එය සැඟවූයේ ඇයි ද ආදි වූ තීරණාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් අවසානයකින් තොරව වාද කර ගත හැක.

මේ සියලු දෙනා සිදු නොකරන දෙයක් තිබෙන්නේ නම් ඒ රොහාන් සත්‍ය වශයෙන්ම ඉදිරිපත් කළ අදහස් මොනවාද කියා විමසා බැලීමයි (අපට මේ සියලු දෙනාට කියන්න තිබෙන්නේ කරුණාකර ‘ආදරයේ යථාර්ථය’, ‘ආසියාතික බෞද්ධ ස්ත්‍රිය’, ‘පෙම්වතා ගේ අර්බුදය’, ‘අවිඥානයේ ඉතිහාසය’ වැනි රොහාන් ගේ කේන්ද්‍රීය ලිවීම් කියවන්න කියා පමණි).

කෙනෙක් රොහාන් ගේ මේ අදහස් විධිමත්ව කියවන්නේ නම් අපට හමුවන්නේ කුමක්ද? වඩාත් සරල ලෙස, රොහාන් පෙරේරා සත්‍ය වශයෙන්ම පෙනී සිටි අදහස් වන්නේ මොනවාද? මේ තිබෙන්නේ මේ ප්‍රශ්නයට උත්තර දීමට ගන්නා සංක්ෂිප්ත ප්‍රයත්නයකි. නමුත් අප මෙහිදී කරන්නේ රොහාන් ට ‘හැඳින්වීමක්’ ලබා දීම නොවේ. රොහාන් ඇසුරු කර ඇති ඕනෑම අයෙක් සිය දැනුම ‘ලාභෙට බෙදා දෙන එකට’ ඔහු දැක්වූ විරෝධය හොඳින් හඳුනනු ඇත. මෙවැනි ‘ලාභ වැඩ’ කිරීම වෙනුවට අප මෙහි උත්සාහ කරන්නේ අප පෙනී සිටින නිශ්චිත ආස්ථාන වල දෘෂ්ඨිකෝණයෙන් රෝහානියානු චින්තනය සිතියම් ගත කිරීමටයි. වඩාත් නිශ්චිතව සහ ඍජුව කියන්නේ නම් මෙය රොහානියානු සිතීම පිළිබඳව විවේචනාත්මක කියවීමකි.

මෙහිදී හෙළි කළ යුතු වැදගත් කොන්දේසියක් වන්නේ මේ ‘සිතියම’ 2003 පමණ කාලය දක්වා රොහාන් ගේ ලිවීම් වලට සීමා වන බවයි. එම නිසා මෙහි මූලික උපකල්පනයක් තිබෙනා බව අප විවෘතව පිළිගත යුතුය. එම උපකල්පනය වන්නේ මෙහි දැක්වෙන ස්ථාවරය 2003 න් පසුව රැඩිකල් පරිවර්තනයකට යොමු නොවූ බවයි. (මෙය – විමර්ශක සහිතව ඉදිරිපත් කරන අදහස් අනුව – වෙනස් කරගැනීමට අප සූදානම් වෙයි).

අප පළමුවෙන් පැහැදිළි කරගත යුත්තේ රොහාන් ගේ අදහස් වල ඓතිහාසිකත්වය කුමක්ද යන්නයි. මෙවැනි අදහස් ඔහු වෙත අහසින් පාත් වූ අදහස් නොවේ. රොහාන් ගේ මළ පොතේ අකුරක් කියවා නැති අය නිර්ලජ්ජිත ජාතිවාදීන් ලෙස කියන ආකාරයට මෙම අදහස් වල ඓතිහාසිකවය වන්නේ ඔහුගේ ‘ඉස්ලාම් පසුබිම ද’?

