පසුගිය අප්‍රේල් 6 වන දා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය ‘සහරා නේරංජනා‘ නමින් වේදිකාගත විය. මෙහි ඉතාම වැදගත් ලක්ෂණ කිහිපයක් අපට පෙන්වා දිය හැකිය. එනම් එහි රංග ආඛ්‍යානය ගොඩ නගා තිබූ ආකාරයයි. නාට්‍ය සඳහා පාදක කරගෙන තිබුණේ බටුවන්වල රාහුල හිමිගේ ‘රන්කරඩුව‘ නව කතාව සහ මාක් ට්වේන්ගේ Tom Sawyer Abroad නම් ළමා නවකතාවකි. මෙම කතා දෙකම එකිනෙකට පරස්පර ලෙස කිසිදු ආකාරයක සම්බන්ධයක් නොදක්වන බව ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනෙනා දෙයකි. එහෙත් එම කතාන්දර දෙක එකම සන්දර්භයක රංග ගත කිරීමේදී එහි තියුණු සාම්‍යයක් හඳුනා ගත හැකිය. එනම් නාට්‍යයට අනුව කතාන්දර දෙකම යම් චාරිකාවක නියැලී සිටීමයි. ඒවා අපගේ දෛනික ජීවිතයේ අර්ථයෙන් රැඩිකල් චාරිකාවන් වෙයි. එක් කතාවක භික්ෂුවක් තම වීර පාරමිතාව පිරීම නිමිත්තෙන් කඳු මුදුනක චෛත්‍යයක් ඉදි කිරීමේදී එහි ගර්භයේ තැන්පත් කිරීම සඳහා නේරංජනාවෙන් වැලි ගෙන ඒමට දඹදිව වන්දනාවේ යයි. අනෙක් කණ්ඩායම වන ටොම්, ඔහුගේ වහලා (ජිම්) සහ මිත්‍රයා (හක්) සමග ගමන් කරන්නේ ලෝකය පුරා චාරිකා කිරීමටයි. එහිදී දෙපාර්ශවයටම විවිධ බාධක සිදු වෙයි. භික්ෂුවට වර්ෂාවෙන්, රිය නතර වීමෙන්, යක්ෂණිකගේ බාධාවන් සහ භික්ෂුවගේ ප්‍රතිපදාවන්ට නොගැපෙන ක්‍රියා සිදු කිරීමට වීමෙන් ඔහු පීඩනයට සහ ආතතියට පත් වෙයි. ටොම් සෝයර් ඇතුළු කණ්ඩායමටද, කුණාටු, සුළං, වෙනත් පාර්ශව මුණ ගැසී අරමුණ වෙනතකට යෑම සහ එම නිසාම කණ්ඩායම අතර අර්බුද ඇති වීම සිදු වේ.

දෙපාර්ශවයේම අරමුණු දෙක පෙරදිග මිනිසාගේ සහ අපරදිග මිනිසාගේ අරමුණු සමග සම්බන්ධ කළ හැකි යැයි සිතමි. අවසාන අර්ථයෙන් මෙම අරමුණු දෙකම එකක් ලෙස අර්ථකථනය කරන ක්‍රියාවලියක්ද මෙම නාට්‍ය මගින් අපට පෙන්වා දෙයි. භික්ෂුව ගමන් කරන්නේ ඔහුගේ නිවන් මඟ වෙනුවෙනි. හෙතෙම ඔහුගේ වීර පාරමිතාව සම්පූර්ණ කිරීමට උත්සාහ කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස භික්ෂුවගේ භක්තිකයන්ට තම බෞද්ධ ජීවිතයේ එදිනෙදා වතාවත් කිරීමට තවත් වරප්‍රසාදිත තත්ත්වයක් උදා කරයි. භික්ෂුව නිදහස ලබන්නේ එවිටයි. එහෙත් මේ ගමන අතරතුර ඔහුගේ මෙම පාරමිතාව පිළිබඳ තවදුරටත් විචාරාත්මකව සිතීමට අවශ්‍ය පසුබිම භික්ෂවුට නිරාවරණය වෙයි.

