Lauraගේ ශතකය අප්‍රිකාවට ජය ගෙන එයි

Sri Lanka Women's Tour of South Africa 2024

46

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දෙවැනි එක්දින තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අද (14) සමත් වුනා. 

ශ්‍රී ලංකා වෙලාවෙන් ඊයේ (13) සවස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාව සතු වූ අතර, ඔවුන්ගේ තීරණය වුනේ ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කිරීමයි.  

ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණු නමුත් විශ්මිගේ ඉනිම ලකුණු 7කට සීමා වුනා. 

කෙසේ වෙතත් චමරි සිය සුපුරුදු රිද්මයේ රැඳෙමින් අර්ධ ශතකයක් කරා පිය මැනීමට සමත් වූ අතර, ඇය විසින් පන්දු 69ක් තුළ ලකුණු 51ක් වාර්තා කර ගත්තා. 

මීට අමතරව ශ්‍රී ලංකා ඉනිමේ අංක හය පිතිකාරිණිය වූ කවීෂා දිල්හාරි පන්දු 41ක් තුළ ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර, එමෙන්ම නිලක්ෂිකා සිල්වා ලකුණු 36කින් සහ හන්සිමා කරුණාරත්න ලකුණු 33කින් ශ්‍රී ලංකා ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා. 

මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 49 පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 229ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමට පෙරමුණ ගත් Nadine De Klerk සහ Ayabonga Khaka විසින් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 230ක ඉලක්කය හඹා යාම සඳහා Laura Wolvaardt සහ Lara Goodall පිටියට පිවිසුනත් Laraගේ ඉනිම ද ලකුණු 7කට සීමා වුනා. එයින් පසුව දකුණු අප්‍රිකානු ඉනිමේ 20 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන අතරේ ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 86ක් ලබා සිටි අතර, මේ මොහොතේ ස්වභාවය අනුව තරගයේ වාසිය දෙපිළට ම සම සමව බෙදී ගොස් තිබුණා. 

නමුත් මේ මොහොතේ Wolvaardt සමඟ කඩුල්ලේ එක් වූ Marizanne Kapp ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 147ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනේ තරගයේ ජය ස්ථීර කරවමිනුයි. 

මේ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසු වනවා. තරගාවලියේ තෙවන සහ අවසන් එක්දින තරගය අප්‍රේල් මස 17 වැනි දා පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<