මෙයට කෙටි පිළිතුර වන්නේ එය එසේ නොවනා බවයි. රොහාන් තුළින් මූර්තිමත් වන්නේ ඉතා පැහැදිළිව, නිශ්චිත ඓතිහාසිකත්වයකින් පැන නැගුනු සිතීමකි. විදර්ශන කියූ ලෙසම මෙම ඓතිහාසිකත්වය වන්නේ 80 දශකයේ අවසානයේ දී විසිවෙනි සියවසේ මාක්ස්වාදී ව්‍යාපෘතිය බිඳ වැටීමට ලක් වීමයි. ඉන් පසුව අපගේ සාමූහික අනාගතය පදනම් කරගත යුතු ඉලක්කය විය හැක්කේ කුමක්ද? රොහාන් පිළිතුරක් දීමට උත්සාහ කළ පුළුල් ප්‍රශ්නය වන්නේ මෙයයි. නමුත් මේ ඓතිහාසිකත්වය අපට දර්ශනයේ දෘෂ්ඨිකෝණයෙන් වඩාත් නිශ්චිත කළ හැකිය: රොහාන් පෙරේරා යනු සහසම්බන්ධතාවාදී යුගයේ පරිසමාප්ත මොහොතක් ලෙස ගත හැකි පශ්චාත්නූතනවාදී දර්ශනවාදයන් වල ප්‍රමුඛ ලාංකික ප්‍රකාෂකයෙකි.

නමුත් රොහාන් යනු එක්තරා ආකාරයකට ‘පරස්පර විරෝධී’ පශ්චාත්නූතනවාදියෙක් කියා අප මෙයට ඉක්මන් එකතු කිරීමක් ද කළ යුතුය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඔහු අකණ්ඩව මාක්ස්වාදය වෙනුවෙන් පක්ෂපාතී වීමට උත්සාහ කිරීමයි. මෙම පක්ෂපාතීත්වයේ නිශ්චිත ස්වරූපය රොහාන් ගේ ලිවීම් වල ඓතිහාසික විකාශනය සමග වෙනස් වෙයි. ආරම්භයේ දී (නිදර්ශනයක් ලෙස “ආදරයේ යථාර්ථය” රචනයේ) මෙය වඩාත් සම්භාව්‍ය – එංගල්සියානු – අනිවාර්යයතාවාදී ස්වරූපයක් ගන්නේ නම් පසුකාලීනව (විශේෂයෙන් “ආසියාතික බෞද්ධ ස්ත්‍රිය” වන විට) මෙය වඩාත් විවෘත, අහඹුබවක් වෙත දිශානත වෙයි. නමුත් මෙහිදී වැදගත් වන්නේ මෙවැනි වෙනස් වීම් මගින් අවසාන ඉලක්කයේ වෙනසක් නොවනවා යන්නයි. එම අවසාන ඉලක්කය අපට මෙසේ සම්පිණ්ඩනය කළ හැක: ඉතිහාසය පරිසමාප්තියට පත්වන්නේ සමාජය ස්ත්‍රීකරණය වූ විටයි. එම නිසා මානව විමුක්තිය පිළිබඳව අවසානාත්මක බලාපොරොත්තුවක් රොහාන් ගේ සිතීමේ අකණ්ඩව ඉතිරි වෙයි. ඔහු ‘පරස්පර විරෝධී’ පශ්චාත්නූතනවාදියෙක් වන්නේ මේ නිසාය. ඔහු මහා ආඛ්‍යාන පිළිබඳව – ඔහුටම ආවේණික සියුම් ප්‍රවේශයකින් – සිතා බැලීම කිසිදා අත්හරින්නේ නැත.

නමුත් මෙය පශ්චාත්නූතනවාදී ධාරාවට අයත් වන සිතීමක් කියා හඳුනා ගැනීමට මෙය කිසිදු ආකාරයක බාධාවක් නොවේ. සත්‍ය වශයෙන්ම මෙය රොහාන් විසින් අනුදත් – සහ, සමහරවිට, ඔහු අහඹු ලෙස සම්බන්ධ වූ සාමූහිකයන් වල බලපෑම නිසා සිදුකළ – නිශ්චිත දේශපාලනික තෝරාගැනීමේ ප්‍රායෝගික ප්‍රතිඵලයකි. නමුත් මෙම දේශපාලනික තෝරා ගැනීම අපට ඉතා පහසුවෙන් ‘අනන්‍යතා දේශපාලනය’ යන වර්ගීකරණය යටතේ ගොනු කළ හැක. අනෙක් අතට ‘අනන්‍යතා දේශපාලනය’ යනු පශ්චාත්නූතනවාදී දාර්ශනික ප්‍රවේශයේ දේශපාලනික අර්ධය ලෙස අපට නම් කළ හැක. අපි මෙය පැහැදිළි කර ගනිමු.