ටොම් ඇතුළු පිරිස වායු බැලූනයක් සාදා එහි නැගී ලෝකය වටේ ගමන් කිරීමට සැරසෙයි. එනම් ඔවුන් ගමන් කරන්නේ තම මානව නිදහසේ උපරිමත්වයක් වෙනුවෙන් වූ චාරිකාවකයි. එහි ඇත්තේ අපරදිග මිනිසාගේ ලෝකය දකින්නට ඇති ආශාවයි. තම පුද්ගල නිදහස වෙනුවෙන් ඔවුන් බොහෝ රැඩිකල් තීරණ ගනියි. භික්ෂුවට ඇති වන ආචාර ධාර්මික සංකීර්ණතා සේම ටොම්ටද එවැනි සංකීර්ණතාවලට මුහුණ දීමට සිදු වෙයි. භික්ෂුවට සාමාන්‍ය දෛනික ජීවිතයේ ආශාවන්, බැඳීම් සමග තිබෙන ආතතිය මෙන්ම ටොම්ට, ලිබරල්වාදයේ අනෙකා ලෙස පිළිගන්නා වුවත් සදාකාලිකව එහි කේන්ද්‍රයේ තිබෙන ස්වාමියා සහ වහලා අතර සම්බන්ධය සමගද ගැටුම් ඇති වේ. එනම් ටොම්ගේ මිතුරකු ලෙස පැමිණෙන ජිම් වහලෙකි. ඔවුන් චාරිකාව ආරම්භ කරන විට ඇමරිකාව වහලුන් වහල්භාවයෙන් නිදහස් කර නැත. එහෙත් ටොම් ඔවුන් අතර ජිම් ව වහලෙක් ලෙස සළකන්නේ නැත. සහරා කාන්තාරය උඩින් ගමන් කරන විට, ටොම්ට අහඹු ලෙස පෙම්වතියක් මුණ ගැසී ඔහු ඇය හා විවාහ වීමට උත්සාහ කරන මොහොතේ ජිම්, ටොම්ට බරපතල ලෙස විරුද්ධ වෙයි. ඒ ඔවුන්ගේ අරමුණු මෙමගින් විනාශ වන වා යන ඔහුගේ නිරීක්ෂණය මතය.

අවසානයේ මේ කතා දෙකම එකම අවකාශයකදී මුණ ගැසෙයි. ටොම් ඇතුළු පිරිසෙහි වායු බැලූනය වැලි කුණාටුවකට හසු වීමේ ප්‍රතිඵලයක් ලෙස (මේ අතර විවාහයක්, ටොම් සහ ජිම් අතර ඇති වන සටනකින් එකිනෙකා මිය යෑම, භික්ෂුවට තම පැරණි පෙම්වතියක් සහ දඹදිව වන්දනාවේ යන පිරිසක් මුණ ගැසීම වැනි දෑ සිදු වේ) ඉන්දියාවට ගසාගෙන එයි. භික්ෂුව නේරාංජාවට ළගා වෙයි. නේරාංජාව දෙගොඩ තලා යන තරමේ වර්ෂාවක් පතිත වී පසුව වැලි වරුසාවක් ඔවුන් වෙතටත් බැලූනයටත්, භික්ෂුව ඇතුළු වන්දනාකරුවන් සිටින අවකාශයටත් ඇඳ වැටෙයි. භික්ෂුව ප්‍රමුඛ බැතිමතුන් තරඟකාරී ලෙස වැලිවලින් ඔවුන්ගේ මලු පුරවා ගැනීමට තැත් කරන විට, අවසානයට බැලූනයේ ඉතිරි වූ ටොම්ගේ මිතුරා හක්, වැලි ඉවත් කිරීමට නොතිත් වෙහෙසක් දරයි.

භික්ෂුවගේ පාර්ශවය දෙස බලන විට අපට පෙන්වා දෙන්නේ වල්පොල රාහුල හිමිගේ බුදුදහම පිළිබඳ ආත්මීය ආප්තය වන ‘අනුන්ගේ නිවන වෙනුවෙන් තමුන්ගේ නිවන කැප කිරීම‘ නම් අදහසට පරස්පරව මෙහි එන භික්ෂුව තම වීර පාරමිතාව වෙනුවෙන් ආත්මාර්ථකාමී ලෙස එය ඉදිරියට ගෙන යාමයි. එමගින් අර්බුදයට යන්නේ බෞද්ධ විශ්වීයත්වය පිළිබඳ අදහසයි. අවසාන අර්ථයෙන් එය අපට පෙන්වා දිය හැක්කේ බෞද්ධ ලිබරල්වාදය ලෙසයි. බුදුදහම පිළිබඳ කොතෙක් න්‍යායාත්මක අදහස් සාකච්ඡා කළද එහි සැබෑ ව්‍යවහාරය වන්නේ මෙයයි. පින් හෝ කුසල් ලෙස මේ රැස් කරන්නේ පුද්ගලික දේපල කියා ඇතැමෙකුට තර්ක කළ හැකිය. අවසාන අර්ථයෙන් එයින් බලාපොරොත්තු වන්නේ නිදහසයි. ටොම්ගේ කතාවෙන් අපට පෙන්වා දෙන්නේ එම ලිබරල්වාදයේ ඇති අත්‍යන්ත සීමාවයි. දෙපාර්ශවය තැත් කරන්නේ නිදහස් වීමටයි.

