පසුගිය අප්‍රේල් 3 වන දා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය සහ නූතන නර්තන අධ්‍යයනාංශයේ අවසන් වසර විද්‍යාර්ථීන්ගේ නර්තන නිෂ්පාදනය පණීභාරත රංග ශාලාවේදී වේදිකා ගත විය. මේ තිබෙන්නේ එහි දර්ශන කිහිපයක් සහ ඒ පිළිබඳ කරන ලද ඉක්මන් කෙටි අදහසක් දැක්වීමකි.

‘ජූලියස් සීසර්‘ නර්තන නිර්මාණය සැලකිය යුතු තරමේ ඉදිරිගාමී නිර්මාණයක් බව හැඳින්විය හැකිය. එහි ඇත්තේ අප නර්තනය ලෙස ජනප්‍රිය දෘෂ්ටිවාද තුළ සහ දෛනික ජීවිතයේදී හඳුනා නොගන්නා සෞන්දර්යාත්මක හැසිරීම් සමූහයකි. මෙවැනි නිර්මාණ නූතන නර්තනය, සමකාලීන නර්තනය හෝ මුද්‍රා නාට්‍ය ලෙස නම් කිරීමට අප එරෙහි විය යුත්තේ නර්තනය නාමකරණය කරන මොහොතේම එහි පවතින අව්‍යාජත්වය (Authenticity) ගිලිහී යන නිසාය. නර්තනය පිළිබඳ සමකාලීන කියවීම් තුළ හඳුනා ගන්නා, ඉතාම පාරිශුද්ධ අර්ථයෙන් නර්තනය ලෙස නම් කළ හැකි අවස්ථා බොහෝ ප්‍රමාණයක් අපට මෙම නිර්මාණයේදී පෙන්වා දිය හැකිය. වෙනත් ආකාරයකට කියන්නේ නම් නර්තනය දෛනික ජීවිතයේ කථිකාවට සහ අර්ථකථනවලට යටත් නොවෙමින්, එය විසින්ම නිර්මාණය කරගන්නා කථිකාවක් වෙතට ප්‍රේක්ෂකයා කැඳවාගෙන යාමේ විභවයක් එහි සතු වීමයි.

එහෙත් මෙම අදහස අභියෝගයට ලක්වන පූර්ව සංඥාවක් ඔවුන් අපට ලබා දෙයි. එනම් ‘ජූලියස් සීසර්‘ නාට්‍ය හෝ ඓතිහාසික සිදුවීම සමග අප මෙම චලන සමපාත කිරීමට උත්සාහ දරන සෑම මොහොතක්ම අසාර්ථක වීමේ සංකල්පීය මැදිහත්වීමකින් නර්තන නිර්මාණය අලංකාර කර තිබීමයි. ‘ජූලියස් සීසර්‘ නම් නාමකරණය මගින් එක මොහොතක ප්‍රේක්ෂකයා අතරමං කරනා බවක් අපට හැඟෙයි. නිර්මාණකරුවා ‘ජූලියස් සීසර්‘ නාට්‍ය තුළින්ම ව්‍යුත්පන්න වූ සංකල්පයක් නර්තන නිර්මාණයට දායක කරගෙන තිබෙනවා යැයි අපට අපහසුවෙන් උපකල්පනය කළ හැකි වුවත් එමගින් මෙම සෞත්‍රික සම්ප්‍රදායේ නාට්‍ය සහ නර්තන නිර්මාණය අතර සැලකිය යුතු තරමේ දුසර්ථ බවක් නිර්මාණය වී ඇත. එහෙත් පූර්ව ප්‍රචාරක දැන්වීම් සහ නිර්මාණයේ නම මොහොතකට මඟහැරීමට එකග වන්නේ නම්, මෙම නිර්මාණයේ ඉහත සඳහන් කළ වටිනාකම් පවතින බව පෙන්වා දිය හැකිය. එම අර්ථයෙන් මෙම නිර්මාණය සඳහා ප්‍රවේශ දෙකකින් ඇගයීමේ හැකියාවක් ඇත. 1. දෛනික ජීවිතයේ සහ ජනප්‍රිය නාමකරණ, දෘෂ්ටිවාද සහ කරුණු, අභියෝගයට ලක් කරමින් නර්තනය විසින් ප්‍රෙක්ෂකයා සහ නිර්මාණය අතර නවීනත්නයක් සහිත කථිකාවක් නිර්මාණය කරයි. 2. නර්තනය නම් කලා ප්‍රවර්ගය මෙම නිර්මාණය අනුව යමින් නාට්‍ය නම් කලා ප්‍රවර්ගයේ අධිකාරීත්වයට යටත් කළ නොහැකි බව පෙන්වා දෙයි.