රොහාන් ට අදාළව මෙම අනන්‍යතා දේශපාලනයේ තෝරා ගැනීම අපට ‘ස්ත්‍රිය’ ලෙස නම් කළ හැකි වේ (‘ස්ත්‍රීවාදය’ යන වචනය සම්බන්ධයෙන් ඔහුට තිබෙන්නේ විවේචනයකි). මෙහිදී තීරණාත්මක කරුණ වන්නේ මෙයයි: ‘ජාතිය’ වැනි අනන්‍යතා දේශපාලනයකට සාපේක්ෂව ගත්විට ‘ස්ත්‍රිය’ යනු ගෝලීය ලෙස පැතිරුණු අනන්‍යතා කාණ්ඩයක් වෙයි. එම නිසා සියලු දෙනා සිය ‘ජාතික අනන්‍යතාවය’ යටතට පැමිණි පසු ‘අවසාන විසඳුම’ ලැබෙනවා කියා ෆැන්ටසිකරණය කරන ජාතිකවාදියාට මෙන් මෙහිදී භූගෝලීය සීමාවකට යටත් වීමට රොහානියානු ‘ස්ත්‍රී අනන්‍යතාවයට’ සිදු වන්නේ නැත. ස්ත්‍රීන් ලෝකයේ සෑම තැනම සිටින නිසා සියලු දෙනා ස්ත්‍රීකරණය වූ පසු එය සමස්ත මානව වර්ගයාටම බලපාන සිදුවීමක් වනු ඇත. එය පරිපූර්ණ මානව විමුක්තියක් වන්නේ මේ නිසාය.

නමුත් මෙවැනි ප්‍රායෝගික ප්‍රතිවිපාකයක් මගින් මේ සමස්ත ප්‍රවේශය දාර්ශනික අර්ථයෙන් පශ්චාත්නූතනවාදී වනවා යන්න ප්‍රතික්ෂේප වන්නේ නැත. අන් සියල්ලට වඩා මෙහිදී කේන්ද්‍රීය වන්නේ රොහානියානු චින්තනය යනු ‘තනි කේවල සත්‍යය’ යන අදහසට එරෙහිව ගසන කැරැල්ලක් වීමයි. පශ්චාත්නූතනවාදය යනු නිශ්චිත තාක්ෂණික අර්ථයෙන් ගත්විට ‘දර්ශනයක්’ නොව ‘ප්‍රති-දර්ශනයක්’ (‘anti-philosophy’) කියා අප කිව යුත්තේ මෙම නිසාය. රොහානියානු ලිවීම් අධ්‍යයනය කර තිබෙන කිසිවෙකුට මෙය තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. නැවත නැවතත් රොහාන් අපට පෙන්වා දීමට උත්සාහ කරන්නේ දර්ශනයේ සීමාවයි, දර්ශනයේ දුගී බවයි, දර්ශනයේ අර්බුදයයි (“පෙම්වතා ගේ අර්බුදය”). අපගේ භාෂාවෙන් කියන්නේ නම් රොහාන් උත්සාහ කරන්නේ දැනුමේ කරුණුමයභාවය පෙන්වා දීමටයි. රොහානියානු චින්තනයට අනුව අපේ දැනුම පසුකර යා නොහැකි ලෙස අපේ ලිංගික අනන්‍යතාවය විසින් සීමා කර තිබේ. එම නිසාම ‘දර්ශනයට’ මෙම නෛසර්ගික සීමාවෙන් ඔබ්බට ගොස් ‘කේවල සත්‍යයක්’ වෙත ළඟා වීමට හැකි වන්නේ නැත. එම නිසා අපේ දැනුමේ සීමාවන් යටතේ අප සත්‍ය වනවා කියා ගන්නා දේට රැඩිකල් ලෙස වෙනස් වූ ‘විකල්ප සත්‍යයන්’ වල වියහැකිභාවය අපට ප්‍රතික්ෂේප කළ හැකි නොවේ. රොහානියානු භාෂාවෙන් අපට මේ රැඩිකල් අනේකත්වය – තවත් නාමකරණයන් අතර – ‘ස්ත්‍රී සිතුවිලි’ ලෙස නම් කළ හැකිය.

