නියමිත මාත්‍රාවට ගත යුතු සැලසුම්කරණ ඖෂධය


  • නිශාන්ත කමලදාස

ඔ්නෑ ම කටයුත්තක් කිරීමේ දී අප පළමු ව කරන්නේ එය සැලසුම් කිරීම ය. සමහරු එය කොළයක් පෑනක් රැගෙන කරන අතර තවත් අය එය මනසින් කරති. ඒ කටයුත්තට අදාළ සම්පත් මොනවා ද? ඒවා ලබා ගන්නේ කෙසේ ද? අරමුදල් කොපමණ අවශ්‍ය ද? ඒවා සම්පාදනය කර ගන්නේ කෙසේ ද? කවර දුෂ්කරතා මතු වනු ඇද්ද? ඒවා කළමනාකරණය කර ගන්නේ කෙසේ ද? කවර පාර්ශව වල සහය ලබා ගැනීමට සිදු වනු ඇති ද? ඒ සහය ලබා ගන්නේ කෙසේ ද? ඒ කටයුත්තට සාමාන්‍යයෙන් කොපමණ කාලයක් ගත වනු ඇති ද? ඒ කාලය කෙටි කළ යුතු ද? එසේ නම් ඒ කෙසේ ද? යන මෙකී නොකී ප්‍රශ්න වලට පිළිතුරු සැලසුමක ට අඩංගු වේ.

සමහර අය විස්තීර්ණ සැලසුම් හදන අතර තවත් අය සැකිල්ලකින් සෑහීමකට පත් වේ. පළමු අයට ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරතා අවම ය. ඒ ඒවා පිළිබඳ සිතා මතා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති නිසා ය. දෙවැනි අයට ලැබෙන නම්‍යශීලිත්වය වැඩි ය. මක් නිසා ද යත් කටයුත්ත ආරම්භ කළ විට කරුණු කාරණා වඩාත් පැහැදිලි වන නිසා ය.

සමහරු තම සැලැස්ම දේව වාක්‍යය ලෙස ගෙන ක්‍රියාත්මක කරන අතර තවත් අය එය මග පෙන්වන යමක් ලෙස, කටයුතු කෙරී ගෙන යන විට මකනයකින් මකා වෙනස් කළ හැකි දළ සැකිල්ලක් ලෙස සලකති. විශේෂයෙන් විස්තීර්ණ සැලැස්මක් හැදීමට ශ්‍රමය හා කාලය වැය කළ විට එය වෙනස් කිරීමට හිත හදා ගැනීම අමාරු නිසා විස්තීර්ණ සැලසුම් හදන අය ඒවා පහසුවෙන් වෙනස් කරන්නේ නැත.

සැලැස්මක වැදගත් ම අංගය වන්නේ ඒ කටයුත්ත කරන්නේ කුමන අරමුණකට ද යන්න ගැන නිශ්චය ලෙස දැන ගැනීම ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ විසඳන්නට යන්නේ කුමන ප්‍රශ්නය ද නැතිනම් ප්‍රයෝජනයට ගන්නට යන්නේ කුමන අවස්ථාව දැයි පැහැදිලි කර ගැනීම ය. මෙය නිරාකරණය කර නොගන්නා තාක් කොතරම් විස්තීර්ණ සැලැස්මක් නිර්මාණය කළ ද එයින් ලැබෙන ප්‍රයෝජනය අල්ප ය.

ඔබට වාහනයක් ගැනීමට අවශ්‍ය ය. ඔබ සතු ව ඇති මුදල් ප්‍රමාණය අනුව ඔබට මිල දී ගත හැක්කේ භාවිතා කළ වාහනයකි. දැන් ඔබ ඒ සඳහා සැලසුමක් හදයි. එවැනි වාහනයක් ගැන ඔත්තුවක් ඇත් නම් දෙන ලෙස ඔබ යහළුවන්ට කියන අතරේ එවැනි වාහන විකුණන ස්ථාන සොයා යෑම ද ඔබේ සැලැස්මේ එක් අංගයකි. අන්තර්ජාලයට පිවිස ඒවායේ මිල ගණන් සෙවීම ද ඊට ඇතුළත් ය. තවත් බොහෝ කරුණු මේ සැලැස්මේ තිබෙන්නට පුළුවන. එහෙත් ඔබේ අරමුණ ඇති වුනේ කුමන ප්‍රශ්නය විසඳීම උදෙසා ද? ඉතිරි සියල්ල ගැන සෙවීමට පෙර ඔබ විසින් ඒ ගැන සෙවිය යුතු ය.

ඔබ විසඳන ප්‍රශ්නය ප්‍රවාහන දුෂ්කරතා ය. ඒ සඳහා හොඳ ම විසඳුම වාහනයක් ගැනීම ද? වාහනයක් ගත් විට ඔබට කරන්නට සිදු වන අමතර වැඩ මොනවා ද? දරන්නට තිබෙන වියදම් මොනවා ද? ප්‍රවාහන දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා ඇති වෙනත් විකල්ප මොනවා ද? ඒවා හා මේ විසඳුම සංසන්දනය කර වාසි අවාසි විමසා ඔබ තෝරා ගත් අරමුණ ගැන නැවත විමසිල්ලක් කළ යුතු ය. ඔබ විවාහ වීමට අදහස් කරන්නේ නම් විවාහ මංගල්ලය සැලසුම් කිරීමට පෙර ඔබ විවාහ වීමට තෝරා ගෙන ඇති පුද්ගලයා නිවැරදි ද? විවාහ වීමට ගත් තීරණය නිවැරදි ද යන්න සෙවිය යුතු ය. සැලසුමේ සැබෑ ආරම්භය ඇත්තේ එතැන ය.