ලිබරල් නිදහස යනු ඓතිහාසික වශයෙන් එක් පාර්ශවයකට පමණක් ලැබෙනා නිදහසයි. එංගලන්ත, ඇමරිකානු සහ නෙදර්ලන්ත නිදහස් සටන් තුළින් අපට පෙන්වා දෙන්නේ එයයි. වෙනත් ආකාරයකට කියන්නේ නම් වහල්භාවය අවසන් වීමෙන් පසුව එම සූරා කෑම සහ වාර්ගික බහිෂ්කරණය යන්න විවිධ මාඳිලීන්ගෙන් අනවතර ලෙස සිදු වෙයි. එනම් රෝම සහ ග්‍රීක යුගවලට වඩා වහල් සේවය ඉතිහාසයේ පෙර නොවී විරූ ආකාරයේ වර්ධනයක් අත් කරගෙන සිටියි. මාක් ට්වේන්ට මඟහැරුණු එසේත් නැතිනම් 19 වන සියවසේ අඟභාගයේ තම ජීවිත අත්දැකීම් ප්‍රබන්ධකරණය කිරීමේදී ඔහුගේ ජීවිතය තුළ සංකීර්ණ ලෙස කතාබහට නොගත් අදහස් ‘සහරා නේරාංජනා‘ තුළින් අපට මෙහිදී සාකච්ඡාවට ලක් කළ හැකිය.

ඇත්තෙන්ම මේ දෙපාර්ශවයම එකිනෙකාට විරුද්ධ පාර්ශව ලෙස ඉතිසාහ තුළ පෙන්වා දී ඇත. ඒ අතර මෙම පාර්ශවයන් දෙකෙහි ඓතිහාසික බෙදුම් රේඛා අහෝසි කරමින් අද දවසේ දේශපාලනය තුළ ඔවුන් එකට එකතු වීමේ ප්‍රවණතාවක්ද ඇති වී තිබේ. එම නිසාම මේ දෙපාර්ශවයටම එරෙහි විය හැකි විශ්වීය සමානාත්මතාවක් බිහි කිරීමේ අවශ්‍යතාවක් අද පවතියි. වීර පාරමිතාව පුරා නිවන් දැකීම හෝ ලෝකය පුරා සංචාරය කර නිදහස බුක්ති විඳීමට වඩා මිනිසත් බවෙයි පරම වියහැකියාවන් අප සොයාගත යුතුව ඇත.

මෙම නාට්‍ය පිළිබඳ සිදු කළ හැකි දෘෂ්ටිවාදී සහ දාර්ශනික විග්‍රහයක් සේම නාට්‍ය රචනය පිළිබඳ විධික්‍රමයක් ඔවුන් අපට හඳුන්වා දෙයි. නාට්‍ය රචනය පිළිබඳ දරිද්‍රතාවක් පවතින යුගයක, මෙවැනි අත්හදාබැලීම් සමහරවිට එමගින් ගෙන එන දාර්ශනික, දෘෂ්ටිවාදී අදහස්වලට වඩා වැදගත් වනු ඇත. එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙනත් සන්දර්භවල එන නවකතා දෙකක් නාටකීය ලෙස එකම සන්දර්භයකට ගෙන ඒමට දරන උත්සාහය අප මෙහිදී විශේෂ වැදගත් කමක් ලෙස සලකුණු කළ යුතුය.

නාට්‍ය නිෂ්පාදනය දායක වූ සියලු දෙනාට සුබ පතමි. වඩා බරපතල අභියෝගය වන්නේ 70 වකට අදික නාට්‍ය කණ්ඩායමක් සහිත මෙම නාට්‍යය යළි වේදිකාගත කරන ආකාරය පිළිබඳ සිතා බැලීමයි. එනම් එය යළි වේදිකාගත කිරීම, 90 දශකයෙන් පසුව නව නාට්‍ය ප්‍රවනතා ගැන උනන්දු වන සමාජයක් වෙනුවෙන් සිදු කරන සමාජ මෙහෙවරක් වනු ඇත. 

රංග මනුප්‍රිය