මේ මගින් අපට නිරාවරණය වන්නේ පශ්චාත්නූතනවාදී දර්ශනවාදයන් වල ප්‍රධාන තේමාවකි. එමගින් පෙන්වා දෙන්නේ එකිනෙක සම්බන්ධ කළ නොහැකි විවධ අර්ථ රෙජීම වල සමාන්තර පැවැත්මයි. රොහානියානු සිතීම තුළ ‘පිරිමි චින්තනයට’ කිසිදා තේරුම් ගත නොහැකි විකල්ප අර්ථ රෙජීමයක් ලෙස ‘ස්ත්‍රීත්වය’ සැලකෙන්නේ මෙම නිසාය. රෝහානියානු සිතීමේ අති මූලික වර්ගීකරණයන් (‘පිරිමියා-ගැහැණිය’, ‘දර්ශනය-ජීවිතය’, ‘ස්ථිතිකත්වයන්-ක්‍රියාකාරිත්වය’, ‘මනස-ශරීරය’, ‘විඥානය-භෞතිකය’ ආදී ලෙස) සංවිධානය වූයේ ස්ත්‍රීත්වය සතු වූ මේ විකල්ප අවබෝධය වටාය. අපට මෙය ‘සත්‍යය සාපේක්ෂ වීමේ’ ඍජු ප්‍රතිවිපාකය ලෙස නම් කළ හැක.

තරමක් අමතර කරුණක් වුවත් මෙහිදී මෙයද සඳහන් කළ යුතුය. රොහාන් පෙරේරා ගේ කිසිදු ලියවිල්ලක් විධිමත්ව කියවා නොමැති නලින් ද සිල්වා ගේ අනුගාමිකයන් මෙහිදී රොහාන්ව විවේචනය කිරීම බෙහෙවින් උත්ප්‍රාසජනක වෙයි. මෙයට හේතුව වන්නේ නලින් ද සිල්වා සහ ඔහුගේ අනුගාමිකයන් සිතනවාට වඩා රොහාන් අතිශය සංකීර්ණ ලෙස ඔවුන්ගේ අදහස් සමග දාර්ශනිකව (දේශපාලනිකව නොවේ) සමීප වීමයි. මෙය කිසි සේත්ම රොහාන් නොදැනුවත්ව සිදු වූ දෙයක් ද නොවේ. (සරල කරුණුමය අර්ථයෙන් පවා ‘සමාජ විද්‍යාඥයන් ගේ සංගමය’ වැනි ආයතන විසින් ජාතික චින්තනවාදය ප්‍රතික්ෂේප කළ ආකාරය ඔහු අතින් දරුණු ලෙස විවේචනය විය. ඔහුගේ අකණ්ඩ සහ එතරම් පහසුවෙන් මතුපිටට නොපෙනෙන බටහිර විරෝධයක් සහ පෙරදිග පක්ෂපාතීත්වයක් විය. රොහාන් ගෙන් ‘පසුකාලීන දීප්ති’ තීරණාත්මක ලෙස වෙනස් වන්නේ මෙතැන දී ය.)

කෙසේ වුවත්, අපගේ ප්‍රස්තූතයට අදාලව ගත්විට, රොහාන් නලින් ද සිල්වා ට බෙහෙවින් සමාන වන්නේ අනන්‍යතා දේශපාලනය යන ගැටලුවේ දී ය. නලින් ද සිල්වා ‘ජාතියේ සාරය’ සොයා ගිය විට රොහාන් ‘ස්ත්‍රිත්වයේ සාරය’ සොයා ගියේය. නලින් ගේ විශ්ලේෂණ වල වඩාත් ආකර්ෂණීය මොහොතවල් වන්නේ ඔහු අතින් සිංහල ගැමි සංස්කෘතියේ විවිධ ව්‍යවහාරයන් බටහිර සංස්කෘතිය (ලෙස ඔහු හඳුන්වන දෙය) තුළ තේරුම් කළ නොහැකි ආකාරය පෙන්වා දීමෙහි වන්නේ නම් රෝහානියානු විශ්ලේෂණ වල වඩාත් ආකර්ෂණීය මොහොතවල් අපට හමු වන්නේ ‘ගැහැණු වැඩ’ පිළිබඳව ඔහුගේ දීර්ඝ විස්තරාත්මක විවරණයන් තුළයි.