අප විසඳන්නට අදහස් කරන ප්‍රශ්නය හෝ ප්‍රයෝජනයට ගන්නා අවස්ථාව ගැන ද ඒ මත අප ගොඩ නගන අපේ අරමුණ නැත්නම් ඉලක්කය ගැන ද පැහැදිලි කර ගත් පසු ක්‍රියාත්මක සැලැස්මක් සෑදීමට පෙර ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට යෑමේ දී ඇති විය හැකි බාධා තර්ජන හා අවදානම් ගැන මනා වැටහීමක් ලබා ගත යුතු ය. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ලබා ගත හැකි සහය ගැන ද වැටහීමක් ලබා ගත යුතු ය. අප සතු ශක්තීන් ගැන ද අපේ දුර්වලකම් ගැන ද අවබෝධයක් ලබා ගත යුතු ය. ක්‍රියාමාර්ග සැකසිය යුත්තේ ඒ අනුව ය. ඊට පසු ය. නැතිනම් සිදු වන්නේ ක්‍රියාත්මක කරන අතරතුර ඒවා මතු ව සැලැස්ම කඩාකප්පල් වීම ය.

කිසි දෙයක් ඔ්නෑවට වැඩියෙන් කිරීම අනතුරු දායක ය. බාධා තර්ජන හා අවදානම් ගැන පමණක් නොව අපේ දුර්වලකම් ගැන ද ඔ්නෑවට වඩා බර තැබීමෙන් සිදු වන්නේ මුළු සැලැස්ම ම අත් හැර දැමීමට සිතීම ය. ඇතැම් ඇති වෙතැයි අප සිතන බාධා මතු නොවෙන අවස්ථා ද බොහෝ ය. ඒ නිසා ඒවා ඔබ ව අකර්මණ්‍ය කිරීමට නොව ඔබ ව සූදානම් කිරීමට පමණක් යොදා ගත යුතු ය. අපට ලැබෙතැයි අප උපකල්පනය කරන සහය සම්බන්ධයෙන් ද අප වෙත ඇතැයි අප සිතන ශක්තිය සම්බන්ධයෙන් ද මෙය එලෙස ම අදාළ ය. ඇතැම් විටක ඒවා නොලැබී යන්නට පුළුවන. ඒ නිසා ම සැලසුමක් තුළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පමණක් නොව විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද තොරතුරු තිබිය යුතු ය.

ඇතැම් දේ සැලසුම් කිරීමේ දී නිශ්චිත කාල වකවානු නිර්ණය කිරීම අවශ්‍ය ය. නැත්නම් සිදු වන්නේ අනවශ්‍ය ලෙස ඒවා දික් වීම ය. විශේෂයෙන් බොහෝ කටයුතු තමන්ගේ පාලනය යටතේ තිබෙන අවස්ථාවක එහි වටිනාකම ඉහළ ය. උදාහරණයක් ලෙස තාප්පයක් ඉදිකිරීම වැනි සරල කටයුත්තක දී එවන් කාල වකවානු ඇති කර ගත හැකි අතර හා ඒවා ඇති කර ගත යුතු ය. එහෙත් බොහෝ දේ අපේ පාලනයෙන් තොර අවස්ථාවක එවැනි කාල වකවානු නිෂ්චය ලෙස දැක්වීම අපහසු ය. ඔබේ යූටියුබ් නාලිකාව මුදල් උපයන මට්ටමක ට පත් කිරීම වැනි කටයුත්තක දී නිෂ්චය කාල වකවානු සැපයීම අසීරු ය. ඔබට අමතර ව මේ කටයුත්තේ නියැලෙන තවත් බොහෝ අය ඉන්නා නිසා ය. ඒ නිසා ම එවැනි කටයුතු ඔබේ පාලනයෙන් ඔබ්බෙහි පවතින නිසා ය.

කාල වකවානු වලට අමතර ව වගකීම් පැවරෙන්නේ කාට ද යන්න ද සැලසුමක තිබීම අවශ්‍ය ය. විශේෂයෙන් බොහෝ දෙනාගේ සහභාගිත්වය සහිත ව දියත් කිරීමට අදහස් කරන ආයතනික සැලසුම් වල ඒ වගකීම පැහැදිලිව දැක්විය යුතු ය.

සැලසුමක් සම්පූර්ණ වීමට ඒ සැලසුම පිළිබඳ පසු විපරම් කරන ආකාරය ද ඒ සඳහා භාවිතා කරන නිර්ණායක ද පැහැදිලි ව සඳහන් විය යුතු ය.  

අප සඳහන් කළේ සැලසුම් කරණය පිළිබඳ පොදුවේ සැලකිය හැකි කරුණු ගණනාවක් පමණ ය. අප කරන වැඩයේ ස්වභාවය අනුව සැලසුමක හැඩය විවිධ ස්වරූප ගැනීමට නියමිත ය.

Leave a comment