‘ජූලියස් සීසර්‘ අමතක කරන්නේ නම් මෙම නර්තන නිර්මාණය මඟින් ලබා දෙන්නෙ කුමන ආකාරයක ආවේදනයක්ද? සමකාලීන නර්තන විචාරය අර්බුදයට යන සීමාවක් වන්නේ මෙයයි. මෙය එකත්රා අර්ථයකින් ඉමැනුවල් කාන්ට්ගේ උත්කෘෂ්ටත්වය (Sublime) නම් අදහස උපමාත්මකව – සමහරවිට ඍජුවම – මෙහිදී භාවිතා කළ හැකිය. එනම් මෙවැනි ආකාරයේ නිර්මාණ යනු අපගේ පරිකල්පනය බොහෝ වෙහෙසට මෙන්ම ආතතියට පත් කරනා නිර්මාණ වේ. අප අවබෝධය මගින් කෙතරම් දුරකට මෙම චලන සහ රූප සඳහා අර්ථයන් සපයන්ට උත්සාහ කළත් එය බොහෝ අවස්ථාවලදී අසාර්ථක වේ. එහි ඇති බහුෂාබ්ධික බව (Ambiguity) නිසාත්, වියුක්ත සහ වර්ධනය වන ගුණය නිසාත්, අප මෙයට අර්ථයක් ලබා දුන් සැනින් එම අර්ථයෙහි අසම්පූර්ණ බවක් පෙන්වමින් අපව අර්බුදයට ගෙන යයි. එහෙත් එම අභිමුඛ වීම තුළින් අප තුළ නව හැඟීම් ඇති කරයි. අප දෛනික ජීවිතයේ යථාර්ථය ලෙස භාරගන්නා මෙම ජීවිතය සහ ලෝකය කෙතරම් දුරට අහඹු මෙන්ම අස්ථායිද යන්න අපට සංඥා කරයි. එම නිසා සංස්කෘතිය හෝ වෙනත් ඕනෑම අධිපත්‍යධාරී ආයතනයක් මගින් නිර්මාණය කර ඇති මෙම දෘෂ්ටිවාද පළදු කිරීමේ හැකියාවක් ඇති බව අපට ඒත්තු ගන්වන්නට උත්සාහ කරයි. මේ සඳහා අපට වැඩිදුර සංවාදයක් අවශ්‍ය නම් ඇලෙන් බදියූ නර්තනය සම්බන්ධයෙන් පවසා ඇති අදහස්ද සැලකිල්ලට ගත හැකිය. අවසාන අර්ථයෙන් නර්තනයෙන් කතා කීම සහ නර්තනයකට කතාවක් නිර්මාණය කර තේරුම් ගැනීම සමකාලීන කලාව සමග අභිමුඛ වන ඕනෑම අයෙකු පිළි නොපැදිය යුතු ශික්ෂා පදයක් යැයි හැඟෙයි.

අවසාන වශයෙන් මේ ආකාරයේ වටිනා නිර්මාණ සිදු කිරීමට විද්‍යර්ථීන් සහ ඊට මූලිකත්වය ගත් උපදේශකවරුන්ට තිබෙනා වුවමනාව සහ හැකියාව ඉහළින් අගය කළ යුතුය. උපාධිය අවසන් කර නික්ම යාමට සිටින විද්‍යාර්ථීන්ගේ අනාගතයට සුබ පතමි. ඊට සහය දැක්වූ අනෙක් විද්‍යාර්ථීන්ට සහ ආදි විද්‍යාර්ථීන්ට සුබ පැතුම් සහ ස්තූතිය එක් කරමි.

රංග මනුප්‍රිය