රොහානියානු දේශපාලනය වඩාත් බලපෑම්සහගත වූයේ මෙම කලාපයේ දී කියා අපි දනිමු. නමුත්, අනෙක් අතට, මෙම දේශපාලනයේ ඓතිහාසික සීමාව වන්නේ ද මෙයයි. ජාතියේ සාරය ද පොදු විශ්වීය අර්ථයෙන් අපට සොයා ගත නොහැකි වන්නේ යම් සේද ස්ත්‍රිත්වයේ සාරය ද අපට සොයා ගත නොහැකි වන්නේ මේවා දැනුමෙන් රැඩිකල් ලෙස බාහිරව පවතින නිසාය. වඩාත් නිශ්චිතව කියන්නේ නම් ‘බටහිර චින්තනය’ තුළ සිට අපට කිසිදා සිංහල ජාතියේ සාරය සොයා ගත නොහැකි වන්නේ එය එම දැනුමේ සීමාවෙන් බාහිරව පවතින නිසාය. එය පවතින්නේ වෙනත් ‘චින්තනයක්’ තුළයි. අනෙක් අතට සිංහල චින්තනය තුළ සිට අපට කිසිදා බටහිර ජාතිකත්වයේ සාරය තේරුම් ගැනීමට ද නොහැක. එලෙසම රොහානියානු ස්ත්‍රිත්වය තිබෙන්නේ පිරිමි දැනුමෙන් රැඩිකල් ලෙස පරිබාහිරත්වයක් ලෙසයි. පිරිමියාට එහි ශේෂයන් හඳුනා ගත හැකි වුවත් එය කිසිදා ‘එහිම-ස්වරූපයෙන්’ ගෝචර වන්නේ නැත.

රොහානියානු දේශපාලනයට සම්බන්ධ වූ ඕනෑම කෙනෙක් මෙහි ප්‍රායෝගික ප්‍රතිවිපාක පහසුවෙන් හඳුනා ගනු ඇත. බොහෝ දෙනා අතර කතා බහට ලක්වන රොහාන් ගේ ‘ගූඨත්වය’ ප්‍රභවය වන එක් මූලයක් වන්නේ මෙයයි. නැවතත් මෙහිදී අපට මෙය නලින් ද සිල්වා ගේ සිතීමේ ඓතිහාසික සිරවීම සමග සන්සන්ධනය කළ හැක. බටහිර චින්තනයට ළඟා විය නොහැකි සිංහල ජාතික චින්තනය තුළ ‘දැනුම නිෂ්පාදනය කිරීමට’ ගත් ඔහුගේ ව්‍යාපෘතිය අවසාන වූයේ පේන කරුවන්, ‘දෙවිවරුන්’ සමග ඍජුව සන්නිවේදනය කරන්නන් ආදීන්ගෙන් ‘දැනුම ලබා ගැනීමෙනි’ (සීමිත ‘ශාස්ත්‍රාලීය පත්‍රිකා’ කීපයක් ලිවීමට නලින් ද සිල්වා සමත් වීමෙන් සිය ව්‍යාපෘතියේ ආරම්භයේ දී පොරොන්දු වූ ජාතික මට්ටමින් බලපෑමක් ඇති කළ යුතු ‘අපේ දැනුමක්’ ගොඩ නැගීමට ඔහු මුළුමනින් අසමත්ව තිබෙනවා යන්න කිසිසේත් සැඟවිය නොහැක). මෙලෙසම රොහානියානු සිතීම විසින් ස්පර්ශ කරන්න උත්සාහ කළේ පිරිමි දැනුමට කිසිදා හසු නොවන, එම දැනුමින් කිසිදා තේරුම් ගත නොහැකි, ‘ස්ත්‍රී සිතුවිලි’ යන්නයි. එය නෛසර්ගිකවම තාර්කිකත්වය ඉක්මවා යන්නක් විය. එසේත් නැතිනම් එය ‘විකල්ප තාර්කිකත්වයක්’ ඉල්ලා සිටින සිතීමක් විය. පිරිමි-රේඛීය-තාර්කික චින්තනයට එය ස්පර්ශ කළ හැකි වන්නේ නැත (අවශ්‍යනම් එය ‘ස්ත්‍රී චතුස්කෝටිකයක්’ කියා අපට නම් කළ හැක).

සැකයකින් තොරවම මින් අදහස් වන්නේ නලින් ද සිල්වා සහ රොහාන් පෙරේරා එකම අරමුණක් වෙනුවෙන් වැඩ කළ බව නොවේ. මෙම කරුණ මෙහිදී අපි දැඩි සේ අවධාරණය කරමු. මේ දෙදෙනා අයත් වන්නේ දේශපාලනිකව කඳවුරු දෙකකට බව ඕනෑම කෙනෙකුට පැහැදිළි වේ. මාක්ස්වාදයෙන් රොහාන් ගේ කණ්ඩනය තරමක් සියුම් එකක් වන්නේ නම් නලින් ද සිල්වා ගේ වෙන්වීම වඩාත් පරිසමාප්ත එකකි. එසේත් නැතිනම්, රොහාන් අවසානය තෙක් දේශපාලන විශ්වීයත්වය නියෝජනය කරන්න උත්සාහ කළා නම් නලින් ද සිල්වා ගේ දේශපාලනය ඉක්මනින් දේශපාලන විශ්වීයත්වයෙන් වෙන් විය. නමුත් මෙහිදී මතක තබා ගත යුතු දෙයක් වන්නේ ඔහුගේ ‘චින්තන ව්‍යාපෘතිය’ ආරම්භයේ දී ‘සමාජවාදයට මාක්ස්වාදී නොවන අර්ථකථනයක්’ ලබා දීම අරමුණු කරගත් බවයි.

නමුත්, නැවතත්, මෙහිදී දේශපාලනිකව නලින් ද සිල්වා සහ රොහාන් පෙරේරා අතර ඇති පරතරය අහසට පොළොව වනවා යන්න මෙහිදී කිසිදු අයුරකින් ප්‍රතික්ෂේප කරන්නේ නැත. විශේෂයෙන් එල්.ටී.ටී.ඊ යුධ අභියෝගයට එරෙහිව දකුණේ අන්තවාදී වාර්ගික දේශපාලනය ශක්තිමත් ලෙස සංවිධානය වන විට එහි නියමු භූමිකාවක් වෙත නලින් ද සිල්වා ගේ ව්‍යාපෘතිය තල්ලු වීමත් සමග එය විමුක්ති දේශපාලනයේ විශ්වීයත්වයෙන් පරිපූර්ණ ලෙස වෙන් විය. නමුත් මින් අදහස් වන්නේ අනන්‍යතා දේශපාලනය කිසිදා දේශපාලන විශ්වීයත්වය නියෝජනය නොකරන බව නොවේ. සත්‍ය වශයෙන්ම මෙය ‘ජාතික අනන්‍යතාවය’ යන සුවිශේෂ දේශපාලනයට පවා පොදු වන්නකි. යටත් විජිත විරෝධී අරගලයක් වැනි සන්දර්භයක් තුළ ජාතික අනන්‍යතාවය සඳහා දේශපාලන විශ්වීයත්වය නියෝජනය කිරීමේ හැකියාව තිබේ (සත්‍ය වශයෙන්ම ‘ජාතික චින්තන ව්‍යාපෘතිය’ විමුක්ති දේශපාලන විශ්වීයත්වයේ ප්‍රකාශනයක් ලෙසත් විභවාත්මකව තේරුම් ගත හැකි බව රොහාන් පෙරේරා විසින්ම පෙන්වා දී ඇති බව මේ ඉතිහාසය ගැන මෙලෝ බැලුම්බෝලයක් නොදන්නා අපේ පැරණි සංවාද භාෂකයන්ට සිහිපත් කළ යුතුය).

නමුත් රොහානියානු දේශපාලනය මෙවැනි අර්ථයකින් කිසිදා දේශපාලන විශ්වීයත්වයෙන් වෙන් වූයේ නැත. ඒ වෙනුවට මෙය, සැකයකින් තොරවම, 90 දශකයේ දී බිමට සමතලා වී තිබුණු මානව විමුක්තිය පිළිබඳව අදහස නොනිවී දල්වා සිටීම වෙනුවෙන් සිදු කළ අතිශය කේන්ද්‍රීය මැදිහත්වීමකි. අපද ඇතුළුව බොහෝ දෙනෙක් 90 දශකයේ පෝෂණය වූයේ මේ ව්‍යාපෘතියෙන් බව පැහැදිළි වේ. අන් සියල්ලට වඩා ‘පිරිමි දර්ශනවාදයන්’ සහ ‘පිරිමි මනෝවිශ්ලේෂණවාදයන්’ අකණ්ඩව හැදෑරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් රොහාන් කළ පෙනී සිටීම මෙහිදී වැදගත් වෙයි. රොහානියානු සිතීම සීමා වූ ඓතිහාසික සිරවීම කුමක්ද කියා අපට ග්‍රහණය කර ගත හැකි වූයේ රොහාන් (සහ මෙතැන දී දීප්ති ද මෙයට එකතු කළ යුතුය) විසින් විවර කළ මේ මංපෙත් ඔස්සේ ගමන් කිරීම නිසාය.

මේ අනුව අපට අපගේ මූලික තර්කය මෙසේ ලියා තැබිය හැක. රොහානියානු දේශපාලනයේ සීමාවන් ලකුණු කිරීමේ දී සැලකිය යුතු සමාජ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, දේශපාලන සහ ආර්ථික කොන්දේසි බොහෝ තිබෙන්නේ වුවත් ඒ අතර මෙයට නිශ්චිත දාර්ශනික හේතුවක් ද තිබේ. එම හේතුව වන්නේ සත්‍යය යන්න දැනුමේ මිනුම්දඬු ඔස්සේ ළඟා විය නොහැකි අනේකත්වයක් යන මූලික උපකල්පනයයි. රොහාන් ට බැරෑරුම් ලෙස අභිමුඛ නොවූ බදියු සහ මෙයසූ වැනි දාර්ශනිකයන් මෙන්ම මනෝවිශ්ලේෂණය සඳහා දාර්ශනික විවරණයක් කළ ජිජැක් ඇතුළු ස්ලෝවේනියානු ගුරුකුලයත් අපට පෙන්වා දෙන්නේ මෙහිදී වෙනත් තෝරා ගැනීමක් කිරීමේ හැකියාවයි.

සංක්ෂිප්ත වශයෙන් අපට එය මෙසේ කිව හැක. නිසැකවම, දාර්ශනික දැනුමේ සීමාවන් තිබේ. නිසැකවම, දාර්ශනිකයාගේ වපසරියට අයත් නොවන බුද්ධිමය ක්‍රියාකාරිත්වයන් තිබේ. දේශපාලනය යනුම මේ සඳහා ස්වර්ණමය නිදසුනක් වන්නේ එය දර්ශනයට විකල්ප වූ ඇකඩමික් දැනුමක් හෝ (ස්වභාවික විද්‍යාවන්, සමාජීය විද්‍යාවන් වැනි) නොවන නිසාය. එම නිසාම, සහ නැවතත් නිසැකවම, අපට අනන්‍යතා දේශපාලනය, දේශපාලන විශ්වීයත්වයේ අව්‍යාජ නියෝජනයන් වන බව ද පිළිගත හැක. එය සෑම විටම තීරණය වන්නේ දේශපාලනයේ අභ්‍යන්තරය තුළ මිස දාර්ශනිකයාගේ සිතීම තුළ නොවේ.

නමුත් මින් අදහස් වන්නේ කිසිදු අනන්‍යතාවයක් මානව වර්ගයාගේ විමුක්තියේ අනිවාර්යය සාධක වනවා යන්න නොවේ. මෙයට හේතුව වන්නේ, අන් සෑම පැවැත්මක් හා සම ලෙසම, මිනිසාගේ ජාතික, ලිංගික අනන්‍යතාවයන් ද අනිවාර්යය නොවීමයි. එම නිසාම අපට මානව විමුක්තිය යන්න කිසිදු ලෙසකට මෙවැනි සීමාකාරී එක් පැවැත්මක් වෙත කොටු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති වේ. ඒ වෙනුවට අපට දැන් එය වඩා රැඩිකල් පරිවර්තනයක් ලෙස – සත්‍ය වශයෙන්ම නව ලෝකයක් ලෙස – සිතා බැලීමේ හැකියාව තිබේ. මෙවැනි බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන අපට දැන් රොහාන් විසින් නොනිවී දල්වා සිටි, තවත් අය විසින් වැඩිදුරටත් පෝෂණය කළ, බහුවිධ විමුක්ති අරගල වල නියැලීම ‘තාර්කිකත්වය’ අභ්‍යන්තරයේ සිට තේරුම් ගැනීමට ද අවස්ථාවක් තිබේ. එම නිසාම තවදුරටත් මෙහි ආගමික අරුත් වලට නිරන්තරයෙන් අත වනන ගූඨවාදයක් අඩංගු වන්නේ නැත.

දාර්ශනික භෞතිකවාදීන් ලෙස අපට දැන් මෙසේ නොපැකිලිව කිව හැක: රොහාන් අපි ඔබට දැනට සමු දෙමු. සමහරවිට, අනාගතයේ මතු යම් දවසක, නව ලෝකයක් බිහි වන දිනක, ඔබ සහ අප මුණ ගැසෙනු ඇත!

වංගීස සුමනසේකර